Home » Blog » කුඩුම්බිගල තපෝවනය

කුඩුම්බිගල තපෝවනය

by thanushika
0 comments

ආදරණීය දුවේ පුතේ, අද දවසේ උරුමයක වගතුගවලින් අපි පින්බර කුඩුම්බිගල තපෝවනයෙහි තොරතුරු සොයා බලමු. අම්පාර දිස්ත්‍රික්කයේ පානම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පානම ගමේ මෙම තපෝවනය පිහිටා තිබේ. විශාල ගල් පර්වත හා ඝන කැලෑවක පිහිටි රමණීය භූමියකට උරුමකම් කියන මෙම තපෝවනය විල ඔය, කුඹුකන් ඔය, සැලව ආර හා බැලුම්ගල වැනි ස්වාභාවික ගංගා හා පර්වතයන්ගෙන් වටව පිහිටා තිබේ. ප්‍රධාන පර්වත පහකින් වටවී ඇති මෙම තපෝවනය නටබුන් රාශියකින් ගහනව පවතින අතර, දේවානම්පියතිස්ස රජ සමයේ දොළොස් දහසක් රහතන් වහන්සේලා මෙහි වැඩ සිටින ලදැයි විශ්වාස කෙරේ. එනිසාම මෙම භූමිය ‘රෝහණ චේතිය පබ්බතය’ වශයෙන් ද හඳුන්වා ඇත.

18 වැනි සියවසේ ඇති වූ මැලේරියා වසංගතයත් සමඟ ක්‍රමයෙන් අත්හැර දමන ලද මෙම තපෝ වනය නැවතත් කතෝලික ආගමිකයකු වූ ඉමානිස් මහතා විසින් බුදු දහම වැලඳගෙන 1952දී තාඹුගල ආනන්ද සිරි ස්වාමීන් වහන්සේ වශයෙන් නම් ලැබ සුදර්ශන ලෙන නම් ස්ථානයට වැඩමකර සංවර්ධනය කොට පවත්වාගෙන යෑම ආරම්භ කරන ලදි.

ඓතිහාසික රෝහණ රාජධානියට අයත්ව තිබූ ප්‍රදේශයක් වන මෙම භූමිය තවමත් හරිහැටි පුරාවිද්‍යා පර්යේෂණයන්ට බඳුන් නොවූ ඉසව්වකි. ශ්‍රී ලංකාවේ අප්‍රකට ස්ථාන පිළිබඳ තොරතුරු සොයා ගිය හෙන්රි පාකර් මහතා ඔහු විසින් රචිත ඒදජඪඥදබ ඛ්ඥරතධද කෘතියෙහි ද කුඩුම්බිගල පිළිබඳ දක්වා තිබේ. ඒ අනුව පාකර් මහතා මුලින්ම කුඩුම්බිගල සුදර්ශන ලෙනෙහි තිබෙන “මිත්‍රගේ ලෙන් ලිපිය” ඇතුළු ලිපි 5ක් පිටපත්කර තිබෙන අතර, එමඟින් එහි යටගියාව අනාවරණය කරගැනීමට පහසු වී ඇත. එසේම පුරාවිද්‍යා නිලධාරියකු වූ හෙන්රි හෝකාට් මහතා, සෙනරත් පරණවිතානයන් , ආචාර්ය ශිරාන් දැරණියගල මහතා වැනි බොහෝ පුරාවිද්‍යාඥයන් මෙම ප්‍රදේශය ආශ්‍රිතව ගවේෂණ සිදුකර ඇත. එහිදී ඔවුන් විසින් අනාවරණය කරගන්නා ලද තොරතුරු රාශියකි.

කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනයට ප්‍රවේශ වීමේදී අපට මුලින්ම හමු වන්නේ කුඩුම්බිගල විශ්‍රාම ශාලාවයි. එහි සිට කිලෝමීටර් 2ක් පමණ ගිය පසු ස්වාමීන් වහන්සේලා රැස්වන, පොහොය කරන, දේශනා පවත්වන මධ්‍ය මණ්ඩල ශාලාව තිබෙන තපෝවනය ආරණ්‍යයට ප්‍රවේශ විය හැකි ය. වියළි කලාපයෙහි පිහිටා තිබුණ ද මෙම ආරණ්‍ය සේනාසනයෙහි දවස පුරාම අඳුරු සිසිලසක් පවතී . මෙහි තැන් තැන්වල සුපිරිසුදු ජලය සහිත දිය උල්පත් දක්නට හැකි අතර, විශ්‍රාම ශාලාව අසලින් ගලා බසිනා දිය ඇල්ල මනරම් දර්ශනයක් නිර්මාණය කරයි. එය අවුරුද්දේ මාස නවයක් පුරා නොසි¼දී පවතින අතර, විශ්‍රාම ශාලාවට දකුණු පසින් පිහිටි බුද්ධ රූප පබ්බතය පාමුල ද නොසිඳෙන ජල පොකුණක් දැකිය හැකි ය.

