ජාතීන් අතර සාමය ගොඩනඟමු
වාද බේද නැති ලස්සන රටක් අපට උදාවේවා යැයි අපේ පැතුම වේ. අපි අඳුර දුරුකර සාමයේ පණිවිඩය පැතිර වීමට සියලු දෙනාම එකා මෙන් පෙළ ගැසෙමු. සෑම ජන වර්ගයක්ම සාමයෙන් සහ සතුටින් ජීවත් වීමට කැමැත්තක් දක්වති. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් මේ සෑම ජන වර්ගයක්ම ශ්‍රී ලංකාවේ ජීවත් වෙති. මොවහු එකිනෙකා සහයෝගයෙන් ජීවත් වෙති. රටක දියුණුවට සහයෝගය ඉතා වටිනා දෙයකි. මේ නිසා සෑම විටම අප එකිනෙකා අවබෝධ කරගෙන ජීවත්වීම ඉතා වටිනා දෙයකි.
භේදය එකිනෙකා වෙනස් කිරීමට සහ එකිනෙකා වෙන් කිරීමට හේතු වේ. බෝහෝ අය තමන්ගේ අභිමතය මත වැඩ කටයුතු කරගෙන යති. අනෙකාට ගෞරව නොකරති. අනෙකාගේ සිතුම් පැතුම් අවධානයට නොගනිති. මේ නිසා බොහෝවිට ගැටුම් ඇති වේ. මේ තත්ත්වය වෙනස් කිරීමට නම් එකිනෙකා ගැන අවබෝධයෙන් සිටිය යුතුයි.
අපේ රටේ විවිධ ජාතීන් මෙන්ම විවිධ ආගම් අදහන ජන කොටස් ද ජීවත් වෙති. එකිනෙකාගේ ඇදහිලි ක්‍රම ද එකිනෙකට වෙනස් ය. මේ නිසා සියලු දෙනාම අනෙකාගේ ආගමට මෙන්ම ජාතියේ වත් පිළිවෙත්වලට ගෞරවයක් දැක්වීම ඉතා අනර්ඝ වේ. මේ සියල්ලම කුඩා කාලයේ සිටම දරුවා පුරුදු පුහුණු කළ යුතුයි. පාසලේදී මේ දේවල්වලට දරුවන් පුරුදු පුහුණු වූයේ නැතිනම් සමාජයේදී සියලු දෙනාට සමගි සමාදානයෙන් සිටීමට නොහැකි වේ. කුඩා කාලයේ සිටම සෑම දෙයක්ම පුරුදු පුහුණු වූ විට වැඩිහිටි වියේදී නිරායාසයෙන්ම හුරු වේ. ජීවිතය ගැටලුවලින් තොර නොවේ. සැම විටම ජීවිතයේ ගැටලු තිබේ. මේ නිසා කල්පනාකාරීව ඒවා විසඳා ගැනීමට උත්සාහ දැරිය යුතුයි. බොහෝ ගැටලු හදිසි වීමෙන් විසදා ගැනීමට නොහැකි වේ. ඉවසීම, එකිනෙකා පිළිබඳ සමානත්වයෙන් සිතීම මඟීන් ගැටලුවක් විසඳා ගැනීමට අවකාශය ලැබේ. සමාජයේ උගතුන් බුද්ධිමත් සියලු දෙනාම තම තමන්ගේ හැකියාව මෙන්ම තමන්ට හැකි ප්‍රමාණය පිළිබඳ අවබෝධයෙන් සිටිය යුතුයි. අද සමාජයේ වැඩිහිටියන් අතර සාමය සමගියක් නැත. ඔවුනොවුන් එකිනෙකා අවබෝධ කරගෙන නොමැත.
ඇතැම්හු කුලය නිසා ප්‍රශ්න ඇති කරගනිති. තවත් අය ප්‍රදේශය නිසා ප්‍රශ්න ඇති කරගනිති. එහෙත් මේ කිසිවකින් කිසිවකුට ප්‍රයෝජනයක් නොමැත. මනුෂ්‍යත්වය නිසා එකිනෙකා අතර අන්‍යොන්‍ය සහයෝගිතාව ඇති වේ.
ජී. කේ විචානි වින්ද්‍යා සංසාරි
11 ශ්‍රේණිය
හ/ කහවත්ත මහා විද්‍යාලය
—————————
නිම්සරගේ සිහිනය
එක්තරා ගමක නිම්සර කියලා පුංචි ළමයෙක් ජීවත් වුණා. නිම්සර ඉගෙනුමට එතරම්ම දක්ෂ නැහැ. ඔහු ජීවත් වුණේ ඔහුගේ ලොකු අම්මාත් සමඟයි. ඉගෙනුමට එතරම්ම දක්ෂ නොවුණත් ඔහුගේ අනාගත බලාපොරොත්තුව වුණේ ගගනගාමියෙක් වෙන්නයි. වාර විභාගයෙන් පන්තියේ පහළොස්වැනියා විතර වුණත් අනාගතයේ හොඳ පුරවැසියකු වන බව ලොකු අම්මා දැන සිටියා. නිම්සරගේ උපන්දිනයත් ළඟ ළඟම එනවා. නිම්සර පන්තියේ අඩු ලකුණු ගෙන අන්තිමයා වෙන්න ඔන්න මෙන්න වී හිටියා. උපන්දිනයත් ළඟ නිසා ලොකු අම්මා නිම්සරට කිසිම දෙයක් නොකියා සිටියා. උපන්දිනේ යෙදිලා තිබුණේ පාසල් දවසකයි. නිම්සර උදෙන්ම නැඟිටලා පාසල් ගියා. සවස පාසල නිමවෙලා ගෙදර එනකොට එයාට උපන්දිනේට කිසිම තෑග්ගක් ලැබිලා තිබුණේ නෑ. නිම්සරට ගොඩක් දුක හිතුණත් ඒ බව නොකියාම සිටියා. ඒත් නිම්සරට කේක් එකක් නම් හම්බවෙලා තිබුණා. ඒකෙන් එයාගේ දුක පොඩ්ඩක් විතර අඩු වුණා. එතකොටම ලොකු අම්මා ඇවිත් නිම්සරට ලස්සන කතාවක් කියලා දුන්නා. ඒ ඉගෙනීම ගැනයි. ”නිම්සර පුතේ, ඔයාට හොඳට ඉගෙන ගෙන විභාගවලට බය නොවී මුහුණ දුන්නොත් ඔයාට ඔයාගේ අනාගත සිහිනය සැබෑ කරගන්න පුළුවන් වේවි.”
