Home » Blog » ආඩම්බර හිම රැජිනිය

ආඩම්බර හිම රැජිනිය

by thanushika
0 comment

සෙලීනා කියන්නේ ගොඩාක් ලස්සන රාජධානියක්. මේ රාජධානිය හැදිලා තිබුණේ හිමවලින්. මේ රාජධානිය පාලනය කළේ ලීසා කියන හිම රැජිනියයි. එයා හරිම නපුරුයි. ආඩම්බරයි. කාටවත් ආදරයක් කරුණාවක් දැක්වූවේ නැහැ. ඒ නිසා එයාට කවුරුත් කැමැති නැහැ. ඒත් බය නිසා කවුරුත් එයාට විරුද්ධව කිසිම දෙයක් කළෙත් නැහැ. ලීසා රැජිනියගේ හොඳම යාළුවා වුණේ කැලී කියන උකුස්සා. එයා දවසට සැරයක් රාජධානිය වටේම පියාඹලා රැජිනියට විස්තර කියන්න පුරුදු වෙලා හිටියා. කැලී යටතේ වෙනම උකුසු හමුදාවකුත් හිටියා. එයාලත් දවස පුරාම ඔත්තු බලපු එක තමයි කළේ. ඒ නිසා කාටවත් රැජිනියට හොරෙන් කිසිම දෙයක් කරන්න බැරි වුණා. ජනතාවට මේක මහා කරදරයක් වුණා. එයාලා රහසේම සංවිධානය වෙන්න පටන් ගත්තා.

මේකෙ නායකයා වුණේ ක්‍රිෂ් කියන සොල්දාදුවෙක්. එයා හරිම නිර්භීතයි. ශක්තිමත්. එයා තමයි සෙලීනාවල ප්‍රධාන සෙන්පතියායි. එයා මහ කැලෑව ඇතුළේ බොහෝම රහසිගතව උකුසු හමුදාවට හොරෙන් තමයි සංවිධානය වුණේ. ටිකෙන් ටික ⁣රාජධානියේ ගැහැනු පිරිමි සියලු දෙනාම ක්‍රිෂ් වටේ එකතු වෙන්න පටන් ගත්තා. “මේ නපුරු ආඩම්බරකාර රැජිනිය අපිට මහා කරදරයක්. අපි මෙයාට හොඳ පාඩමක් උගන්නන්න ඕනෙ.” ඔවුන් කතිකාකර ගත්තා. “ඔව් ඔව් ඔය රැජිනිය ඔච්චර ආඩම්බර වෙලා තියෙන්නේ අර උකුසු හමුදාව නිසායි. අපි සේරටම කලින් උන්ව මරලා දාන්න ඕනෙ.” හැමෝම යෝජනා කළා. “නෑ නෑ ඒක හොඳ අදහසක් නෙවෙයි. උන් අහිංසක සත්තු. රැජිනිය තමයි උන්ට නරක දේවල් පුරුදු කරලා තියෙන්නේ. අපි අහිංසක සත්තු මැරුවොත් අපිත් රැජිනිය වගේ වෙනවා.” ක්‍රිෂ් පැහැදිලි කළා.

“එහෙනම් අපි මොකද කරන්නේ? උන් නිසා හෙට අනිද්දට අපි ගැනත් රැජිනිය දැන ගනීවි. එතකොට අපි හැමෝටම වෙන්නේ මැරුම් කන්න” හැමෝම කතා වෙන්න පටන් ගත්තා. “නෑ අපි උන්ව එක එකා අල්ලගෙන හිර කරමු. එතකොට උන්ටත් කරදරයක් නෑ අපිටත් කරදරයක් නෑ” ක්‍රිෂ් යෝජනා කළා.

ඒ විදිහට දවසින් දවස උපක්‍රමශීලිව උකුසු හමුදාව අල්ලගෙන හිර කරන්න ක්‍රිෂ් ඇතුළු පිරිසට හැකි වුණා. මුලදී රැජිනියට මේ ගැන තේරුමක් නැති වුණත් කාලයක් යද්දි ටිකෙන් ටික තමන්ගේ සේනාව අඩු වෙනවා කියලා තේරුණා. හැබැයි එයා ආඩම්බර නිසා කාගෙන්වත් මේ ගැන ඇහුවේ නෑ. ඒත් එයාට හේතුවක් හිතා ගන්න පුළුවන් වුණෙත් නෑ. ඔ⁣හොම කාලයක් ගත වුණා. අවසානේ රැජිනියට ඉතුරු වුණේ කැලී විතරයි. ඒත් කැලීත් හුඟක් තරහින් හිටියේ එයාගේ සේනාව නැති වෙච්ච එකට. “රැජිනිය මගේ සේනාවට වෙච්ච දෙයක් නැහැ. ඔබ ඒ ගැන කිසිම දෙයක් කරන්නෙත් නැහැ. වහාම මගේ සේනාව මට හොයලා දෙන්න.” කැලී තරහින් කිව්වා. “මම මොනා කරන්නද? උන් ඔය කොහේ හරි ගිහින් ඇති. ඔබට ඕනෙ නම් හොයා ගන්න. මට ඕවාට වෙලාවක් නැහැ.” ලීසා ආඩම්බරෙන් කිව්වා.

“ඔබ මහා අහංකාර නපුරු කෙනෙක්. ඔබට මෙච්චර උදව් කරපු අපිටත් ඔබ සලකන්නේ මෙහෙම නම් මට ඇත්තටම ඔබ ගැන හරිම කනගාටුයි. මමත් තවත් මේ මාලිගයේ රැ¼දී ඉන්නේ නැහැ. මම යනවා ඔවුන් හොයාගෙන. එහෙත් කවදාවත් නැවත එන්නේ නැහැ.” එහෙම කියපු කැලී ඈතට පියාඹාගෙන ගියා. ඔහොම ටික කා⁣ලයක් ගත වුණා.

