අප ලී කැබලි කැඩූ වැට අයිති මඟුල් ගෙදරට නොවන බව අපට වැටහුණි.
“දරුවනේ,…………ඩොංකා කාපල්ලා. අපේ වැට කඩා දාන්න එපා”. කවුදෝ කියනු ඇසුණි.
වට පිට බැලූ අපට පෙනුණේ එහායින් වූ ගොඩැල්ලක සිට අප දෙසට එන සීයා කෙනෙකි.
“අනේ! පව් රත්නෙ මල්ලි. අපි එයාටත් ඩොංකා දෙමු.”
“ඔය මෙහාට එන්නෙ. ආවහම දීලා බලමු”
“සීයෙ, සීයටත් මෙන්න ඩොංකා” මම කැඩූ ඒවායින් ගෙඩි දෙකක් දිගු කළෙමි.
“මට එපා. බලන්න මගෙ මිරිස් පැළ ටිකත් පාගලා. වැටත් කඩලා” සීයා ඩොංකා දෙස බැලුවේවත් නැත.
“උඹලා මඟුල් ගෙදර ආව නම් එහේ හිටපල්ලා. නරක කොල්ලෝ” ඔහු අපට බණින්නට විය.
“මොකද කිරි අප්පුහාමි? ඒ දරුවො ඕවා කාගෙද කින්ද මන්ද දන්නෙ නෑ. ඔය ගෙඩි දැක්කම කඩන්න ඇති”
“අනේ! අයියලා යමු යන්න. ඔය බූඩා කියන ඒව අහන්න ඕන් නෑ.” රත්නේ අපිව ද ඇදගෙන අඩිපාර දිගේ උඩහට පිය මැන්නේය.
“මල්ලි ඔය මඟුල් ගෙදර පැත්ත නොවෙයි. ආං අර ඉසව්වෙයි මඟුල් ගෙදර තියෙන්නෙ” කරුණෙ කීවේ ය.
අපි රබර් බෝල හැදිල්ල පැත්තකට දමා මඟුල් ගෙදර දෙසට ගියෙමු. අප යන විටත් ළිඳ ළඟට එකතු වූ පිරිසක් මොනවා දෝ කියමින් සිටියහ.
රත්නෙ මල්ලිව දුටු ඔහුගේ සුදු ආච්චි “මගෙ රත්තරන් පැටියෝ. කොහෙද මේ කොල්ලො කට්ටියක් එක්ක පණං වුණේ? මගේ ඇඟේ ලේ වතුර වෙලා හිටියේ. බුදු අම්මේ ඇති යංතං.” ඇය කීවා ය.
“කොල්ලො කට්ටියක් වෙන්නෙ කොහොමද? ඒ මගේ යාළුවො. සුදු ආච්චි මං ගැන හොයන්න එපා. මට ඕන තැනක මං යනවා. ඔයාලා මෙයා කියන ඒවා ගණන් ගන්න එපා අයියේ” ඔහු අපට ද කීවේ ය.
“ගෙදරදිත් ඔහොමමයි. හරිම දඩබ්බරයි. අම්මයි තාත්තයි කොලුවට ගහනවා. ඉතිං බලන්න මේ නාඳුනන පළාතකට ඇවිල්ලත් ඉන්න බැරි හැටි.” සුදු ආච්චි එතැන සිටින අයට කීවා ය.
අපි කිසිවක්ම නොකීවෙමු. ඒත් අපට නිගරු වෙන ලෙස කොල්ලන් යැයි කීම අපි අනුමත නොකළෙමු.
“අයියා ඒ ගොල්ලන් කියන විදිහට ඉන්න අපි රොබෝලයැ. එහෙම යටත් වෙලා ඉන්න අපි මොන බයකටද? මගේ අම්මත් මට ආදරේ නෑ. තාත්තත් ආදරේ නෑ. මේ සුදු ආච්චි මගේ පස්සේමයි.”
“මං ආස නැහැ එයාට. පුංච විතරයි මට ආදරෙන් හිටියෙ. එයත් මෙහේට ආවට පස්සෙ මං මට ඕන විදිහටයි වැඩ කරන්නෙ.” රත්නෙ මල්ලී කියයි.
ඇත්තටම ඔහු බය නැති කොල්ලෙකි. ඔහුට හිතුණ දේ ඔහු කරන්නේ ය. අප හැදී වැඩී ඇත්තේ ඒ ආකාරයට නොවේ. අපි හතර දෙනාම මව්පියන්ට කීකරු දරුවන් වෙමු.
“දවල් කෑමට වතුර අල්ලද්දී මං ඔය ගොල්ලන් හෙව්වා. කොහෙද හිටියේ ?” ආත්තම්මා ඇසුවාය. අපි කිසිත් නොකීමු.
“ඩොංකා කන්න ගිහින් කිරි අප්පු මාමගෙ වැට කඩලා ගහට පොලු ගහලා. ළමයි පස් දෙනෙක් හිටිය කියලා තමයි එතැන හිටපු අය කිව්වෙ හාමිනේ.”
ගංගොඩේ ජිනදාස ආත්තම්මාට කේලමක් කීවේය.
“හැබෑ ද කංචු මේ කියන්නෙ?”
“අනේ අපි දන්නෙ නෑ. ඔය කියපු කෙනාගෙන්ම ඇහුවානම් කියයි මයේ හිතේ” මම කීමි.
“ආ……..එහෙමද එහෙනම් ? උදේ අප්පච්චීගෙන් ඇහුවාම කීවෙ, කොහෙ ගියත් ගෙදර එන්න දන්නවනේ කියලා. මේ අප්පයි පුතයි දෙන්නම එකයි.” කියමින් ආත්තම්මා දඟ නොකර කෑම කන්නට කීවා ය.
