සාහිත්‍යය ඇසුරු කිරීමෙන් මිනිසා රසාස්වාදයට හුරු වේ. එමෙන්ම ‘කියවීමෙන් මිනිසා සම්පූර්ණ වේ’ යැයි කතාවක් ද තිබේ. ඉතින් දුවේ පුතේ, සම්පූර්ණවීම ජීවිතයකට ඉතා වැදගත් වෙන බව පුංචි ඔබටත් මේ වන විට අවබෝධයක් ඇති නේද? මේ අනුව පොත් පත් කියවීමෙන් ඕනෑම කෙනකුගේ ජීවිතයට අලුත් දෙයක් එකතු වෙන බව නම් සැබෑවකි. ඒ සියල්ල ඔබ වැඩිහිටියකු වූ විටත් වැදගත් වේ. ඉතින් දුවේ පුතේ, මේ සියල්ල සලකා බලා කියවීමේ කඳවුරක් පැවත්වීමට කහවත්ත මහා විද්‍යාලයේ විදුහල්පතිනි සන්ධ්‍යා හේමාලි මහත්මිය තීරණය කළා ය. මේ ලිපිය සැකසෙනුයේ ඇය සිය පාසලේ දරුවන්ගේ භාෂා සංවර්ධනය කිරීම සඳහා කියවීමේ කඳවුර සූදානම්කළ ආකාරය පිළිබඳයි.
මේ කඳවුර පැවැත්වීමේ අරමුණ
සාහිත්‍යය අවබෝධය සහ කියවීමෙන් දරුවන්ගේ දැනුම දියුණු කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන මේ කඳවුර පැවැත්වීමට කහවත්ත මහා විද්‍යාලය තීරණයකර තිබිණි. මේ සඳහා කලාපයෙන් පාසල් තුනක් නම්කර තිබූ අතර, කහවත්ත මහා විද්‍යාලය යනු ඒ අතරින් තවත් එක් පාසලකි. කහවත්ත මහා විද්‍යාලයේ විදුහල්පතිනය ඇතුළු ගුරු මණ්ඩලය මේ කියවීමේ කඳවුර සූදානම් කළ අතර, මේ සඳහා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පරිපාලන නිළධාරීන්ගේ සහයෝගය ද ලැබිණි. මෙවර කියවීමේ මාසයේ තේමාව මේ ආකාරයෙන් නම්කර තිබිණි.
” මඟ කියනා තරුය අකුරු
පොත් කියවමු දිනමු මිතුරු ”
ප්‍රධාන තේමාව මෙය වුවත්, කහවත්ත මහා විද්‍යාලයට ආවේණික තේමාවක් ද ඔවුහු සකස් කරගත්හ. ඒ අනුව ”කියවමු, දැනගමු, ජයගමු” යන්න ඔවුන්ගේ තේමාව විය.
කියවීමේ කඳවුරට සහභාගි වූ දරුවෝ
කියවිමේ කඳවුරට 8 ශ්‍රේණියේ දරුවෝ සහභාගි කරවා ගත් අතර, ඒ සඳහා දරුවෝ අසූ හතර දෙනෙක් සහභාගි වූහ. දරුවන්ගේ මනසේ තිබෙන ආකල්ප සංවර්ධන කිරීම මෙහි අරමුණ විය. ආකල්ප සංවර්ධනය කිරීමත්, නව ආකල්ප මනසේ වර්ධනය කිරීමත් මඟින් පිරිපුන් දරුවකු බිහි වන බව සමාජයේ ආකල්පයයි. මේ දරුවන් විවිධ සංකල්ප යටතේ කොටස්වලට බෙදූ අතර, ඒ අනුව ඔවුන්ගේ නිර්මාණශීලිත්වය එළි දැක්වීමට විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලය සමත් වූහ. මේ කාර්යය ක්‍රියාත්මක කළේ දරුවන් කණ්ඩායම් පහකට බෙදමිනි.
පරිකල්පනය හා නිර්මාණශීලි බව වර්ධනය
මේ කණ්ඩායමේ දරුවෝ තමන්ට ලැබෙන පින්තූරය මත කතන්දරයක් ගොඩනඟා ගැනීමට උත්සාහ ගත්හ. මේ කණ්ඩායම ඇතුළේ තවත් කුඩා කණ්ඩායම් තුනකට දරුවන් බෙදා දැක්වූ අතර, ඒවා තිසර, මයුර, කෝකිල ලෙස නම් කළේ ය. පළමු කණ්ඩායම ඇතුළත ඇති කණ්ඩායම් මඟින් විවිධ කතන්දර නිර්මාණ විය. මෙයින් දරුවන් යමක් නිර්මාණය කරන්නේ කුමන ආකාරයෙන් ද යන්න ඔවුන්ගේ මනසේ වර්ධනය විය. මේ ආකාරයට පින්තූරක් දෙස බලා කතාවක් නිර්මාණය කිරීමෙන් දරුවා නිර්මාණකරුවකු බවට පත් වේ. මෙයින් ඔහුට හෝ ඇයට අවබෝධයෙන්ම නිර්මාණයක් කිරීමේ කුසලතාව ලැබේ. මෙලෙස පාසලෙන් නිර්මාණශීලි දරුවකු බිහි වූ විට ඔහුගෙන් සමාජයට යහපතක් සැලසෙයි. මෙය අරමුණු කරගෙන මෙම කණ්ඩායම් ක්‍රියාකාරකම් දරුවන්ට හඳුන්වා දුණි.
