කොළ පාට යාළුවෝ
පාන්දර හතරට විතර පොළොව තෙමන්න පටන් ගත්ත අහස උදෑසන හිරු උදාවට පවා තහංචි දැමීය. හැබැයි ඒ තහංචිය වලංගු වුණු පුංචි ගැහැනු ළමයකුත් හිටියා. එළියෙන් ඇහෙන වැහි බිඳුවල හඬට කන්දෙන ගමන්ම මේ පුංචි ගැහැනු ළමයා ඇස්දෙක තවත් තද කරගත්තා.
“දෝණි නැඟිටින්න…” ඒ රෙහානාගේ මවගේ හඬ ය.
“මට බෑ…………”
“ආ………….එතකොට අද ඉස්කෝලෙ යන්නේ නැද්ද?”
“දන්නෙ නෑ”
“දන්නෙ නෑ………….කියන්නේ? කෝ……………
කෝ……………නැඟිටින්න ……..නැඟිටින්න”
“වහිනවා කියලා ඉස්කෝලෙ යන්නෙ නැතුව ගෙදර ඉඳලා හරියන්නේ නෑනේ. කම්මැළි වෙන්න එපා ළමයෝ……”
“අනේ! ……..මට බෑ…….”
අන්තිම මොහොත දක්වාම වාද කරමින් පරාජය භාර නොගත් රෙහානා කෙසේ හෝ අම්මාගෙන් එල්ල වූ වචන සියල්ලම සාර්ථක ලෙස බිඳ දමමින් තමාගේ ජයග්‍රහණය සලසා ගත්තා ය. පාසල් යෑමට කම්මැළි ළමයෙක් නොවුණත් රෙහානාට අද වැනි වැසි දිනයක පාසල් නොයා ගෙදර නතරවීමට සිත එකඟකරවා ගැනීමට තරම් ප්‍රබල හේතුවක් සිතේ ඉපිද තිබිණි.
“අම්මා……..අම්මා” රෙහානාගේ කටහඬ පෙරට වඩා ප්‍රාණවත් හා නැවුම් බවින් පිරී තිබිණි.
“ඇයි දැන් ඒ පාර මොකද?”
“නෑ………නෑ…..එහෙම ලොකු දෙයක් නෙවෙයි. මං වත්ත පහළට යනවා. හොයන්න එපා ටික වෙලාවක් යනකම් හොඳේ.”
“ආ..මං දැනගත්තා අද ගෙදර ඉන්නේ මොකක් හරි නාඩගමක් නටන්න තමා කියලා. ඔය කිව්වාට ආයෙ ඉතිං පැය දෙක තුනකට ආගිය අතක් නෑ කියලා මං දන්නවා.”
මව පවසද්දී රෙහානා, මවට සමච්චලයට මෙන් සිනහසෙන්නට විය.
“ඒ කියන්නේ අම්මට මගේ හිත කියවන්න පුළුවන් නේද? ඔන්න එහෙනම් මම ගියෝ……..ආ……..නෑ……..නෑ……මේ අහන්නකෝ අම්මට හොයාගන්නම බැරි වුණොත් මාව ගස් උඩත් චුට්ටක් බලන්න ”
අම්මා එයට පිළිතුරක් දීමට පෙර රෙහානා බත්කූරකුගේ වේගයෙන් තටු සලා ඉගිලී යන්නාක් මෙන් ගෙයින් එළියට පැන්නාය.
ඇය, ඇගේ වයසේ වෙනත් ළමයින්ට වඩා වෙනස්ම චරිතයක් විය. නාඳුනන පුද්ගලයන්ට පවා ඉතා හොඳින් දන්නා ලෙස සිනහවෙන් සංග්‍රහ කරන ඇය මිහිපිට සිටින ඉතාම කුඩා කුහුඹුවාගේ පටන් නිල්පාටින් වියන් බැඳි අහස දක්වාම ගෙතුණු ලොවටම පෙම් බැඳි දැරියකි. පරිසරයේ සියුම් සිදුවීම් පවා මහා පුදුමයක් ලෙස දැකීමට පුරුදුව සිටි ඇය ඉතා කුඩා වූ මොනරකුඩුම්බිය මලකින් පවා මහත් සන්තෝෂයකින් සිත පුරවා ගත්තා ය. සැමදා දකින ඉර දිනකට සැඟව ගොස් කළු වලා ගුවන සිසාරා පැල් බැඳගත් දවස් ඇයට දැනුණේ තමා වටා ඇත්තේ වෙනස්ම වූ ලෝකයක් ලෙස ය. දෙපාරක් නොසිතා ඒ වෙනස් ලෝකය හා අත්වැල් පටලා ගැනීමට සූක්ෂ්ම ලෙස තම මවගේ සිත තමාට රිසි අයුරින් මොළොක් කොට පාසල් නොයා සිටීමට කැමැති කරවා ගන්නා ලද්දේ වෙන කිසිවක් නිසා නොව තමා දකින ඒ වෙනස්ම ලොවට ආගන්තුකයකු නොවී ඒ වෙනස්කමෙන් සතුටක් ලැබීමේ අහිංසක සිතුවිල්ල පෙරදැරිව ය.