කිරි අප්පුට අපි නරක කොල්ලන් ය.
සුදු ආච්චිට අපි කොල්ලන් ය.
අපේ ආත්තම්මට අපි පුතාල ය.
වෙනසක හැටි
“රත්නෙ මල්ලී අපි කෑම කමු” මම කීවෙමි.
“සුදු ආච්චිත් කතා කෙරුවා. මං ගියේ නෑ. මොකටද කංචු අයියා අපි බත් කටක් කන්න යටත් වෙන්නෙ? අපි පුංචි උන් නෙවෙයිනේ. ඔයා කියනවානම් මාත් එන්නම්. දැන් ඩොංකා ඇටත් එක්ක ගිලලා බඩගිනිත් නෑ. අනික අපි කැවිලිත් කෑවනේ. සුදු ආච්චිල දන්නව නම් අපට කැවිලි කන්නත් ලැබෙන්නේ නෑ.” රත්නෙ මල්ලී කීවේය.
අපි රත්නෙගේ අදහස්වලට කැමති වීමු. ඒත් වැඩිහිටියන්ගෙ වචනයකට විරුද්ධව කතා කිරීමට අපේ හිතට බියක් දැනේ. අපි එක්වී කෑම කෑවෙමු.
මනමාලියගේ නෑදෑයෝ දවල් කෑමෙන් පසු ආපසු යෑමට සූදානම් වූහ.
“මටත් ඉතින් යන්න වෙනව. අයියලත් ඒ පැත්තෙ එන්නකො.” ඔහු කියයි.
පුංචෝ ………..අනේ! ඔයා නැතුව මට පාළුයි. මං ගෙහුං ආපහු දොහක එන්නම්…….” රත්නෙ මනමාලියට වැඳ කීවේ ය.
“මයෙ රන් කොල්ලෝ. අම්ම තාත්තට කරදර නොකර දඟ කරන්නෙ නැතුව හොඳින් ඉන්න පුතේ” කියමින් මනමාලිය කඳුළු පිස දැම්මා ය.
“ඔයා අඬන්නෙපා. මං හොඳින් ඉන්නම්” රත්නෙ කීවේ ය.
“මටත් දුකයි අයියා ඔයාලව දාලා යන්න. ආයෙ අපට කවදාක මුණ ගැහෙන්න වේවිද දන්නෙ නෑ.” කියමින් රත්නේ මහත් දුකකින් අප දෙස බැලුවේ ය.
“මල්ලි ඔයා හොඳින් වැඩ ටික කර ගන්නකො”. අපි කීමු.
“හා……හා…..පුතේ. දැන් ඉතින් යමු. ඉර හැරිලා හෝරා දෙකක්ම ගෙවිලා. සැතපුම් හතරක් පහක්ම විතර අපි පයින්ම යන්න එපා ය. යාළුවන්ටත් කියලා යමු” සුදු ආච්චි කීවා ය.
රත්නෙ මල්ලී අපි හතර දෙනා සිටි තැනට ඇවිත් කී දෙය මගේ සිතෙත් දෝංකාර දෙන්නට විය.
“දවසක අපි අර කිරිඅප්පු කියූ බූඩාට අල්ලගෙන ගහමු.” ඔහු කීවේ ය.
“හරි මලයා ඒව අපි බලා ගන්නම්කො” අපි කීවෙමු.
පසු පස හැරී බලමින් රත්නෙ යන හැටි අපි බලා සිටියෙමු. අපට මහත් වූ පාළු බවක් දැනෙන්නට විය.
“මේ දවස් ටිකම ඉතින් මඟුල් ගෙදර වෙනුවෙන්ම කාලය ගෙවුණා. ගෙදර හරියෙ මගේ වැඩ කිසිම දෙයක් කරගන්න බැරි වුණා.” ආත්තම්මා කීවා ය.
“මොකෝ මඟුල් ගෙදර කටයුතු කෙරුවෙ ආත්තම්මයැ” මම කීවෙමි.
“මං කොරාපු වැඩ ටික දන්නෙ ඉතින් මං නොවැ. මං නොහිටින්න එතැන කිසිම අර පිරිමැස්මක් වෙන්නෙත් නැහැ. අර අමරෙල, රොහාන්ලා උන්ට ඕන හැටියටමයි වැඩ කටයුතු කරන්න දත කෑවෙ. මගේ කටේ බලේට තමයි ඔය තරමින් ගියෙ. මනමාලිගෙ අතටත් මං රුපියල් පහක්ම දුන්නා.”
“මායි හාමිනෙයි ඊයෙ රුපියල් දහයක්ම දුන්නා. දැන් ඉතින් ඔය කෙරුව ඇති.” අප්පච්චි කීවේය.
මේ කොල්ලො එක්කාසු වෙලා අර කිරි අප්පුගෙ කොරටුවෙ වැට කඩ කඩා ඩොංකා ගහට පොලු ගහලා. ඒ මනුස්සය ඇවිත් හොඳටෝම බැණලා.
මේ අපේ කංචුත් ඒකෙ හවුල්කාරයෙක් වෙන්න ඇති. මට වැඩ අව් අස්සෙ හොයන්න බලන්නත් බැරි වුණා. අහල බලන්න ඕන……” ආත්තම්මා කියනවා ඇසුණි.
“මඟුල් තියා මොනව තිබුණත් ඒ කොල්ලන්ගෙ හැටි තමා අම්මෙ. ඕවයෙ හොයා බලන්න දෙයක් නෑ අම්මෙ” අප්පච්චි කීවේ ය.
රත්නා කහඳගමගේ