Home » Blog » දෙණියේ පැළ සිටවූයෙමු

දෙණියේ පැළ සිටවූයෙමු

by thanushika
0 comments

මුළු අහසම වසාගත් බීරානිය පරිසරයම අඳුරුකර ඇත. වැස්සක ලකුණුූ පහළ වන්නට විය. හීන් සිරිපොද එක, දෙක වැටෙද්දී අම්මා අප දෙදෙනාට කතා කළා ය.

“නියඟට ගුඩුවෙලා තිබුණ පොළොව තෙතබරියන් කරන්නයි හදන්නෙ. මං පියදාසට එන්න කිව්වා අර බතල කඳු ටික හදාගන්න. ලොකු වැස්සක් ආවොත් නම් කරන්න බැරිවෙයි.” ආත්තම්මා කීවා ය.

“ඔන්න කංචු වහිනවා. උඹ මොකද කරන්නේ?” යැයි අසාගෙන කරුණෙ ගෙට ගොඩ විය.

මම කුස්සියේ සිට කරුණෙගෙ හඬ ඔස්සේ මිදුල අයිනට ගියෙමි.

“මට තේරුණා ගෙම්බො කෑ ගහන සද්දෙන්ම ළඟදි වැහි ඇල්ලක් එයි කියලා”

අප්පච්චි තමන්ගේ අනාවැකිය හරි බව සනාථකර සිටියේ ය.

“කොහොමද මාමා ගෙම්බන් කෑගැහුවාම වහී කියන්නෙ?”

“ඒ කෑ ගහන සද්දෙට. හොඳට බිමට බරට කෑගැහුවොත් දවස් දෙක තුනක් ඇතුළතදී වහිනවාමයි. ඒ වගේම මම ඔය ළමයට තව එකක් කියන්නම්. ඔය දිගින් දිගට පේළි හැදිලා කුහුඹුවො යන්නෙ, උනුත් කියන්නෙ අපට වැස්සක් ළඟ බව පුතේ. ඊළඟට කොබෙයියන් ගුරු ගුරු ගගා කරන සද්දෙන් අඟවන්නෙත් වැස්සක් ළඟ බවමයි. වැහි ලිහිණි උඩ ආකාසේ කැරකෙමින් පියාඹයි නම් ඒකත් එක වැහි ලකුණක්. ඕව පුතේ ඔය පාරම්පරික ඥානය” අප්පච්චි කීවේ ය.

“ඒ වගේම තමයි වෙලාව බලාගැනීම. ඒකටත් ඔය වගේ ක්‍රම තියෙනවනේ. එකක් තමා හෙවණැල්ල අනෙක හිටි පියවර මැනීම. ඉස්සර අපේ අප්පච්චිලාගෙ කාලෙ ඔය ඔරලෝසු තිබුණ යැ. එහෙම නැතත් ඒ මිනිස්සුත් වෙලාව බැලුවනේ.” අප්පච්චි අපට දිගු විස්තරයක් කළේ ය.

“ඔය වගේ සිරිත් කොයි තරමක් නම් අපේ පැරැණි මුතුන් මිත්තන් අතර තිබුණ ද? ඒත් දැන් ඒවා හුඟක් දුරට විනාශ වෙලා ගිහින්. කොටින්ම කියනවනම් බාලපරම්පරාව ඒවා අමතක කරදාමින් ගිහිල්ලා. එහෙම හොඳ නෑ. අපි එකල පැවති එයාලාගෙ ඥානයට, දැනුමට ගරු කරන්න ඕනේ.”

“ආං……….අර දෙන්නත් මේ පැත්තට එනවා.” විමලෙත් සුගතෙත් ගේ පැත්තට එමින් සිටිනු දුටු කරුණේ කීවේ ය.

“මොකද මේගොල්ල මේ පාන්දරම ලොකු සාකච්ඡාවක් ද?” විමලේ ඇසුවේ ය.

“මේ විදානෙ මාමා අපට ඉස්සර තිබූ තොරතුරු ටිකක් කිව්වනේ. අනේ මාමෙ ඒ වගේ පරණ විස්තර තියෙනවා නම් අපටත් කියන්නකො.” සුගතේ ආරාධනා කළේ ය.

“ඔන්න එහෙනම් අහගන්නකො. මං අහපුව, දොඩාපුවා දෙක තුනක් කියන්නම්” අප්පච්චි කතාවට හවුල් වූයේ ය.

“අපේ පැරැණි අය හරියට නැකැත් විශ්වාස කළා. ඉතින් ඒව බොහොම වෙලාවට හරි.”

