Home » Blog » කන්තලේ වැව

කන්තලේ වැව

by thanushika
0 comments

ආදරණීය දුවේ පුතේ, ශ්‍රී ලංකාව කියන්නේ අති විශිෂ්ට වාරි සංස්කෘතියකට උරුමකම් කියන්නා වූ රටක්. ඉතින් ඒ නිසා අද දවසේ උරුමයක වගතුගවලින් අපි එවැනි විශිෂ්ට වාරි නිර්මාණයක් පිළිබඳ තොරතුරු සොයා බලමු.

ත්‍රිකුණාමලය මාර්ගයේ කන්තලේ ප්‍රදේශයේ පිහිටි දැවැන්ත වාරි කර්මාන්තයක් වන්නේ කන්තලේ වැවයි. නෙතට රසඳුනක් වගේම දාහය නිවාලන නවාතැන්පළක් ද වන කන්තලේ වැව ඉතිහාසයේ ඇතැම් තැනක දෙවැනි අග්බෝ රජුගේ නිර්මාණයක් වශයෙන් ද තවත් තැනක මහසෙන් රජුගේ නිර්මාණයක් වශයෙන් ද සඳහන් වේ. අනුරාධපුර යුගයේ වේරගල නමැති යක්ෂ ගෝත්‍රික පාලකයා මෙම ප්‍රදේශය පාලනය කරන සමයෙහි මහසෙන් රජු ඔහු සමඟ සාකච්ඡා කොට මහා වැවක් තැනවීම ආරම්භ කරන ලද බව ඓතිහාසික මූලාශ්‍රයන්හි සඳහන් වේ. එම වැව මෙම කන්තලේ වැව යැයි විශ්වාස කරනු ලැබේ. මෙම වැව යක්ෂ ගෝත්‍රිකයන්ගේ සහාය ද ඇතිව ඉදිකරන ලදැයි සැලකෙයි. මෙම තොරතුරුවල සත්‍ය අසත්‍යතාව කෙසේ වුවත් මෙය අනුරාධපුර යුගයේ සිදු කරන ලද නිර්මාණයක් බව පැහැදිලි ය. එසේම වැව මැදට ගිය විට එහි දෙකෙළවර නොපෙනෙන තරමටම එය විශාල බව කියැවේ.

දිගින් රියන් අටදහසක් පමණ වන, එනම් අඩි දොළොස් දහසක් පමණ වන ලෙස ඉදිකර ඇති මෙහි වැව් බැම්ම දහස් සංඛ්‍යාත ශ්‍රමිකයන්ගේ සහභාගිත්වයෙන් ඉදිකරන ලදැයි සැලකේ. පස් කපා භාජනවලට පුරවාගෙන ගොස් වැව් බැම්ම සකස් කිරීම සුළු පටු කාර්යයක් නොවන අතර, ඒ සඳහා විශාල කාලයක් ගතවන්නට ඇත. මෙම වැවේ ජලස්කන්ධයෙන් අස්වද්දන ලද අක්කර දහස් ගණනක් වන කුඹුරු යායෙන් කොටසක් වේරගල යක්ෂ නායකයාට යක්ෂ ගෝත්‍රිකයන්ගේ ප්‍රයෝජනය පිණිස පවරා ඇත. මෙම කුඹුරු යායේ වැඩි කොටසක් රජතුමා විසින් බුදු සසුන උදෙසා පූජා කරන ලද අතර, ඒ නිසා මෙම ප්‍රදේශයට දන්තලාව යන නම ලැබී තිබේ. පසුව එය ගන්තලාවේ ලෙස වෙනස් වී ඇති අතර, ඉංග්‍රීසි පාලකයන් විසින් එය කන්තලාව බවට පත් කොට අවසානයේ කන්තලේ යන නමෙන් ව්‍යවහාර වන්නට විය.