කැලී තැනින් තැනට එයාගේ සේනාව හොයාගෙන පියාඹාගෙන ගියා. ලීසා රැජිනිය තනියම මාලිගාවට වෙලා හිටියා. එයාට දැන් රාජධානිය ගැන කිසිම තොරතුරක් ලැ⁣බෙන්නේ නැහැ. එයා ආඩම්බර නිසා මාලිගාවෙන් පිටතට යන්නෙත් නැහැ. ඔන්න දවසක් කැලීට ක්‍රිෂ් සෙන්පතිතුමා මුණ ගැසුණා. එයා කොහොම හරි කැලීවත් අල්ලගෙන හිර කළා. එතකොට කැලී දැක්කා තමන්ගේ සේනාවේ සියලුම දෙනාත් ඒ විදිහටම හිර කරලා ඉන්නවා කියලා.

“ඇයි ඔබ අප සියලු දෙනාම මේ විදිහට හිර කරගෙන ඉන්නේ. අපි ඔබලාට කරපු වරද මොකක්ද?” කැලී ඇහුවා. “ඔබ හා ඔබේ සේනාව අපේ රාජධානියේ සියලු රහස් හිම රැජිනියට ⁣පැවසුවා. ඇය ඒවා අහලා කිසිම දෙයක් හොයන්නේ නැතුව මිනිස්සුන්ට දඬුවම් කරනවා. මේක අපි හැමෝටම ලොකු කරදරයක්. ඒ නිසයි අද ඔබලාට මෙහෙම හිර ගත වෙලා ඉන්න වුණේ.” ක්‍රිෂ් පැහැදිලි කළා.

ඒක අහලා කැලීට ලොකු දුකක් ඇති වුණා. එයා සියලු දෙනාගෙන්ම සමාව ගත්තා. ඒ වගේම ආයේ කවදාවත් රැජිනියට උදව් කරන්නෙත් නැහැ කියලා පොරොන්දු වුණා. ඒක විශ්වාස කරපු ක්‍රිෂ්, කැලී හා එයාගේ හමුදාව නිදහස් කළා. ඊට පස්සේ ලීසා රැජිනියගෙන් සෙලීනා රජධානිය බේරා ගන්නට සියලු දෙනාම එකතු වෙලා සැලසුමක් සකස් කළා.

මාලිගාවේ තිබෙන රහස් දොරටුවකින් කැලී හා එයාගේ හමුදාව හොර රහසේම මාලිගාවට ඇතුළු වුණා. මේ වෙලාවේ ලීසා රුජිනිය හිටියේ නිදාගෙන. ඒ නිසා කැලී ඇතුළු එයාගේ හමුදාව රැජිනිය නිදාගෙන හිටපු ඇඳ වට කළා. උකුස්සන් තටු ගහන ශබ්දය ඇහිලා රැජිනිය හෙමින් ඇස් ඇරලා බැලුවා. එතකොට කැලී දැක්කා රැජිනියගේ ඇස් රතුම රතු පාට වෙලා තිබෙන හැටි. එයා හයියෙන් වේවලනවා. එතකොට කැලීට තේරුම් ගියා රැජිනිය අසනීපෙන් ඉන්නේ කියලා. “රැජිනියනි ඔබට මේ කුමක් ද වුණේ. ඔබ මෙතරම් අසනීප වෙන තෙක් බෙහෙත් අර ගත්තේ නැද්ද?” කැලී ඇහුවා. “ඔබත් මාලිගාව අතහැර ගියාට පස්සේ මම තනි වුණා. කවුරුත් මාත් එක්ක කතා කරන්නේ වත් නැහැ. මම අසනීපෙන් කියල කවුරුත් දන්නේ නැහැ.” රැජිනිය අමාරුවෙන් උත්තර දුන්නා.

ඒක අහපු කැලීට හොඳටම දුක හිතුණා. එයා ක්‍රිෂ්ට මේ බව දැන්වූවා. ඉක්මනින් රාජකීය වෙදැදුරු කැඳවාගෙන ආපු ක්‍රිෂ් රැජිනියට ප්‍රතිකාර කරන්න පටන් ගත්තා. ටිකෙන් ටික රැජිනිය සුව අතට පත් වුණා. මාලිගාවේ හැමෝමත් රැජිනියව ආදරෙන් බලා ගත්තා. ලීසා රැජිනියට ටිකෙන් ටික තමන්ගේ වැරැදි අවබෝධ වුණා. එයා හැමෝමත් එක්ක කරුණාවෙන් ආදරෙන් කතා කරන්න පටන් ගත්තා. ඔහොම ටික දවසක් යනකොට රැජිනියට හොඳටම හොඳ වුණා. එයා ආයේ කවදාවත් නපුරු වුණේවත් ආඩම්බර වුණේවත් නැහැ. රාජධානිය සතුටින් පාලනය කළා. කැලීත් එයාගේ හමුදාව එක්ක පුළුවන් හැම වෙලාවකම අනෙක් අයට උදව් කළා. ඒ නිසා සෙලීනා රාජධානි⁣යේ හැමෝම හරි සතුටින් ජීවත් වුණා.

ටී.ඩබ්ලිව්. මෙතුලි උමල්ජා

5 ශ්‍රේණිය,

මො/මල්වත්තාවල

ප්‍රාථමික විද්‍යාලය


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department