“අනේ දෙයියනේ….මගේ ඇස්වල මායා අඳුන්වත් ගෑවිලාද?” පුංචි රෙහානාගේ මනසේ ඉබේටම විවිධාකාරයේ සිතුවිලි පොරකන්නට පටන් ගත්තේ ය.
ඇයට සමාජයේ හමුවන විවිධ වූ පුද්ගලයන් හැරුණු කොට ඇයට කොළ පාට මිතුරන් රැසක් සිටි අතර, ඔවුන් කතා කළ භාෂාව අසාමාන්‍ය වූ බැවින්ම රෙහානාට ඔවුන් විශේෂ විය. ඇය නිතරම කොළපාට මිතුරන්ගේ කොළපාට පත්‍ර මත ඔවුන්ගේ භාෂාව ලියැවී තිබෙන ආකාරය දුටුවා ය. ඇය ඔවුන්ට සමීප වන්නට වන්නට කොළපාට මිතුරන් ද ඇයට ආදරය කරන්නට පටන් ගත්තේ ය. පුංචි රෙහානාට නිතරම සිතුණේ ගස් හුස්ම බෙදනවා නම් ගස් කතා කරනවා නම් තවදුරටත් ඒ සියල්ල අප්‍රාණවාචී නාම පද නොවන බව ය. ගස් අප්‍රාණවාචී නාම පදයක් ලෙස සිතීම සිංහල පොතට පමණක්ම සීමා කරන ලදි. ඇගේ විසුරුණු මනස විසින් ගස් අප්‍රාණවාචී යන තර්කය බිඳ දැමූ අතර, ඇය පිළිගත් එකම සත්‍ය නම් අපට ගස් කොළන් දැනෙනවා නම්, ඔවුන් හුස්ම බෙදනවා නම් ගස් හා අපි යන දෙකොට්ඨාසයම ප්‍රාණවාචී නාම පද බව ය.
රෙහානාගේ අත්තම්මා විසින් සිටුවන ලද විශාල වූ ඇට්ටේරියා ගසක් යටට දිව ගිය රෙහානාට දැනුණේ තමා සුරලොවක් මත පා තබන ලෙස ය.
“අනේ ඔයාලගේ ලස්සන බලන්න…මෙච්චර මල් ඔයාට කොහෙන්ද අනේ….ඒ විතරක්ද මේ සුවඳ… ඔයා නම් මායාකාරියක්ම තමයි. මේ බලන්න ඔයාගේ මල් පෙති උඩ පුංචි පුංචි පිනි යාළුවො ගොඩයි. ඔයාලා මෙච්චර වෙලා කොඳුරපු රහස් මටත් කියන්න හරිද………මාත් ආසයි ඒවා අහන්න. ඔන්න එහෙනම් මම බිම වැටුණ මලක් මගේ ඔළුවෙ ගහගන්නවා…මාත් දැන් ඔයා වගේ…….”
කහපාට බෝරිච්චි අත් අල්ලපු රැලි ගවුමට යට වාටියට සුදුපාට රේන්ද අල්ලා හැඩ වී තිබුණූ ගවුමක් ඇඳ ඇට්ටේරියා මල් දෝත පුරා ගෙන හිසෙහි එක පැත්තක ගහට මුවා වෙන්නට තමන් ඇට්ටේරියා මල් දෙක තුනකින් සැරසී ගත් ඒ සිනාමල ඇට්ටේරියා ගස වටා කැරකෙමින් අතොරක් නැති කතාවකට මුල පුරන්නට විය.
“මේ…….මේ…… මගේ අහංකාර ඇට්ටේරියා කුමාරි දන්නවද අද මම ඉස්කෝලෙ ගියෙත් නෑ.. ඒ ඔයාලව බලන්න ඕනේ නිසා. මගේ යාළුවන්ටත් පාළු ඇති මගේ කතා පෙට්ටිය අද එයාලා ගාව නැති නිසා. එයාලා හරි ආසයි මගේ කතාවලින් එයාලගේ කන් පුරවගන්න. තව දෙයක් තියෙනවා මට කියන්න මගේ කොළ පාට යාළුවො ගැන මුළු ලෝකයටම කියන්න ඕනේ” ඇය කිව්වා ය.