“ගමනක් බිමනක් යද්දිං……..ඔන්න පිටත් වෙන්න හදන කොටම හූනෙක් ඇඬුවොත් මිනිත්තුවක් දෙකක් පහුවෙලා තමයි ඒ ගමන යන්නෙ. ඉතින් ඒක වරදින්නෙ නෑ. ඊළඟට හොඳ ගමනක් (මනාලියක් බලන්න යන එකක් නැතිනම් ආණ්ඩුවෙ රස්සාවකට යන එකක්) යන්න ඕනෙනම් දකුණු කකුල ඉස්සරහට තියලා, මරුට පිටුපාලා දිසාව තීරණය කරගෙන තමා යන්නෙ. දැන් වගේ ඔය හිතුණ හිතුණ ගමන් බැහැලා යන්නෙ නෑ.” අප්පච්චි තම දැනුම බෙදා දුන්නේ ය.

“ඉස්සර වගේ හූනො දැන් නෑ මාමා. උන් නැකැත් දන්නව නම් මොකද මාමා පොල් අත්තෙත් බිත්තර දාන්නෙ ?” කරුණේ තම ගැටලුව අප්පච්චිට ඉදිරිපත් කළේ ය.

“ඔය උඹලගෙ පැහිච්චකම් හින්ද තමයි කිසි දෙයක් යා දෙන්නෙ නැත්තෙ.” මේසය ළඟ ඉඳගෙන පැදුරක් පුරන ආත්තම්මා කීවා ය.

“දරුවනේ කාලයත් එක්ක මිනිසුන් විශ්වාස කරපු සමහර දේවල් වරදිනවා. මම අද කියන්නම්. ඔය පෙර කාලෙත් අද වගේම නුවණින් අඩු මහදැනමුත්තා තමයි ගමටම හිටිය දැන මුත්තා. ඒත් එයාගෙ වැඩ හරි ද? ඔය දරුවො අහලා ඇතිනේ ඒ කතන්දර. අර එළුවා බේරපු හැටි එහෙම. ඔළුව මුට්ටියට දාපු එළුවගේ හිස බේරන්න ඕනේ කොහොමද කියල මහදැනමුත්තගෙන් ඇහුවම මුට්ටිය බේරගන්න එළුවගෙ බෙල්ල කපන්න කීවලු. ඊට පස්සේ අර හිස බේරන්න මුට්ටිය බිඳින්න ඕනේ කිව්වලු. ඔන්න මහදැනමුත්තගෙ නුවණ. මුට්ටියත් බිඳුණා. එළුවත් මැරුණා.

කතන්දර එහෙම හැදුවට දරුවනේ සිංහලයො එච්චර

මෝඩ නෑ. “ ආත්තම්මාගේ ප්‍රතිචාරය එයයි.

“මෝඩ නැත්නම් ආත්තම්මෙ අර මී රා බීපු මිනිස්සු ඒවා ළිඳේ වතුරය කියලා රෑ රාත්තිරියෙ ළිඳ තඩලාගෙන යන්න ආවාය කියන්නෙ.”

“හරි…………හරි…………ඒවා ගොතපු කතන්දරය කියලා හිතන්න බැරි අයත් ඉන්නවනේ. අන්න උනුත් මෝඩයො.”

“අපි ඔය කතාවල් ඇදගෙන හිත් අමනාප කරගන්න කාරි නැහැනේ.” ආත්තම්මා නැඟිට ගෙට ගියා ය.

“කොහෙද ඉතින්…….මුකුත් කියන්න හැටියක් නැහැනේ. ආත්තම්මාට කේන්ති යනවා.”

“ඉතින් කංචු අද මොකද කරන්නෙ?”

“මං දන්නෙ නෑ. ඔයාල කරන දේකට මාත් මල්ලිත් එක්ක එනවා……..”

“සුගතෙ, කියනවා සිරිමලා තොරණට රූප රාමු අඳින තැනට යමු කියලා. විමලෙ කියනවා මහවළේ කොහිල කපන්න යමු කියලා. සෝමෙ කතා කළා. එයාලගෙ දෙණියෙ තේ පැළ හිටෝමු කියලා. සල්ලිත් දෙන කතාවකුත් කිව්වා.”

“ඉතින් අපි මොනවද කරන්නෙ.?

“සෝමෙ අපි එක්ක වැඩි ආස්සරයක් නම් නෑ. ඒ වුණත්.තරහක් නෑ. ඌ අපට ඉහළ කැලෑසියෙ නොව.”

“කොහෙද එයාලගෙ ගෙවල්. මං නම් දන්නෙ නෑ. ඔය තලාව කියන හරියෙලු. එහෙනම් අපි එයාට දවසෙන් බාගයක්වත් උදව් වෙලා එමු නේද?”

ගල් මුල් උඩින් පැන පැන අපි කැකිල්ල ගාලවල් මැදින් සෝමේ කියූ ඉසව්වට යෑමට පිටත් වුණෙමු.

