Home » Blog » බාලදක්ෂ පාඩම් මාලාව – 81

බාලදක්ෂ පාඩම් මාලාව – 81

by thanushika
0 comment

 

ගිනි දළු නැඟ එති

රත් පැහැ විහිදෙති

ගනඳුර බිඳ වැටී

එළිවෙති

සැම දෙසේ බාලයන්

වී උතුම් දක්ෂයන්

ලෝකෙට වැඩ සඳහා

ජය පතව්…..

ශ්‍රී ලාංකේය බාලදක්ෂයන් තම ගිනිමැලය අරඹමින් “ගිනිමැල තේමා ගීතය” ලෙස එක්ව ගායනා කරන ඉහත ගීතය මෙරට සෑම බාලදක්ෂයකුම දන්නවා ඇති. එහෙත් එයින් බහුතරයක් එම ගීතයේ නිර්මාතෘවරයා සහ පද රචකයා පිළිබඳ නොදන්නවා ඇති. ඔහු නමින් දේශීය බාලදක්ෂ කෙත තම දැනුමෙන්, හැකියාවෙන් සහ විශිෂ්ට භාෂා ඥනයෙන් නිර්ලෝභීව අස්වැද්දූ , මෙරට බාලදක්ෂ ලේඛන කලාවේ අති ශ්‍රේෂ්ඨයකු වන දිවංගත ඩබ්ලිව්. ජෝසප් ඩයස් ගුණරත්න හෙවත් ” දයා ගුණේ” මහතා ය.

1926 පෙබරවාරි 20 වැනිදා මෙලොව එළිය දුටු එතුමා දියලගොඩ ඉංග්‍රීසි විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා ඇති අතර, එම විදුහල් බාලදක්ෂ සමූහය වූ 1 වැනි දියලගොඩ බාලදක්ෂ කණ්ඩායමේ බාලදක්ෂයකු ලෙස බාලදක්ෂ ව්‍යාපාරය සමඟ අත්වැල් බැඳගෙන ඇත.

පාසල් කාලයෙන් අනතුරුව බාලදක්ෂ ආචාර්යවරයකු ලෙස කටයුතු කිරීම ඇරඹූ ඒ මහතා මග්ගොන චරිතශෝධනාගාරය , පොතුපිටිය මහා විද්‍යාලය සහ බිංගිරිය මහා විද්‍යාලය ඇතුළු විදුහල් ගණනාවකම බාලදක්ෂ කණ්ඩායම් බිහිකිරීමෙහිලා පුරෝගාමීව කටයුතුකර ඇත.

1960දී බාලදක්ෂ ලී පදක්කම දිනා ගන්නා එතුමන් පසුව ක්‍රමානුකූලව පියවර තබමින් පුහුණු කිරීමේ නායක පාඨමාලාව සම්පූර්ණ කරමින් පුහුණු කිරීමේ නායකයකු බවට පත්ව ජාතික පුහුණු කිරීමේ කටයුතුවලදී තම දායකත්වය ඉහළින්ම ලබා දෙන ලදි.

ඩයස් ගුණරත්නයන් ශ්‍රී ලාංකේය බාලදක්ෂ අපට‍ විශේෂ වන්නේ එතුමන් අති දක්ෂ ලේඛකයකු සහ බාලදක්ෂ මාධ්‍යවේදියකු වූ නිසා ය. හෙළ භාෂාව පිළිබඳව විශිෂ්ට දැනුමක් සහ භාෂාව හැසිරවීමේ හැකියාවක් එතුමන් සතු වූ අතරම, ඉංග්‍රීසි භාෂාව නිසි පරිදි පිරිසුදුව භාවිත කළ විද්වතෙකි. ඉංග්‍රීසි ක්‍රමයට කටයුතු කෙරුණු එකල සිංහල භාෂාවෙන් පළවූ බාලදක්ෂ පොතපත ඉතාමත් විරල වූ යුගයක ඉංග්‍රීසි බසින් භාවිතයට ගැනුණු පොත් බොහෝමයක් එතුමන් අතින් සිංහලයට පරිවර්තනය විය. මානවක බාලදක්ෂ සංවිධානය හා පුහුණුව ( Rover Scout Organization and Training) මානවක බාලදක්ෂ ක්‍රියා මාර්ගය ( The Rover Plan )  වැනි කෘතීන් විශේෂ වන අතර, එමඟින් මානවක බාලදක්ෂ කටයුතු කෙරෙහි එතුමන්ගේ තිබූ උනන්දුව සහ දැනුම ද මනාව විද්‍යමාන විය.

