Home » Blog » සුන්දරත්වයෙන් පිරුණු ස්ටැන්ලි මිචෙල් පැල්පත

සුන්දරත්වයෙන් පිරුණු ස්ටැන්ලි මිචෙල් පැල්පත

by thanushika
0 comments

ස්ටැන්ලි මිචෙල් පැල්පත කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියාවේ පිහිටා ඇත. මෙය සංචාරකයන්ගේ අවධානයට ලක් වූ ස්ථානයකි. මෙම පැල්පත පිහිටා ඇත්තේ The President  නමින් හඳුන්වන කන්ද පාමුල කුඩා තණබිමක ය. ස්ටැන්ලි මිචෙල් පැල්පත නඩත්තු කරන්නේ කැනඩාවේ ඇල්පයින් සමාජය (The Alpine Club of Canada) මඟිනි. ස්ටැන්ලි මිචෙල් වර්ෂ 1907 සිට වර්ෂ 1930 දක්වා කාලයේ මෙහි භාණ්ඩාගාරික සහ ලේකම් ලෙස කටයුතුකර තිබේ. මොහුට එහිදී හමු වූ සාමාජිකයන්ගෙන් සහ සෙසු නිර්මාතෘවරුන්ගෙන් ඔහුට ප්‍රශංසා හිමි විය. වර්ෂ 1940දී ස්ටැන්ලි මිචෙල් මිය ගියේ ය. ඔහුගේ මිය යෑමත් සමඟ මෙම පැල්පතට ඔහුගේ නම තබා ඇත. ඉතින් මේ සූදානම පුංචි දූලා පුතාලට ස්ටැන්ලි මිචෙල් පැල්පත ගැන තොරතුරු රැගෙන එන්නයි.

වර්ෂ 1954 සිට 70 දශකයේ මැද භාගය දක්වා කඳු නැඟීමේ ක්‍රීඩාව ජනප්‍රිය විය. හාන්ස් ග්මෝසර් ඔහුගේ චාරිකාව සඳහා විවිධ ස්ථාන තෝරා ගත්තේ ය. එවැනි අවස්ථාවල ඔහු ස්ටැන්ලි මිචෙල් පැල්පත පිළිබඳ අවධානය යොමු කළේ ය. මෙම පැල්පත අවට අලංකාර තණබිම්, කඳුකර භූමි ද පිහිටා තිබේ. ස්ටැන්ලි මිචෙල් පැල්පත වර්ෂ 1997දී ෆෙඩරල් උරුම ගොඩනැඟිල්ලක් ලෙස නම් කළේ ය.

ස්ටැන්ලි මිචෙල් පැල්පතෙහි විශාල මුළුතැන්ගෙයක් ද ඇත. මෙම මුළුතැන්ගෙය මේස, ළිප, ආසන සහ කෑම කාමරයකින් ද සමන්විත වේ. පිඟන්, හැඳී සහ ගෑරුප්පු වැනි උපකරණ ද මෙම මුළුතැන්ගෙයි ඇත. වතුර බාල්දි, පොරෝ, කියත් සහ සවල් යන මෙවලම් ද මෙහි දැක ගත හැකි ය. ස්ටැන්ලි මිචෙල් පැල්පත ප්‍රොපේන් විදුලි පහන්වලින් ආලෝකවත් වී තිබේ. ඇඳුම් වියළීමට සහ රෙදි මැදීම සඳහා දර ළිපක් ද ඇත. මෙම පැල්පත පිටුපස දර ගබඩාකර තිබේ. ස්ටැන්ලි මිචෙල් පැල්පතට මීටර් 60ක් දකුණින් ඇති තණබිම ඔස්සේ දිවෙන කිවෙටිනොක් විල (Kiwetinok Lake) මඟින් පෝෂණය වන කුඩා දිය පහරක් ඇති අතර, පානය කිරීම සඳහා එහි වැසියෝ මෙයින් දිය ගනිති.

රථයකින් ස්ටැන්ලි මිචෙල් හට් වෙත පැමිණෙන්නෙක් එහි ළඟා වන්නේ යොහෝ වැලි පාරේ සිට ටකාකාව් ඇල්ල දක්වා ධාවනය කිරීමෙන් පසුවයි. එතැන් සිට ලිට්ල් යෝහෝ නිම්න මාවත දිගේ මීටර් 550ක උන්නතාංශයක් සමඟ කිලෝමීටර 10කට ආසන්න දුරක් ඇවිද යෑමට හැකියාව ලැබේ. ඒ යන අතරමඟදී ලාෆින් ඇල්ල ද හමු වේ.

ස්ටැන්ලි මිචෙල් පැල්පතට යෑමට ප්‍රවේශයන් දෙකක් තිබේ. එනම් ලිට්ල් යෝහෝ නිම්නය සහ අයිස්ලයින් ට්‍රේල් ය. ලිට්ල් යෝහෝ නිම්නය මාර්ගය නිසි ලෙස සංවර්ධනයකර ඇත. මෙම මාර්ගය ඉතා දර්ශනීය වේ. ස්ටැන්ලි මිචෙල් පැල්පත නැරැඹීමට යෑමෙන් ඒ අවට ඇති විස්මයජනක දේවල් නැරැඹීමට ද හැකියාව ලැබේ.

චතුරි ලක්ෂිකා

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department