රොහන්සා නිසලනී
12 ශ්‍රේණිය
බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලය
වේයන්ගොඩ
———————–
අපට නැතිවම බැරි එන්නත්
එන්නතක් යනු මිනිස් සිරුරේ ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු කරගැනීම පිණිස නිපදවූවකි. ඉංග්‍රීසි භාෂාවෙන් මචජජඪදඥ ලෙස හැඳීන්වීමට හේතුව එඩිවඩ් ජෙනර් විසින් ගව වසූරිය රෝගය සඳහා එන්නත්කරණයක් පළමු වතාවට සිදු කිරීමෙන් පසුව ය. එයට හේතුව ලතින් භාෂාවෙන් ගවයා වැකා ලෙස ද හැඳීන්වීමයි.
1796 වර්ෂයේදී එඩ්වඩ් ජෙනර් විසින් කරන ලද පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස එන්නත්කරණය සොයාගෙන මිනිස් ජීවීත විශාල ප්‍රමාණයක් මරණයෙන් ගැලවීමේ මඟ සොයා ගැනීම වඩාත් පහසුවක් විය. ජෙනර් කරන ලද මෙම කාර්යය ලුවී පාස්චර් ඇතුළු වෛද්‍යවරු වැඩි දියුණු කළහ. එන්නත්කරණය පිළිබඳ වැඩි අවබෝධයක් කරන ලද්දේ චීන ජාතිකයන් විසින් ය. ලෝකයේ විවිධ ජාතීන් වැඩි දියුණු කළ එන්නත්කරණය ශ්‍රී ලංකාවට පැමිණියේ 1886 වසරේදී ය. මේ වසූරිය එන්නත ලබාදීමත් සමඟ ය. මේ වනවිට බැක්ටීරියා හා වයිරස් නිසා සෑදෙන රෝග බොහොමයක් වැල¼දීම වැලැක්විය හැකි එන්නත් වර්ග නිෂ්පාදනයකර තිබේ. 1974දී ප්‍රතිශක්තිකරණ වැඩසටහන එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හා අනෙකුත් ආධාර දෙන සංවිධානවල සහාය ඇතිව ආරම්භකර තිබේ. මේ ආකාරයට එන්නත්කරණය පැමිණීම පුංචි අපට ද වාසිදායක වී ඇත.
නතාරි යසායුරි පනාගොඩ
9 ශ්‍රේණිය
බප/ පිළි/ධර්මසේන ආටිගල බාලිකා විද්‍යාලය
කැස්බෑව
————————————-
සොබාදහම සහ පුංචි අපි
සොබාදහම යනු කුමක්ද? ඔබ ඒ පිළිබඳ මඳක් හෝ සිතා බලා තිබේ ද? අනිවාර්යයෙන්ම ඔබ සිතා බලා ඇති. එහෙත් අපි දැන් ඒ පිළිබඳ කතා කරමු. සොබාදහම යනු අප අවට ඇති, මිනිසා ඇතුළු සියලු සතුන්ට පීවය සපයන අපේ මේ වටාපිටාවයි. මේ වටපිටාවේ සොඳුරු බව විඳගන්න පුංචි අපත් හුරු විය යුතුයි. සොබාදහම කියන්නේ අපූරු දායාදයක්. අපට බොහෝ දේ හිමි වෙලා තිබෙන්නේ සොබාදහම නිසායි. ජල උල්පත්, තුරුලතා මේ සෑම දෙයක්ම ලැබෙන්නේ සොබාදහම් මාතාව නිසායි. එනිසා අප මේ සෑම දෙයකටම කෘතවේදී වෙන්න මතක තබා ගත යුතුයි.
අද අපේ බොහෝ යහළුවන්ට මේ දේවල් අමතක වී තිබේ. ඒ අය හිතුමතේ ගස් වැල් කපා දමති. ඒ වගේම ඇළ දොළ අපිරිසුදුකර දැමීමට ඔවුහු පෙලඹෙති. දුර්ලභ සතා සිව්පාවට ද ඔවුන්ගේ ආරක්ෂාව සොයා ගැනීමට ද මේ නිසා අපහසු වේ. මේ නිසා වැඩිහිටියන් මෙන්ම පුංචි අපත් සොබාදහම ආරක්ෂා කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳ දැනුම්වත් විය යුතුයි. හරිත පැහැයෙන් බබළන හෙටක් නිර්මාණය කිරීමේ අරමුණින් අපි සියලුදෙනා එකාවන්ව කටයුතු කරමු.
කළිඳුනී අමරසිංහ
8 ශ්‍රේණිය
විශාඛා විද්‍යාලය,කොළඹ