“කොල්ලො වුණහම ගමේ, රටේ ඇවිදින්න ඕනෙ. ඔය කඳු දෙවරාව මැදින් ගියාම මහවේල්ල හමුවෙනවා. ඒ වේල්ල දෙපසෙ තියෙන්නෙ කුඹුරු යායක්. ඒ කුඹුරු යාය අයිනෙන් ගලාගෙන යනවා පිටවාන් වේල්ලක්. ඒ වේල්ලෙන් එගොඩ වුණාම හමුවෙන්නෙ දෙණිය. දෙණිය පහු කළාම හම්බ වෙන්නෙ තලාව. ඒක ලොකු ප්‍රදේශයක්. ඒකෙ ගෙවල් තියෙනවා. ඔය හරියට ගෙහුන් සෝමෙලාගේ ගෙදර ගැන අහලා බැලුවම හොයා ගන්න අමාරු වෙන එකක් නෑ.” අප්පච්චි කීවේ ය.

“අනේ හැබෑටම මේ අප්පොච්චා නම් පුදුම ජාතියෙ මිනිහෙක්. කොල්ලන්ට යන්න පාරත් කියල දෙනවා.” ආත්තම්මා කියවන්නට වූවා ය.

“කොල්ලො රට, ගම, මඟතොට දැන ගන්න ඕනෙ අම්මෙ. නිකං ගෙහුං අතරමං වුණාම කාලය අපරාදෙනේ. අම්මෙ.”

“ඔව්……..ඉතින් උඹලා කරන කියන සේරම හරි.” ඇය කියනු ඇසුණි.

අප දෙණියෙ ළඟට යද්දින්ම සෝමෙ අප ඉදිරියට දිවගෙන ආවේ ය.

“මහ ගෙදර දන්නෙ නෑ ඔයාලා එන බව. කිව්වට මම හිතුවෙත් නෑ ඔයාලා ඒවිය කියලා. අහළ පහළ මාමලා තුන් හතර දෙනෙකුත් ආවා.

දැන් ඔයාලත් හතර දෙනෙක් ඉන්නවා.”

සමහරෙක් අලවංගු ගෙන කබොක්ගල් පල්ලමට පෙරළා දමති. තව කෙනෙක් අවට බටපඳුරු මුලින්ම ගලවා පල්ලමටම රූටා දමති. සෙලවීමටවත් බැරි මහ ගල් පරුවතය මඟහැර සෙසු බිම මට්ටම් කරන්නට

අපි ද දායක වීමු. උඩහින් තිබූ මායිමේ පැළක තේ මුට්ටියක් පැහැ දමමින් තිබෙනු දැකිය හැකි විය. මඤ්ඤොක්කා අල පුලුස්සා පුවක් කොළපතක තබා ඇත.

“පුතේ! ඔය යාළුවන්ව එක්ක එන්න. මාමලාටත් එන්න කියන්න කහට ටිකක් බොන්න” සෝමෙගෙ තාත්තා දෙණිය ඉහත්තාවේ සිට කෑ ගසයි.

“හා….හා…. යමු. යමු මාමලත් යමුකො තේ බොන්න.” සෝමේ කීවේ ය.

අපි කවුරුත් එකාවන්ව ආවෙමු. පැල ඇත්තේ මහා දඹ ගසක් සෙවණේ ය. සුළං පහර නිසා දාහය එතරම් නොදැනුණ ද, දැඩි වෙහෙසක් දැනෙන්නට විය. අපි සෝමෙගේ වාඩි තේ එකක රස බලන ගමන් වේලාසනින් යන බව ද ඔහුට කීවෙමු.

“අපි ආවෙ උදව්වට. සල්ලි බලාගෙන නෙවෙයි සෝමෙ.

“මේ විදානෙ මහත්තයගෙ පුතංඩිය නේද ?” කෙනෙක් සෝමෙගෙන් ඇසුවේ ය.

“ඔව් මාමා හරි. ඔය ටිකිරි මල්ලියි කංචුයි දෙන්නම එහේ ගෙදර..” සෝමේ කීවේ ය.

“මං මේ දරුව දැකලා තියෙනවා හාල්පොත් ගන්න ගියපු දවසෙ. ඒකයි ටක්කෙට මතක හිටියෙ.” ඒ මාමා කීවේ ය.

“ඒ වුණාට තව ටිකකින් යන්න ඕනෙලු. මං ඊයෙ කිව්වට හිතුවෙ නැ මෙයාලා එයි කියලා.”

“ඔන්න අපි ගැන විශ්වාස කරාපු හැටි නැද්ද මාමෙ.” කරුණේ කීවේ ය.

“එහෙම යන්න බෑ. දවල්ට මොනාහරි කාලා යන්න. අම්මා තව පොඩ්ඩකින් කෑම ටික අරන් ඒවි..” සෝමේ කීවේ ය.

අපි කිසිවක් නොකියා සකස් කරන ලද වළවල්වල තේ පැළ සිටවූයෙමු.

රත්නා කහඳගමගේ


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department