මෙහි ස්තූප වශයෙන් ගත හැකි ගොඩනැඟිලි 8ක් දැකිය හැකි අතර, එයින් තුනක් “සඳගිරි බැලුම්ගල” නමින් හඳුන්වන පර්වත මුදුනේ එකකට එකක් සමීප වන ලෙස පිහිටා තිබේ. මෙහි ප්‍රධාන ස්තූපය ප්‍රතිසංස්කරණයකර ඇති අතර, සෙසු ඒවා පස් ගොඩැලි ලෙස පවතියි. “සුමනකූටය” නමින් ව්‍යවහාර වන පර්වත මුදුනේ ද ස්තූප 3ක් පිහිටා තිබේ. මේවා හැර ගොඩනැඟිලි කිහිපයකට අයත් ගඩොලු දක්නට ලැබේ. අක්ෂර කොටන ලද ගඩොලු කැට 18ක් ද මෙහි තිබී හමුවී ඇත. ඒවා යුග තුනකට අයත් ලෙස හඳුනාගෙන තිබේ. මෙහි ලෙන් තුළ බිත්ති බැඳ ඇති අතර, ගොඩනැඟිලි ඉදිකිරීමේදී පාදම ගැඹුරට හාරා ඉතා ශක්තිමත් ලෙස සකස්කර තිබුණු බවක් පෙනෙයි. බදාම ලෙස භාවිතකර තිබෙන්නේ

“බෙලිකටු මිශ්‍ර හුනු බදාමයකි.” මෙවැනි ගොඩනැඟිලි 18ක්වත් මෙහි තිබූ බවට විශ්වාස කෙරේ.

මෙහි තැනින් තැන ඉතා චාම් ලෙස නිර්මාණය කරන ලද සඳකඩ පහණ කිහිපයක් දක්නට ලැබේ. මුරගල් වශයෙන් හඳුනාගෙන ඇති නිර්මාණ ද කිහිපයකි.

මෙහි ඇති කටාරම් කෙටූ ⁣ගල් ලෙන් 105ක් ආරණ්‍යගත භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා යොදා ගන්නට ඇත. එසේම පැරැණි චෛත්‍ය දෙකක් ද කුඩුම්බිගලදී දැකිය හැකි අතර, එක් චෛත්‍යයක් විශේෂ සිලින්ඩරාකාර හැඩයකින් නිමවා තිබේ. මෙම ආරණ්‍ය නෂ්ටාවශේෂ අතරින් පෘතුගීසි හේවායන්ගේ කවන්ධ රූප, මැටි ජෝගු කැබලි, කාසි වැනි දේ ද හමු වී ඇත. එයින් මෙම ප්‍රදේශය ආශ්‍රිතව පෘතුගීසි හා ලන්දේසි බළකොටු පවතින්නට ඇතැයි විශ්වාස කෙරේ.

මෙහි පවතින භික්‍ෂූන් වහන්සේලාගේ කුටි, මැටි බදාමයෙන් නිමවා ඇති අතර, වර්තමානය වන විට ඒවා ප්‍රතිසංස්කරණය කළයුතු මට්ටමක පවතියි. එසේම මෙහි තිබෙන ශෛලමය සඳකඩපහණ, මුරගල්, කොරවක්ගල්, මලසුන් ගල්, පියගැටපෙළවල් හා ස්තූප ආදී නටබුන් ද සංරක්ෂණය කිරීම කාලීන අවශ්‍යතාවක් බවට පත්ව ඇත.

එම තපෝවනය ආශ්‍රිතව පිහිටා ඇති වැව් ද රාශියකි. එහි ගිනිකොන දෙසින් පිහිටි කුඩුම්බිගල වැවත්, බටහිරින් පිහිටි බඹරගස්තලා වැවත්, වයඹින් පිහිටි ඉයග්ගහ වැවත්, උතුරු දෙසින් පිහිටි උඩහැලව වැවත් ඒ අතර ප්‍රධාන වේ. තවත් ලොකු, කුඩා වැව් රාශියක් කුඩුම්බිගල අවට පිහිටා තිබුණ ද මේ වැව් පුරාණ ගල් බැමි, සොරොව් සමඟම

මඩ ⁣ ගොහොරු හා වියළි පිටි බවට පත්ව විනාශ වෙමින් පවතියි. එහෙයින් මෙකී පුරාණ උරුමයන් ආරක්ෂා කරගැනීම අප සියලු දෙනාගේම වගකීමකි.

ලක්නා නිරෝෂිමාලා


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department