නිමාවට පත්වූ දෙවැනි බෝයර් සටන හා මෙරට පළමු වනෝද්‍යාන පාලකයා
බාලදක්ෂ ව්‍යාපාරයට සම්බන්ධ සැමදෙනාම එහි නිර්මාතෘවරයාගේ ඉතිහාසය පිළිබඳ කියවද්දී එහි දෙවැනි බෝයර් සටන එක පරිච්ඡේදයක් බව දන්නවා ඇති. මෙම දෙවැනි බෝයර් සටන බාලදක්ෂයන්ට පමණක් නොව ශ්‍රී ලංකාවට ද යම් ඓතිහාසික චරිතයක් එක් කළ වැදගත් සිද්ධියකි.
බ්‍රිතාන්‍යයේ ආධිපත්‍යයට යටත්ව පිටින් පැමිණි සුද්දන් රන් රිදී දියමන්ති ඇතුළු ඛනිජ හා වන සම්පතින් සපිරි දකුණු අප්‍රිකාවෙහි සාරය උරා බීම ගැන එහි වැසියන් පසුවූයේ ඉමහත් කනස්සල්ලෙනි. විශේෂයෙන් දකුණු අප්‍රිකාවේ ආධිපත්‍ය පතුරුවාගෙන සිටි බෝයර්වරුන්ට ඉන් වැදුණේ බලවත් අතුල් පහරකි.
ඕලන්ද -ප්‍රංශ ජර්මානු සම්භවයකින් පැවතෙන බෝයර්වරුන් දකුණු අප්‍රිකාවේ මුල් පදිංචිකරුවෝ වූහ. ඔවුන් අතරින් යුට්ලන්ඩ් වැසියෝ පතල් කැණීම්කරුවන් වූ අතර, 1886දී බෝයර් අගනුවරට දකුණින් ලොව විශාලතම රන් නිධිය සොයාගත්හ. බ්‍රිතාන්‍ය ජාතිකයන් ඊට කෙළ හලමින් සිටි අතර, දහස් ගණන් බ්‍රිතාන්‍යවරු කේප් ජනපදයේ පදිංචියට පැමිණියහ. ඔවුන්ගේ කූට උපක්‍රමය වූයේ රන් හා දියමන්ති බහුල ට්‍රාන්ස්වාල් , ඔරෙන්ජ් ෆ්‍රී හා ජොහැන්ස්බර්ග් යන ප්‍රදේශ ඇතුළත්ව වෙනම ස්වාධීන පාලනයකින් යුතු රාජ්‍යයක් පත්කිරීමට යුට්ලන්ඩ් වැසියන් උසිගැන්වීමයි. මේ සඳහා බ්‍රිතාන්‍යයන්ගේ ආධාර යුට්ලන්ඩ් වැසියන්ට නොඅඩුව ලැබිණි .මෙයින් කුපිත වූ බෝයර්වරු පතල් සඳහා වූ බද්ද ඉහළ නැංවූහ. මෙයින් සිදුවූයේ යුට්ලන්ඩ් වැසියන්ගේ විරෝධය බෝයර්වරුන් වෙත එල්ල වීම ය. මෙයින් ප්‍රයෝජන ගත් බ්‍රිතාන්‍ය ජාතිකයෝ දේශපාලන, සාමාජික හා ආර්ථික ප්‍රතිපත්තියක් සහිත සාධාරණ ජන්ද නීතිය ,ස්වාධීන අධිකරණ හා හොඳ අධ්‍යාපන ක්‍රමයක් සහිත ව්‍යවස්ථාවක් හඳුන්වාදෙමින් නව ස්වාධීන රාජ්‍යයක් සඳහා යුට්ලන්ඩ් වැසියන් පෙළඹවූහ.