ඩයස් මහතා අතින් 1948දී නිර්මාණය වූ ගිනිමැල සංදර්ශන තේමා ගීතය එයට ප්‍රබල නිදසුනකි. “ස්කවුටෝරාම ” (Scoutorama  වැනි එළිමහන් සංදර්ශන මෙහෙයවීමෙහිලා දැක් වූ දස්කම් කැපී පෙනුණු අතර, අදටත් එතුමන් සමඟ ඇසුරුකළ ප්‍රවීණයන් තම මතකය අවදි කරන්නේ මහත් ගෞරවයකිනි. බාලදක්ෂයන්ගේ හඬ ගුවන් ගත කිරීමේ පුරෝගාමීයා වූ එතුමන් 1965 වසරේ සිට ” බාලදක්ෂ හඬ” නමින් මුල්වරට ගුවන් විදුලි බාලදක්ෂ වැඩසටහනක් සම්පාදනය කර ඉදිරිපත්කර දේශීය සිංහල අසන්නන්ට හඳුන්වා දුන්නේය. එවන් විනෝදාත්මක සහ සාරවත් වැඩසටහනකට ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකින්ම පෝතකයන්, බාලදක්ෂයන් සහ මානවකයන් සහභාගි කරවා ගැනීම එකල කැපී පෙනිණි. මෙම බාලදක්ෂ හඬ වැඩසටහන පිළිබඳ ‘සියවසක උරුමය’ සඟරාවේ පවා සඳහන් වීමෙන් ගම්‍ය වන්නේ එහි ඇති ඓතිහාසික වැදගත්කම ය.

සැබවින්ම එතුමන් පරිණත බුද්ධියකින් යුත් මාධ්‍යවේදියෙකි. වසර ගණනාවක්ම ” ශ්‍රී ලංකා බාලදක්ෂයා ” නිල පුවත්පතේ ප්‍රධාන කර්තෘ වශයෙන් සහ ජාතික පුවත්පත්වල ලේඛකයකු වශයෙන් ද කටයුතුකර ඇත.

1965දී විලියම් ගොපල්ලව මහතාගෙන් ” දීර්ඝ සේවා” බාලදක්ෂ පලඳනාව, “විශිෂ්ට සේවා සහතිකය” සහ සේවා පදක්කම ලබා ගන්නා ලදි. 1986දී ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ සුරතින් Bar to the Medal of Merit  ලබා ගත්තේ ය.

වෘත්තියෙන් විදුහල්පතිවරයකු වූ එතුමන් ඇල්පිටිය ශාන්ත තෙරේසා විදුහලෙන් තම සේවය අරඹා මග්ගොන චරිත ශෝධනාගාරය , දියලගොඩ රෝමානු කතෝලික විදුහල, පොතුපිටිය මහ විදුහල, හලාවත අඟුණවිල විදුහල, බිංගිරිය විදුහල, මොරටුව විල්ලෝරාවත්ත විදුහල, මොරටුව කටුකුරුන්ද විදුහල සහ විදුහල්පති තනතුරට උසස් කිරීමෙන් පසුව බුලන්කුලම මහ විදුහල, කඩලාන සාන්ත අන්තෝනි විදුහල සහ මොරටුව මෙතෝදිස්ත යන විදුහල්වල සේවයකර ඇත.

යහපත් සහ ආදර්ශවත් කිතුනුවකු වූ ඒ මහතා 1945 සිට 1995 දක්වා පුරා වසර 50ක් නොකඩවා රාගම තේවත්තේ අප ස්වාමිදුවගේ ජාතික බැසිලිකා සිද්ධස්ථානයේ වාර්ෂිකව පවත්වන රෝගීන් ආශීර්වාද ගැනවීමේ සන්ධ්‍යා මෙහෙයේ ප්‍රජා සේවයට තම නායකත්වයෙන් දියලගොඩ බාලදක්ෂ සමූහය මූලික කරගෙන සහභාගි කිරීම ප්‍රශංසනීය වේ. 1945දී මානවක බාලදක්ෂයකු ලෙස මුලින්ම සම්බන්ධ වී ඇති එතුමා 1998දී ජාතික මූලස්ථාන කොමසාරිස්වරයකු ලෙස මෙලොවින් සමුගත් මොහොත දක්වාම එම ප්‍රජා සේවයට දායක වී ඇත.

1974 වසරේදී ජාතික මූලස්ථාන කොමසාරිස්වරයකු ලෙස පත්ව 1998 ඔක්තෝබර් 14 වැනි දින ස්වර්ගස්ථ වන මොහොත තෙක්ම එම තනතුරේ 24 වසරක් කටයුතු කරමින් බාලදක්ෂ ව්‍යාපාරය වෙනුවෙන් අමිල මෙහෙවරක යෙදී ඇත.

ධර්මලාල් ගුණවර්ධන

බාලදක්ෂ ආචාර්ය

නාලන්දා විද්‍යාලය

කොළඹ


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department