මෙම වැව සකස් කිරීම සඳහා වේරගල යක්ෂයා විසින් ලබා දෙන්නා වූ සහයෝගය හේතුවෙන් ඔහුට කුඹුරු යායක් මෙන්ම වාර්ෂිකව වී අස්වැන්නෙන් කොටසක් ද ලබාදීමට මහසෙන් රජතුමා එකඟ වූ බවත් එම යක්ෂයා මියගිය පසුව ද භූතයකු වී වැව ආරක්ෂා කරමින් සෑම වසරකම නිකිණි මස අවපස අවසන් කුජ දින තම පංගුව ලබා ගැනීමට වැවට පැමිණෙන බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ. එහෙයින් මෙම යක්ෂයාට පුද පූජා පැවැත්වීම අතීතයේ සිටම පැවතී ඇත. ජනප්‍රවාදයට අනුව පසුකාලීන ප්‍රාදේශීය පාලකයකු වූ කුලක්කෝට්ටන් අර්සන් නම් පාලකයා මෙම පූජාව පැවැත්වීම නොසලකා හැර තිබේ. අදාළ දින වැවට තම පූජාව ලබා ගැනීම සඳහා පැමිණි යක්ෂයා එම පූජාව නොමැති බව දැක කෝපයට පත්ව පා පහරින් වැව් කන්දට පහර දී වෑකන්ද කඩා බිඳ දැමූ අතර, වැව් දිය ගලා ගෙවල් දොරවල් යටවී හරකා බාන විනාශ වී මුළු ප්‍රදේශයම විනාශ වන්නට පටන් ගෙන තිබේ. අර්සන් විසින් තම සෙනඟ යොදවා දිගින් දිගටම වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කළත් නැවතත් යක්ෂ සේනාව විසින් එය විනාශකර දැමූ හෙයින් අවසානයේ යකැදුරන්ගේ ඔවදන් මත මහා යාගයක් පවත්වා රජුට ලේ නෑකම් ඇති දැරියක බිලි දිය යුතු බව ප්‍රකාශ කරන ලදි. එවැනි දැරියක් සොයා ගැනීමට නොහැකිවීම නිසා යාගය කල්දැමීමට සිදුවිය. වැව් බැම්ම බි¼දී ගිය නිසා කුඹුරු යායවල් විනාශ වී රට සාගතයක් කරා ගමන් කරන හෙයින් රජුට මෙම යාගය පැවැත්වීමට රටවැසියන් විසින් බල කරන ලද අතර, රජුගේ නැගණියකගේ දියණියක් බිල්ලට දීමට තීරණය කෙරිණි. අවසානයේ යාගය සාර්ථකව නිමාවට පත් කරන ලදින් මහා වැසි ඇද වැටී නියඟය නිමාවට පත් වූ අතර, යාගය බලන්නට පැමිණ සිටි බොහෝ දෙනා ද සමඟ ප්‍රාදේශීය පාලකයා ද ඒ වැස්සෙන් හටගත් මහා වතුරට බිලි වී තිබිණි. අනතුරුව රජරට රජුගේ මූලිකත්වයෙන් වැව යළිත් පිළිසකර කර අද දක්වාම අවුරුද්දකට එක් බිල්ලක්වත් මෙම යක්ෂයා විසින් ගන්නා බවට ජනප්‍රවාදයේ මතයක් පවතී. යක්ෂයා අදටත් මහ වැව මත ඇති කොග්ගල නමැති ගල යට නිදන බව ජනතාව විශ්වාස කරන අතර, ඔහු වෙනුවෙන් වාර්ෂිකව පුද පූජා පවත්වා සතුටට පත් කිරීම සිදුකරනු ලබයි. ජන විශ්වාසයට අනුව වසරකට වරක් නිකිණි මස අවපස අවසන් කුජ දිනයේදී කොග්ගල යට නිදන යක්ෂයා අවදි වේ.

සාගරයක් තරම් විශාලව ඉදිකර ඇති මෙම කන්තලේ වැවට පෙනෙන කඳු පන්තිය නිසා තවත් මනරම්ව දිස්වේ. වැව අවට ජල පෝෂක ප්‍රදේශයක් වශයෙන් සැලකෙන විශාල රක්ෂිතයකි. වසර පුරාම නොසිඳෙන ජල කඳක් කන්තලේ වැවට හිමි වන්නට මෙම රක්ෂිතය ද හේතු වී ඇත.

ලක්නා නිරෝෂිමාලා


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department