එතකොට නිම්සර මෙහෙම කිව්වා.” ලොකු අම්මේ මේ තමයි මට උපන් දිනේට ලැබුණ හොඳම තෑග්ග. ලොකු අම්මාට මම ගොඩක් ආදරෙයි. මම අද ඉඳලා හොඳට ඉගෙන ගන්නවා.” නිම්සර කිව්වා.
එස්. දෙවනගල
7 ශ්‍රේණිය
කෑ/ ස්වර්ණ ජයන්ති විද්‍යාලය
————————
මම ඉපදුණු මගේ මව් රට
‘ඉන්දීය සයුරේ මුතු ඇටය’ යනුවෙන් විරුදාවලිය ලැබූ ශ්‍රී ලංකාවෙහි උපත ලැබීම මගේ වාසනාවකි. ඈත අතීතයේ පෙරදිග ධාන්‍යාගාරය වශයෙන් හැඳීන්වූ මගේ මව්බිමට මම දිවි දෙවැනිකර ආදරය කරමි. ස්වාභාවික සෞන්දර්යයෙන් අනූන මගේ ශ්‍රී ලංකා මාතාව සැබෑම පුණ්යවන්තියකි. පිදුරුතලාගල සමනොල ආදී කඳුවලින් හෙබි රට මැද පිහිට උස් ක½දුකරයෙන් ඇද හැලෙන ගංගාවන්ගේ අසිරිය කියා නිම කළ නොහැකි ය. මව්බිම සිසාරා ඇද හැලෙන මේ ගංගාවන්ගේ අති සුන්දර දිය ඇළි වශයෙන් බඹරකන්ද, දියලුම , දුන්හිඳ යනාදි දිය ඇළි හැඳින්විය හැකි ය. මගේ සුන්දර මව්බිමෙහි බැලූ බැලූ අත දිස් වන්නේ අතිරමණීය දසුන් බව නොකියාම බැරි ය. ස්වාභාවික වෘක්ෂලතාවන්ගෙන් හෙබි වනාන්තර සිරිලකට සම්පතකි. එසේම හග්ගල, ගම්පහ, පේරාදෙණිය වැනි ස්ථානයන්හි වැජඹෙන උද්‍යාන මගේ මව්බිමෙහි අගය මැනවින් කියාපානු ලබයි. මගේ මව්බිමට ඉතා දැඩිව ආදරය කරන මම, මේ සිරිලක දියුණුවේ හිනි පෙත්ත දක්වාම ගමන් කරන්නේ කවදාදැයි නිරතුරුවම සිතමි.
තෂ්මි රවින්දිකා
5 ශ්‍රේණිය
ව/ම/ කරඹේ මහා විද්‍යාලය
———————–
මත් රකුසා පරදවමු
වර්තමානයේ බොහෝ දරුවන් මත් උවදුරට ගොදුරු වී සිටින බව ජනමාධ්‍යවලින් ආරංචි වී තිබේ. මෙයට බොහෝ විට හේතු වී ඇත්තේ දරුවන්ගේ නොදැනුවත් බවයි. ඇතැම් දරුවෝ වැරැදි යාළුවෝ ඇසුරු කරති. මේ නිසා නොදැනීම ඔවුහු මත් රකුසාට ගොදුරු වෙති. මේ නිසා අප සැමවිටම කල්පනාකාරී විය යුතුයි.
“රටේ අනාගතය අපේ අතේ ” යැයි වැඩිහිටියෝ කියති. මේ නිසා අප සෑම විටම අපේ කල්පනාකාරී විය යුතුයි. කවුරුහරි අපට ටොෆියක් දුන්නත්, පැණි රස කෑමක් දුන්නත් අප ඒ ගැන කල්පනාකාරී විය යුතුයි. බොහෝ වැඩිහිටියෝ තමන්ගේ දරුවන් පාසලට පැමිණි විට බොහෝ දුකෙන් සහ සැකයෙන් සිටිති. එහෙත් අප ළමයින් නිසා මේ සෑම දෙයක් පිළිබඳ කල්පනාකාරී විය යුතුයි.
යහපත් මනසකින් ක්‍රියා කිරීමට නම් මත් ද්‍රව්‍ය පාවිච්චියෙන් තොර රටක් සෑදිය යුතුයි. මේ වෙනුවෙන් අපට ද ලොකු වගකීමක් තිබේ. අප මත් රකුසා පිටු දකිනවා සේම අප මත් උවදුරෙන් බේරීමට කටයුතු කළ යුතුයැයි මම සිතමි.
පී. දෙව්මි උමංගා
11 ශ්‍රේණිය
හ/කහවත්ත මහා විද්‍යාලය