මෙයින් දරුණු ලෙස කුපිත වූ බෝයර්වරුන් සටනට එළැඹි අතර, එහි ප්‍රතිඑලයක් ලෙස පළමු බෝයර් යුද්ධය ඇරැඹිණි. එයින් බ්‍රිතාන්‍යයන්ට අත්වූයේ දරුණු පරාජයකි. කෙසේ වුවත් බ්‍රිතාන්‍ය ජාතිකයෝ දකුණු අප්‍රිකාව හැරදා එයින් නික්ම යෑමට තීරණය නොකළහ. දකුණු අප්‍රිකාවේ පූර්ණ බලතල තමන් අතට පත්කර ගැනීමට නම් බෝයර්වරුන් හැර අනෙකුත් ස්වදේශිකයන් තමන් වෙත නැඹුරුකර ගැනීම හෝ ඔවුන්ව තම යටතට ගැනීම බ්‍රිතාන්‍යයන්ගේ සිහිනය විය. ඇන්ග්ලෝ -බෝයර් සටන , අශාන්ති සටන , මැටබෙලේ සටන ආදිය මෙහි ප්‍රතිඵලයක් විය .
බ්‍රිතාන්‍යයේ දරුණු කෙණෙහිලි ඉවසාගත නොහැකි තැන බෝයර්වරු කල්වේලා ඇතිව දෙවැනි සටනකට සූදානම් වූහ. මෙහි ප්‍රතිඑලයක් ලෙස 1899 ඔක්තෝබර් 11 දින දෙවැනි බෝයර් සටන ඇරැඹිණි . මේ සටනට ට්‍රාන්ස්වාල් හා ඔරෙන්ජ් ෆ්‍රී යන ප්රාන්තයන්හි බෝයර් සෙබළුන් 103,000-153,000ක් හා බෝයර් කමාන්ඩෝ භටයන් ඇතුළුව 100,000 භටයන් ද විදේශ ආධාර භටයන් 5400ක් ද එක්ව සිටියහ.
මෙම සටනට බ්‍රිතාන්‍ය හමුදාවේ සෙබළුන් 347,000ක් සහභාගි වූ අතර, යුද පෙරමුණේ නායකත්වය 8 දෙනකු විසින් දරන ලදි. බෝයර්වරුන්ට නෙදර්ලන්තය , ජර්මානු හා ස්කැන්ඩිනේවියානු රටවල් පක්ෂව සිටි අතර, බ්‍රිතාන්‍ය වෙනුවෙන් අයිරිෂ් – අමෙරිකානු ස්වේච්ඡා ඔත්තු සේවය , ඉතාලි ස්වේච්ඡා සේනාංකය , අයිරිෂ් – ට්‍රාන්ස්වාල් සේනාංකය එක්ව සිටියේය . මෙම සටනට බ්‍රිතාන්‍ය සඳහා 1901දී බ්‍රිතාන්‍ය- ශ්‍රී ලංකා පාබල හමුදාව ද එක්ව සිටීම විශේෂත්වයකි. 1899දී ඇරැඹි දෙවැනි බෝයර් යුද්ධය 1902 දී අවසන් වූයේ බ්‍රිතාන්‍ය හමුදාවට ජය අත්කර දෙමිනි. මෙම යුද්ධයේදී බෝයර්වරුන් 6189 මියගිය අතර, 24,000ක් යුද සිරකරුවෝ වූහ. තවත් 21,250ක් බ්‍රිතාන්‍යයට යටත් වූහ. මෙහිදී බ්‍රිතාන්‍යයේ සෙබළුන් 22,092ක් මියගිය අතර, 934ක් අතුරුදන්වූවන් ලෙස ගැනිණි . තවත් 22,828ක් ආබාධිතයෝ වූහ. මෙම යුද්ධයේදී සාමාන්‍ය සිවිල් වැසියන් 40,370ක් මිය ගියහ. සරණාගතයින් ලෙස 26,370ක් සරණාගත කඳවුරුවලට කොටු වූහ . මෙම සටනේදී අල්ලාගත් බෝයර් යුද සිරකරුවන් තම යටත් විජිත රටවලට පිටත්කර යැවූ අතර, එලෙස
ශ්‍රී ලංකාව වෙත එවනු ලැබූ එක් බෝයර් සිරකරුවකු මෙරට ඓතිහාසික චරිතයක් විය . ඔහු එංගල් බ්‍රෙක් නම් විය . එකල හම්බන්තොට මහ දිසාපති වූ සුප්‍රකට ඉංග්‍රීසි ලේඛක ලෙනාඩ් වුල්ෆ් මහතාගේ කාරුණික අනුග්‍රහය ඇතිව යාල අභය භූමියේ පාලකයා ලෙස පත්කරනු ලැබූ එංගල් මෙරට පළමුවැනි උද්‍යාන පාලකයා විය .
