ආදරණීය දුවේ පුතේ, අද දවසේ උරුමයක වගතුගවලින් මම ඔයාලට කියා දෙන්න සූදානම් වන්නේ ශ්‍රී ලංකාවේ අම්පාර දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රදේශය ආශ්‍රිතව පිහිටා ඇති පුරාණ ලෙන් විහාරස්ථානයක් වූ ගොනාගොල්ල විහාරස්ථානය පිළිබඳයි.
අම්පාර ගොනාගොල්ල මාර්ගයේ කොහොඹාන හන්දියේ සිට සැතපුම් තුනක් ගිය පසු මෙම විහාරස්ථානයට ප්‍රවේශ විය හැකි අතර, වේරන්කැටගොඩ නගරයේ සිට සේනගම – ගොනාගොල්ල මාර්ගයේ කිලෝමීටර් පහක් පමණ ගමන් කළ පසුව ද මෙම ස්ථානයට ළඟා විය හැකි ය. මෙම විහාරස්ථානය සද්ධාතිස්ස රජතුමාගේ පුත් ලජ්ජි තිස්ස රජතුමන් විසින් කරන ලද්දක් ලෙස සැලකෙන අතර, විහාරස්ථානයේ දක්නට ලැබෙන ගල් ලෙන් පුරාණ වැදි මිනිසුන්ගේ වාසස්ථාන වශයෙන් හඳුනාගෙන ඇත. ඔවුන් විසින් අඳීන ලදැයි සැලකෙන සිතුවම් විශාල ප්‍රමාණයක් මෙම ගල් ලෙන් ආශ්‍රිතව අපට දැකගත හැකි ය. මෙහි ඉතිහාසය අනුරාධපුර යුගය දක්වා දිව යයි. මෙම සිතුවම්වලට අමතරව පැරැණි පොකුණු දෙකක නටබුන් ද මෙම විහාරස්ථානයේදී අපට දැක ගත හැකි ය. මෙහි අනුරාධපුර යුගයට අයත් ස්තූපය, කටාරම් සහිත ලෙන්, පැරැණි ශිලා ලිපි ආදිය දැකගත හැකි අතර, තුන්වැනි සියවසට අයත් වටදාගෙය, චත්‍රගල්, කැටයම් කළ ගල් කණු සහිත මහා විහාර ගොඩනැඟිලි, ගල්පඩි පෙළ ආදී තවත් නටබුන් ද හමු වේ.
ගොනාගොල්ල රජමහා විහාරස්ථානය අපට වඩාත් වැදගත් වෙන්නේ එහි දක්නට ලැබෙන සිතුවම් නිසා ය. වර්ෂ 1956දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කරන ලද කැණීම්වලින් මෙහි ලෙනක සිවිලිමේ තිබී බිතු සිතුවම් කිහිපයක් සොයාගෙන ඇත. ඒවා ක්‍රිස්තු වර්ෂ 3 වැනි සියවසට අයත් යැයි සැලකෙයි. මෙහි බිතු සිතුවම් ඇඳ ඇත්තේ විශේෂයෙන් කපරාරු කරන ලද මතුපිටක වන අතර, තරුණ නර්තන ශිල්පිනියක් හා බෝධිසත්ව යැයි කියනු ලබන පිරිමියකුගේ සිතුවමක් එයින් නිරූපිත වේ. එහි ඇඳ ඇති කාන්තා රූපය බොහෝ සෙයින් සීගිරි ලලනාවන්ට සමාන වන අතර, ඒ දෙකම රතු, කහ, කොළ සහ සුදු වර්ණ යොදා ගනිමින් වර්ණ ගන්වා ඇත. මෙහි ඇඳ ඇති පිරිමි රූපය නෙළුම් දණ්ඩක් අල්ලාගෙන සිටියි. මෙහි අර්ථය විග්‍රහ කරන දාර්ශනිකයන් කාන්තා රූපය මඟින් පිරිමි රූපය කෙරෙහි ගෞරව කිරීමක් හෝ ආයාචනා කිරීමක් වන බව ප්‍රකාශ කරයි.
