ගමේ මිනිසුන් කිසිදාක කුසගින්නේ සිටියේ නැත. බත් නැති වුවද කොස්, අල, බතල, කිසිම දවසක හිඟ නොවූ බව මගේ මතකයේ පවතී. සියල්ලන්ටම කෑම සපයන විශාල අතු පතරින් යුතු ලොකුම කොස් ගහ තිබුණේ අපේ වත්තේ ය. එය වඳුරන්ගේ ලැගි පල ය. එයට කවුරුත්ම කීවේ වඳුරු වරකාව කියා ය. ගසේ කඳ බදන්නට ලේසි නොවේ. එය දැවැන්ත කොස් රාජයෙකි. මෙහි විශේෂත්වය වූයේ වසරේ හැමදාම මෙහි පලදාව පැවතීමයි. ගෙඩි පැසුණ ඒවා ද, ළපටි ගෙඩි ද ඉදුණු ඒවා ද කඩාගන්න බැරි උසකින් හෝ තිබෙන බව නොරහසකි.
බොහෝ අවස්ථාවලදී එහි ඉරි බේරුණු ළපටි ගෙඩි කඩා තම්බා ගන්නේ වෙද බාප්පා ය. ඒවා ලොකු බඳුනක බහා තම්බා ගැනීමට වෙද ගේ ඇතුළේ ඉඩකඩ මෙන්ම ඔහුට ගෝලයෝ ද සිටියහ.
දවසක් මාත්, සුගතෙත්, විමලෙත්, කරුණෙත් සපත්තු බෝක්කුව ළඟදී වෙද බාප්පා මුහුණටම හමු විය.
“කොහෙද ගැටවුණේ උඹලා යන්නේ? උඹහෙලටත් ඇහැකිනෙ මට උදව් කරන්න. උදේ නවයට දහයට වරෙල්ලා” ඔහු කීවේ ය.
අපි කිසිත් නොකීවෙමු. ඔහු අපේ අප්පොච්චිගේ ළඟම නෑයෙකි. අපි ඔහුට කැමැති නැත්තේ උඹ, බං, වරෙන්, පලයං” යන වචන සෙට් එකට ය. වෙද බාප්පාට ගමේ හැම කෙනාම ගරු කරති. ඔහු ගමේ අයට බෙහෙත්දී මුදලක් අය නොකරයි. ඒත් අපේ මනාපය නම් නැත.
“ඒ…………..ඒයි…………මොකද කංචු කරන්නෙ? අපි යනවද නැද්ද ?” කරුණෙ අසයි.
“විමලෙ මොකද කියන්නෙ? යනවද? නැද්ද?” මම ඇසීමි.
“මටත් හිතා ගන්න බෑ. ගෙවල්වලින් නම් බොහොම කැමැති වෙයි”
“කොහොමටත් ඔය ගොල්ලන්ගෙ නෑදෑයො වෙච්චි. අපි යමු. දවසක් ගෙහුං බලලා බෑ කියලා හිතුණොත් නතර වෙමු.” සුගතේ කීවේ ය.
“අපි එහෙනම් ගෙවල්වලට ගෙහුං කියලා එමු. ගෙදරට නොකියා යන්න හොඳ නෑ ” මම කීමි.
වෙද බාප්පා කියූ වෙලාවට පෙර අපි සපත්තු පාලම ළඟදී මුණ ගැසුණෙමු. කිසිවකුට ගෙවල්වලින් අකමැත්තක් දක්වා නැත.
අපි හතර දෙනා වෙද බාප්පාගේ ගෙදරට යනවිට ඔහු අප බලාපොරොත්තුව සිටියේ ය.
අප දුටු හෙතෙම “වරෙල්ලා වරෙල්ලා දරුවනේ” යි කියා පිළි ගත්තේ ය.
“අම්මේ මේන් මේ පැටව් ටිකක් ඇවිල්ලා. උන්ට කන්න මොනාහරි දෙන්න” වෙද බාප්පා
ලොකු ආත්තම්මාට කීවේ ය.
“අපි නම් කාලා ආවෙ. අපි නම් කාලා ආවෙ.” අපි හතර දෙනාම කීවෙමු.
“ආ….ඒකට මක් වෙනවද? ඔය දෙන දේකුත් කමු. මොකද කියන්නෙ උඹලා?”
“කමු කමු වෙද මහත්තයො”
“මොනවා? මට නෑකමක් නැද්ද? මේ කංචු මගේ අයියෙක්ගෙ එකා. මේකා කරුණයා. මගේ මාම කෙනෙක්ගෙ පුතකුගෙ එකෙක්. මං හරිද…..?” ඔහු අසයි. අපි ‘ඔව්” කියන්නෙමු.
“නෑකමක් දන්නෙම නැත්නම් මට වෙදමාමා කියාපල්ලා’
“මං නෑ කමට හරි ආදරේ ඇති මිනිහෙක්. හා………හැරි හැරී නොඉඳ කමු.”
ලොකු ආත්තම්මා පොල් කොළයෙන් වියන ලද වහුං පතකට සුන්සහල් බත් හා කිතුල් පැණි ද ගෙනැවිත් තැබුවාය. පොල් දැමූ සුන්සහල් බත් හරි සුවඳ ය. ඊට කිතුල් පැණි මුසු වුණාම
රස ය. අපි වෙද ගේ බංකුවක ඉඳ ගතිමු. වෙද බාප්පා ලෑලි පුටුවක ඉඳගෙන බත් කැට කිහිපයක් කෑවේ ය.
“දැන් හරිද දරුවනේ? මොකද බෑ කියලා අහකට දැම්මද?”