ආගම හා සහජීවනය ගැන ආකල්ප වර්ධනය කිරීම
මේ කණ්ඩායමට ද පෙර කණ්ඩායමේ මෙන්ම තිසර, මයුර, කෝකිල යනුවෙන් කුඩා කණ්ඩායම් තුනක් අන්තර්ගත වූ අතර, ප්‍රධාන මාතෘකාව යටතේ ඔවුන්ට ද විවිධ වූ ක්‍රියාකාරකම්වල නිරතවීමට අවස්ථාව ලබා දුණි. උදාහණ ලෙස ඔවුන්ට පිරිනමන ලද හෝ නම් කරන ලද ආගමික සිද්ධස්ථානයක් පිළිබඳ ඔවුන් දන්නා තොරතුරු ඉදිරිපත් කරන්නේ කුමන ආකාරයෙන් ද යන්න නිරීක්ෂණය කිරීම මෙයින් සිදු විය. දහමක් මඟින් දරුවකුට නිසි මාවත පෙන්වා දීමේ හැකියාව තිබේ. කුඩා කාලයේ සිටම දරුවකු දහම වෙත යොමු කිරීමෙන් ඔහුට සහජීවනයක් ඇති වෙයි. මේ සහජීවනයට දරුවකු මුලින්ම හුරු කළ යුත්තේ නිවෙසෙනි. එයින් පසු පාසලට එම කාර්යය පැවරෙයි. මෙය අවබෝධයෙන් යා යුතු ගමන් මාර්ගයකි. මෙම නිසා මේ කණ්ඩායමේ දරුවන්ට ශ්‍රී ලංකාවේ පවතින ආගමික සිද්ධස්ථාන සහ ඒවායේදී කළයුතු වැඳුම් පිදුම් පිළිබඳ අවබෝධයක් ලබා දුණි.
භාෂා කුසලතා සංවර්ධනය
වර්තමාන දරුවෝ බොහෝවිට තාක්ෂණය උපයෝගි කරගනිති. මෙය ගම හෝ නගරය කියා වෙනසක් නැත. smart phone තිබෙන ඕනෑම දරුවකු e reading සඳහා නිරායාසයෙන්ම යොමු වේ. මේ නිසා තාක්ෂණය උපයෝගි කරගනිමින් දරුවා සාහිත්‍යයට යොමු කරන්නේ කෙසේ ද යන්න පිළිබඳ ගැටලුවක් මේ වන විටත් ගුරුවරුන්ට ඇත. මේ ගැන වර්තමානයේ ගුරුවරු සැලකිලිමත් වෙති. වර්තමානයේ බොහෝ පාසල්වලට ස්මාට් බෝඩ් ද තිබේ. මේවා යොදා ගනිමින් තමන් පාසල ඇතුළේදී අධ්‍යාපන කාර්යයන්හිේ නිරත වෙන ආකාරය පිළිබඳ දරුවාට අවබෝධයක් ලබා දීම මේ කණ්ඩායමේ අරමුණයි. මෙහිදී ඉංග්‍රීසි භාෂාව පිළිබඳ නිපුණතාවක් ද දරුවන්ට ලබාදීමට මේ කණ්ඩායමේ ගුරුවරු සමත් වූහ. පරිවර්තනයත්, පරිවර්තන සාහිත්‍යය පිළිබඳවත් මෙහිදී දරුවන්ට අවබෝධය ලැබිණි.