සෙනරත් පරණවිතානයන්ට අනුව මෙම සිතුවම් කොටස සීගිරි හා පොලොන්නරු යුග අතර කාලයට අයත් යැයි විශ්වාස කරයි. ඔහු තවදුරටත් ප්‍රකාශ කරන්නේ මෙම සිතුවමෙන් වැස්ස ලබා ගැනීම සඳහා කරන ලද පැරැණි චාරිත්‍රයක් නිරූපණය වන බවයි. සේනක බණ්ඩාරනායක මහතා තම “ශ්‍රී ලංකාවේ ගල්ගුහා සහ බිතු සිතුවම්” යන ග්‍රන්ථයේ සඳහන් කරන්නේ මෙම විහාරස්ථානයේ දක්නට ලැබෙන සිතුවම් සීගිරියේ හා වෙස්සගිරියේ සිතුවම්වලට සමාන වන බවයි. ඒ අනුව මෙම සිතුවම් ක්‍රිස්තු වර්ෂ පස්වැනි සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ හත්වැනි සියවස දක්වා කාලයට අයත් වන බව ප්‍රකාශ කරයි. මෙහි දක්නට ලැබෙන සිතුවම් බොහෝ දුරට සීගිරියේ සිතුවම්වලට සමාන වන හෙයින් මෙම විහාරස්ථානයට ‘පුංචි සීගිරිය’ යන නම ද භාවිත කරනු ලැබේ.
එසේම මෙම විහාරස්ථානයේ ගල් ලෙන් කිහිපයක වැදි ජනතාව විසින් අඳීන ලද ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් සිතුවම් ද දක්නට ලැබේ. මෙම විහාරස්ථානයේ දක්නට ලැබෙන ශිලා ලිපි දෙකකි. එයින් එකක් ක්‍රිස්තු වර්ෂ තුන හෝ හතර සියවස්වලට අයත් ලෙස සැලකෙන අතර, පුරාණ බ්‍රාහ්මී අක්ෂර භාවිතයෙන් එය ලියා තිබේ. එහි අන්තර්ගත වන්නේ අලිතක විහාරස්ථානයට සිදු කරනු ලැබූ පූජාවන් පිළිබඳයි. දෙවැනි ලිපියෙහි සඳහන් වන්නේ ආරාමයේ භික්ෂූන් වහන්සේලාට කරන ලද පරිත්‍යාගයක් පිළිබඳයි.
එහි ගෝටිගම නඩසබ නමැත්තා විසින් පියගැට පෙළක් ඉදිකරන ලද බව ද සඳහන්කර ඇත. මෙම ලිපි දෙකම ක්‍රිස්තු වර්ෂ හතරවැනි පස් වැනි සියවසට අයත් විය හැකි බව විශ්වාස කරයි.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් මෙම විහාරස්ථානයේ කැණීම් සිදුකර ඇති අතර, එම කැණීම්වලදී ඓතිහාසික වශයෙන් වටිනා තවත් බොහෝ වස්තූන් හමුවී ඇත. මළුවේ කැණීම් කිරීමේදී හමුවී ඇති කුඩා සිරිපතුල එයින් විශේෂිත වේ. එම සිරිපතුල නෙළුම් මලක් මත නිර්මාණයකර තිබීම විශේෂිත ය. එමෙන්ම ශ්‍රී ලංකාවේ අරියවංශ දේශනාව කරඇති විහාරස්ථාන කිහිපය අතරින් එක් විහාරස්ථානයක් වන්නේ ද මෙම විහාරස්ථානයයි. මෙහි හමුවී ඇති ගිරි ලිපියක අරියවංශ පූජාව සඳහා කරන ලද කහවණු පූජාවක් පිළිබඳ සඳහන්ව තිබීමෙන් ඒ බව සනාථ වේ.
ලක්නා නිරෝෂිමාලා