ධර්මලාල් ගුණවර්ධන
බාලදක්ෂ ආචාර්ය
නාලන්දා විද්‍යාලය
කොළඹ
ගාල්ල දිස්ත්‍රික් කාණ්ඩ පුහුණු කඳවුර සාර්ථකව අවසන් වේ
ගාල්ල දිසා බාලදක්ෂ සංගමය සංවිධානය කළ කාණ්ඩ නායක පුහුණු පාඨමාලාව පසුගිය 18 වැනිදා සිට 20 වැනිදා දක්වා මානවිල උපනන්ද ජාතික පාසලේදී පැවැත්විණි.
දිසා කොමසාරිස් උපුල් කලන්සූරිය මහතාගේ මඟපෙන්වීම යටතේ ලංකා තිළිණ කුමාර මහතා පාඨමාලා සංවිධානයකර තිබිණි. පාඨමාලා නායක ලෙස මෙත්තානන්ද අරඹවෙල මහතා කටයුතු කළේය. කාණ්ඩ පුහුණු පාඨමාලාව සඳහා රිච්මන්ඩ්, විද්‍යාලෝක, ඇලෝසියස්, ධර්මාශෝක, සරාලන්කාර, මාපලගම, අම්පේගම නන්දසාර, බූස්ස, නබදව විද්‍යාල සහ මවුන්ට් කැල්වරි ජාත්‍යන්තර පාසල එක්ව සිටියේය. මෙම අවස්ථාවට උපනන්ද ජාතික පාසලේ විදුහල්පති ආරියරත්න දොළමුල්ල, සහකාර විදුහල්පති, බාලදක්ෂ නායිකා චාන්දනී කොඩිතුවක්කු, සහය දිසා කොමසාරිස් (වැඩසටහන්) චින්තක කෞශල්‍ය යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.
කෑගල්ල කාණ්ඩ නායක පුහුණු පාඨමාලාව ශාන්ත මරියා ප්‍රාථමික විද්‍යාලයේදී
කෑගල්ල දිස්ත්‍රික් බාලදක්ෂ සංගමය සංවිධානය කළ තුන් වැනි කාණ්ඩ නායක පුහුණු පාඨමාලාව කෑගල්ල ශාන්ත මරියා ප්‍රාථමික විද්‍යාලයේදී පැවැත්විණි. කෑගල්ල දිසා කොමසාරිස් ප්‍රසාද් වල්පොළ මහතාගේ මඟපෙන්වීම යටතේ පාඨමාලා නායක ලෙස සහය දිසා කොමසාරිස් (පරිපාලන), රවීන්ද්‍ර උත්පල, නියෝජ්‍ය පාඨමාලා නායක ලෙස දිස්ත්‍රික් නායිකා අනුරාධා උදේනි කුමාරි, පාඨමාලා ලේකම් ලෙස අනුරාධා විරාජිනී, සහය දිසා කොමසාරිස් සාම කුමාර හේරත් යන මහත්ම මහත්මීහු කටයුතු කළහ. සහය දිසා කොමසාරිස් ශනිලා තිරිමාන්න මෙනෙවිය ඇතුළු නායක නායිකාවෝ රැසක් සම්පත්දායකයන් ලෙස කටයුතු කළහ.
නුවන් කොඩිකාර