“ඕං ඔය පාර තමයි වැඩ තියෙන්නෙ. ඊයෙ වඳුරු වරකාවෙන් ගෙනා කොස් ගැටයි බේරියන් ගහේ කොස් ගැටයි තැම්බෙන්න තියලා තියෙන්නෙ”
“බන්දුසේන දැන් ඒවා තැම්බිලාද?”
“ඔව්, වෙද මහත්තයො. ඒව ඕං දිය බේරෙන්න තිව්වා. දැන් ගණනකට රස්නෙ අඩු වෙලා ඇති.” බන්දුසේන මාමා කීවේ ය.
“බන්දුසේන ඔය කඩ මාගලට ඒක තුනී කරලා දෙන්න.” වෙද බාප්පා කියද්දී අපි කළයුත්ත දකිමු.
“පුතේ මේවා මේං මෙහෙම කුට්ටි කපලා තුනීකරලා පොඩි කෑලිවලට කපලා ගන්න”
අපි එලෙස කළෙමු.
තැම්බූ පොලොස් දෙකට කපා පලා, තීරු කර පොඩි කොටු හැඩේට කැපුවෙමු. කටු කොටස ඉවත් කරනු ලැබී ය. ඒ පොලොස් කැට පැදුරේ ගොඩවල් කිහිපයකට එක් කරද්දී වෙද බාප්පා ඇවිත් බලා ටිකින් ටික සෝදා දිය පෙරනයකට දමන්නට කීවේය. අපි එසේ කළෙමු. ඉන් පසු එය සියුම්ව ඇඹරුවේය. අඹරන ලද පොලොස් ක්‍රීම් ලොකු තඹ වලඳකට එක්කාසු කළේ ය. අත් මේස් දාගෙන, නහයක්, කටත් ගොටුවක් වැනි රෙදි කඩකින් වසා ගත් ගුණපාල ඒ කාරිය ඉතා පිරිසුදුවට කළේ ය.
“ඔන්න බලාපන් දරුවෝ බෙහෙත් හදන්න තියෙන අමාරුව. පේනව නේද?” වෙද බාප්පා අපෙන් විමසයි. ගෙඩිය පිටින් තැම්බෙන අළුපුහුල් නිවෙන්නට පැදුරට දමා තිබේ. ඒවා ද දෙකට හා හතරට පලා ඇට බොහොමයක් ඉවත්කර පෙරා මැෂින් එකටම දමා මඳක් අඹරා ගනු ලබයි. සියල්ල එසේ කරන්නේ ගුණපාල මාමා ය. අපි සුදු ලූනු ලෙලි හැර දුනිමු. එසේම ගම්මිරිස් ද සුළු ප්‍රමාණයක් මිශ්‍ර කරනු ලැබීය. මේ සියල්ල ද මැෂින් එකට දමා ක්‍රීම් කරනු ලැබුවේ ද ගුණපාල මාමා ම ය.
තඹ භාජනයේ ඇති කොස් ක්‍රීම්වලට පොඩි කැටවලට කැඩුණ අළු පුහුල් ද, ගම්මිරිස්, සුදු ලූනු, ක්‍රීම් එක ද හොඳට මිශ්‍ර කරනු ලැබුයේ දොදොල් හැඳි ගානා පත්ත මෙන් ලොකු ලී පත්තවලිනි. සෑහෙන වෙලාවක් එසේ පතුගෑමෙන් පසු සීනි උණුකර දමා, එනසාල්, කරාබුනැටි, කුරුඳු ආදිය ද කුඩුකර යොදනු ලැබේ. ඒ සියල්ලම එකට මිශ්‍ර කොට නිවෙන්නට තැබීමෙන් පසු පොලොස් කාරිය නිමා වූවා යැයි අපි සිතුවෙමු.
“වෙද බාප්පේ අපි දැන් ඉතිං ගෙවල්වලට යන්නම්” මම කීවෙමි.
“කොහෙ යන්නද?” මේ වැඩේ තාම අහවරයක් නැහැනේ. තාම කල්කය මිදෙනව නේ. ඔහොම ආවා ගියාට කරන්න පුළුවන් වැඩ නෙවෙයි මේ. හොඳට ඉවසීම තියෙන්න ඕනේ. හා….. යමල්ලා අර උයනගෙයි මේසෙ ළඟට”
එසේ කියූ වෙද බාප්පා අපි සිව්දෙනා උයන ගෙයි කෑම මේසය ළඟට කැඳවාගෙන ගියේ ය.
“දරුවනේ දැන් ඉතිං දවල් වෙලාවත් පහු වෙලා. මොනවා හරි හදාපු දෙයක් කෑවා නම්”
ලොකු ආත්තම්මා කියයි.
අපි බත් ටිකක් වෙන්න බෙදාගත්තේ බත් තිබුණේ ටිකක් බැවිනි. කිරි එළවළුවක්, පලා මැල්ලුමක්, කිරි අල ව්‍යංජනයක්, හාල් මැස්සන් බැදුමක් මෙන්ම වට්ටක්කා බැදපු තුනපහ එළවළුවක් ද තිබූ නිසා මදි පාඩු වේදෝයි බියෙනි. තද නිවුඩු හාලේ බත් සමඟ ඒ එළවළු කෑම නිසා කිසිදු මදි පාඩුවක් සිදුවූයේ නැත. බත් බඳුනෙන් බාගයකටත් වඩා ඉතුරු පහ ද විය.
“මේන් මේ කිරිත් පැණිත් බෙදාගෙන කාපල්ලා පුතේ.” ලොකු ආත්තම්මා කියයි.
රත්නා කහඳගමගේ