මිහිර කියවන පුංචි ඔයාලා ජපානයේ පොඩිත්තන්ගේ උත්සවයක් ගැන දැනගන්න කැමැතියි ද? මේ උත්සවයේ නම ෂිචි ගෝ සන්. ෂිචි කියන්නේ ජපන් භාෂාවෙන් හතට. ගෝ කියන්නේ පහට. සන් කියන්නේ තුනට. මොකක්ද මේ හත, පහ, තුන කියන්නේ? ඔන්න කියවලා බලන්නකෝ.
ෂිචි-ගෝ-සන්
නොවැම්බර් 15 වැනිදා ජපානයේ පවත්වන අපූරු උත්සවයකි ෂිචි ගෝ සන් (Shichi-Go-San (7-5-3 ) උත්සවය. අවුරුදු තුනේ සහ පහේ පිරිමි ළමයින් සඳහා සහ අවුරුදු තුනක් සහ හතක් වයසැති ගැහැනු ළමයින් සඳහා මෙම උත්සවය පවත්වයි.
shichi-go-san නොවැම්බර් 15 වැනිදා සැමරීමට හේතුවක් තිබේ. විශේෂයෙන්ම මෙම වයස අවුරුදු තුන, පහ සහ හත දරුවාගේ වර්ධනයේ අවධිවල වැදගත් සලකුණු ලෙස සලකයි. පහළොව යනු තුන, පහ සහ හතේ එකතුව වන අතර, එය විශේෂයෙන් සුබ අංකයක් ලෙස සලකයි. මේ හේතු දෙකම මූලික කරගෙන මෙය සමරනු ලැබේ.
සාමාන්‍යයෙන්, ෂිචි-ගෝ-සන් උත්සවය වර්තමානයේදී සමරන විට, ළමයි ඔවුන්ගේ හොඳම ඇඳුම්වලින් සැරසෙති. විශේෂයෙන්ම ජපානයේ සාම්ප්‍රදායික ඇඳුම වන කිමෝනාවලින් සැරසෙති. ගැහැනු ළමයි බොහෝ විට කිමෝනාවකින් ද පිරිමි ළමයි හකාමා කිමෝනාවලින් ද සැරසෙති. ළමයි ඔවුන්ගේ මව්පියන් සමඟ ඔවුන්ගේ ප්‍රදේශයේ ෂින්තෝ සිද්ධස්ථානයට ගොස් පූජකවරුන්ගෙන් ආශීර්වාද ලබති. එහිදී මව්පියවරු දරුවන්ට ප්‍රීතිමත් සහ සෞඛ්‍ය සම්පන්න අනාගතයක් පතමින් යාඥා කරති.
මෙදිනට දරුවන්ට චිටෝසේ-ඇමේ (“දහස් අවුරුදු සූකිරි”) නම් පැණි රස කෑම ලබා දෙනු ලැබේ. එය දරුවන්ගේ දීර්ඝායුෂ සහ සෞඛ්‍යසම්පන්න බව සංකේතවත් කරයි. Chitose-ame යනු දිගු, සිහින් රතු සහ සුදු වර්ණ සහිත සූකිරි වන අතර, එය කොකුන්ගේ සහ කැස්බෑවන්ගේ රූපවලින් සරසා ඇති බෑගයක දමා තෑගි කරයි. කොකා සහ කැස්බෑවා යන සතුන් දෙදෙනාම ජපානයේ දීර්ඝායුෂ සඳහා සංකේත වේ. රතු සහ සුදු ද සුබ වර්ණ සංයෝජනයක් ලෙස සැලකේ.
මෙම උත්සවයේ ප්‍රධාන අංග තුනකි
කමියොකි (kamioki)
අවුරුදු තුනේ ළමයින් සඳහා පවත්වන උත්සවය කමියොකි ය. kamioki යන්නෙහි වචනාර්ථය “හිසකෙස් ගැලවී යෑම” යන්නයි. ළදරුවකුගේ උපතින් දින හතකට පසු, පිරිමි ළමයකුගේ හෝ ගැහැනු ළමයකුගේ හිස මුඩු කිරීම සහ වයස අවුරුදු තුන දක්වා හිස මුඩුකර තබා ගැනීමේ සාම්ප්‍රදායික චාරිත්‍රය ඇසුරින් මෙය බිහි වී ඇත.
හකමගි නො ගි (Hakamagi-no-Gi)
දෙවැනි උත්සවය හකමගි නො ගි උත්සවයයි. එදිනට පිරිමි ළමයි එරට සාම්ප්‍රදායික ඇඳුමක් වන හකාමා කලිසම් සහ haori විධිමත් කබාය ඇදීම සිදු කරති. මෙම උත්සවය අවුරුදු පහක් වයසැති පිරිමි ළමයින් සඳහා පවත්වනු ලබයි.
ඔබිතොකි නො ගි (Obitoki-no-Gi)
තුන්වැනි උත්සවය Obitoki-no-Gi උත්සවයයි. අවුරුදු හතෙහි ගැහැනු ළමයින් සඳහා මෙය පවත්වනු ලබයි. අමුණා ඇති නූල්වලින් බැඳ ඇති කිමෝනාවක් වෙනුවට ගැහැනු ළමයින් “obi” (කිමෝනාව සඳහා පුළුල් බඳපටියක්) පලඳීන පළමු අවස්ථාව මෙයයි. obi බඳපටිය ගැට ගැසීමට තරමක් දුෂ්කර වුවත් එම බඳපටිය වඩාත් විසිතුරු වේ.
හර්ෂණී ගමගේ