පෞරුෂත්වය හා නායකත්ව කුසලතා සංවර්ධනය
ඕනෑම දරුවකු නායකයකු විය හැකි ය. කිසියම් කාර්යයක් නිසි පිළිවෙළට පිරිසක් හෝ කණ්ඩායමක් එකමුතු කරමින් කිරීමට හැකියාව ලැබෙන ඕනෑම පුද්ගලයකු නායකයකු ලෙස සැලකීමට හැකියාව තිබේ. මෙහිදී කණ්ඩායමේ සෙස්සන්ගේ දුර්වලතා, අඩුපාඩු සියල්ල නායකයා විසින් හඳුනා ගත යුතුයි. එසේ හඳුනාගෙන ඒ සඳහා නිසි පිළියම් යොදමින් කටයුතු කිරීමට හැකියාව ලැබේ නම් එය නායකත්වයේ දක්ෂතාවකි. තම කණ්ඩායම නිසි ඉලක්කයට මෙහෙයවීමත් ඔවුන් දැනුමෙන් සහ අත්දැකීම්වලින් පෝෂණය කිරීමත් නායකත්වයේ හොඳ ලක්ෂණයකි. නායකයා සෑම විටම සිය කණ්ඩායම ආරක්ෂා කළ යුතුයි. කණ්ඩායමේ එක් දුර්වල පුද්ගලයකු සිටියහොත් එම පුද්ගලයා කෙරෙහි නිසි අවධානය යොමු කරමින් එම පුද්ගලයාට සිය සහයෝගය උපරිම අයුරින් ලබා දීම හොඳ නායකයකුගේ ලක්ෂණයකි. නායකයා සෑම විටම ඉදිරිය ගැන සිතමින් කටයුතු කළ යුතු අතර, කණ්ඩායමෙන් සිදු වන අතපසුවීම් කිසිවිටෙකත් සිය කණ්ඩායම වෙතට පවරා නිහඬ නොවිය යුතු ය. සියලු වගකීම් දරමින්, යුතුකම් ඉටු කරමින්, ඉදිරියට යෑමට නායකයා උත්සාහ දරයි.
රසවින්දනය පිළිබඳ කුසලතා සංවර්ධනය
මෙහිදී විවිධ ගීත යොදා ගනිමින් දරුවන්ගේ රසවින්දනය දියුණු කරගැනීම සඳහා ඔවුන්ට දායකත්වයක් ලබා දීමට ගුරුවරු තමන්ගේ ශ්‍රමය සහ කැපවීම යෙදූහ. මෙහිදී ‘අම්මා සඳකි’ යන ගීතය උපයෝගි කරගනිමින් දරුවන්ට එය දැනෙන ආකාරය පිළිබඳ විස්තර කිරීමටත් ගුරුවරු උත්සාහ ගත්හ. සාහිත්‍යය කෘතියක් රසවිඳීමට වර්තමාන දරුවා හුරු කළ යුතුයි. එසේ හුරු නොකළ හොත් ඔහුට හෝ ඇයට තිබෙන මානුෂීය ගුණ දහම් අඩු වේ. මේ නිසා මනුෂ්‍යත්වයෙන් හෙබි දරුවකු තැනීමට නම් නිරන්තරයෙන්ම ඔහුගේ හෝ ඇයගේ මනසේ මනුෂ්‍යත්වය වගා කළ යුතු ය. මේ සඳහා සාහිත්‍යය රස වින්දනය කිරීම අත්‍යවශ්‍ය වේ. දරුවා සාක්ෂරතාවයෙන් පිරිපුන් වූවිට සෑම සාහිත්‍යය කෘතියක්ම කියවීමේ අවශ්‍යතාව දරුවාට නිතැතින්ම ඇති වේ. මෙලෙස දරුවා විසින්ම සාහිත්‍ය කෘතියක් තෝරා කියවීමට හුරු කිරීමට නම් මුල් අවධියේදී ගුරුවරුන් සහ මව්පියන් ඒ වෙනුවෙන් ප්‍රමුඛත්වය ගත යුතුයි. මේ සඳහා පෙරහුරුවක් ලෙස රසවින්දනය පිළිබඳ කුසලතා සංවර්ධනයට පාසලෙන් කරනු ලබන පෙලඹවීම වඩාත් යෝග්‍ය වේ. කවියක්, නවකතාවක්, කෙටිකතාවක්, ලිවීමට හැකි සාහිත්‍යධරයකු බිහි වන්නේ පාසලෙන් ඇති කරනු ලබන උනන්දුව නිසා ය. වැඩිවියට පත්වීමෙන් පසු සාහිත්‍යයට රුචියක් ඇති කිරීමට හැකියාවක් නැති අතර, එය කුඩා කාලයේ සිටම පුරුදු පුහුණු කළ යුතු ගුණාංගයකි. සාහිත්‍යයට යොමු දරුවකු සෑම විටම සියලු සමාජීය සත්ත්වයන් දෙස බලනු ලබන්නේ සානුකම්පිතව ය. මෙය දරුවන්ගේ මනසෙහි වර්ධනය කිරීමේ අරමුණින් කියවීමේ කඳවුරට රසවින්දනය පිළිබඳ කුසලතා සංවර්ධනය ද යොදා ගනු ලැබිණි.
රූපාන්ති බුලත්සිංහල
ඡායාරූප- කහවත්ත මහා විද්‍යාලයේ මාධ්‍ය ඒකකය