Home » Blog » රොකට් එකෙන් ඉතිහාස ගත වන සීවලී දරුවෝ

රොකට් එකෙන් ඉතිහාස ගත වන සීවලී දරුවෝ

by thanushika
0 comments

වර්තමානයේ බොහෝ පොඩිත්තෝ අභ්‍යවකාශය පිළිබඳ උනන්දු වෙති. මේ නිසාම පාසල්වල තාරකා විද්‍යා සංගම්වල සාමාජිකත්වය ගන්නා දරු දැරියෝ බහුල වෙති. කුඩා කාලයේ සිටම ආකශ වස්තු පිළිබඳ උනන්දු වීම අප හැමෝටම අත්දැකීමකි. මේ අත්දැකීම නිසාම නිර්මාණවලට අවතීර්ණ වන්නෝ බොහෝ ය. මේ අයුරින් නිර්මාණයකට අවතීර්ණ වූ පොඩිත්තන් පිරිසකගේ කතාවක් කියන්නයි අපේ මේ සූදානම. කවි කතාවලින් මෙන්ම නාට්‍යවලින් ද ඉදිරියට යන දරුවෝ බොහෝ සිටිති. අද අපි ඔබට කියන්න යන්නේ රොකට් චිත්‍රපටය නිර්මාණය කළ රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ දරුවන් පිරිසක් ගැනයි. ඒ පිළිබඳ මිහිරට අදහස් දැක්වූයේ සකුන්තලා මුණසිංහ ගුරුතුමියයි.

ස්වර්ණ සිනමා පදනම

රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ දරුවන්ගේ සහභාගිත්වයෙන් ස්වර්ණ සිනමා පදනම ආරම්භ වූ අතර, එහි දරුවෝ අධ්‍යක්ෂණය, ආලෝක අධ්‍යක්ෂණය, නිෂ්පාදනය, සංගීත අධ්‍යක්ෂණය, තිර රචනය ආදි නොයෙක් විෂයන් හදාරති. අධ්‍යාපනයට අමතරව ඔවුන් කරන මේ කාර්යවලින් චිත්‍රපටයක් සෑදීම පිළිබඳ නිරන්තර අවබෝධයක් ලැබේ. මේ අවබෝධය නිසාම සීවලී දරුවෝ චිත්‍රපටයක් කිරීමට යොමු වූහ. ඔවුන් නිෂ්පාදනය කළ පළමු චිත්‍රපටය වූයේ ‘සේයා’ චිත්‍රපටයයි. 2021 වර්ෂයේදී ‘සේයා’ චිත්‍රපටය නිෂ්පාදනය කිරීමෙන් සීවලී දරුවෝ විශේෂ අත්දැකීම් ප්‍රමාණයක් ලබා ගත්හ. මේ අත්දැකීම ඔවුන්ගේ අනාගත සුබ සිද්ධිය සඳහා හේතු වූයේ ය. කාලයක් අඩපණව තිබූ ස්වර්ණ සිනමා පදනම නැවතත් හිස එසවූයේ රොකට් චිත්‍රපටය නිර්මාණය කිරීමෙන් පසු ය.

දරුවන් සිනමාවට යොමු කිරීමට හේතු වූ සාධක

කොරෝනා කාලයේදී දරුවන්ට පාසල් පැමිණීමට අපහසු වූ බැවින් බොහෝ දරුවෝ මොබයිල් ෆෝන් එක යොදාගෙන සිය අධ්‍යාපන කටයුතු කිරීමට පෙලඹුණහ. මේ තත්ත්වය අවුරුදු දෙකක් පැවතීම නිසා බොහෝ පාසල් දරුවෝ මොබයිල් ෆෝන් එකටම ඇබ්බැහි වූහ. පාසල්වල පාඩම් කටයුතුවලට පමණක් නොව ෆෝන් එක යොදා ගනිමින් අනවශ්‍ය ලෙස අන්තර්ජාලයට පිවිසීමට ඔවුහු නිරන්තරයෙන් යොමු වූහ. මේ නිසා ඇතැම් දරුවන්ගේ මානසික විකෘතිතා ඇති වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබිණි. මෙය ද දරුවන්ගේ අධ්‍යාපනයට වක්‍රාකාරයෙන් බලපෑවේ ය. එමෙන්ම බොහෝ දරුවන් පසුගිය කාලවකවානුවේ මත්ද්‍රව්‍යවලට නැඹුරු වීමේ ප්‍රවණතාවක් ද දක්නට ලැබිණි. මේ නිසා ද මව්පියන් මෙන්ම ගුරුවරු ද කලබල වූහ. මේ තත්ත්වයන් දෙකම සමතයකට පත් කිරීම සඳහා දරුවන් වෙනත් දෙසකට යොමු කිරීමේ අවශ්‍යතාවක් ද තිබිණි. මෙහි ප්‍රතිඵලයක් ලෙස සීවලී දරුවන් සිනමා මාධ්‍යයට යොමු කිරීමට එහි විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය දැරූ ප්‍රයත්නය සාර්ථක විය. ‘සේයා’ මෙහි ප්‍රථම උත්සාහය වුවත්, දෙවැන්න වූයේ රොකට් චිත්‍රපටය අධ්‍යක්ෂණයකර නිපදවීමයි.

රොකට් චිත්‍රපටය නිපදවීමට පෙර දරුවන් පුහුණු වූ ආකාරය

රොකට් චිත්‍රපටය නිපදවීමට පෙර ස්වර්ණ සිනමා පදනම තිර රචනය, නිෂ්පාදනය, අධ්‍යක්ෂණය, කලා අධ්‍යක්ෂණය, අංග රචනය මේ සෑම අංශයකම දක්ෂ ශිල්පීන් ගෙන්වා දරුවන්ට පුහුණුවක් ලබා දුන්නේ ඔවුන්ගේ ඉදිරි ගමනට වැඩදායි වන අයුරිනි. මේ නිසා මෙහි දරුවෝ චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්නේ කෙලෙසක ද යන්න පිළිබඳ අවබෝධයක් ලබා ගත්හ. පාසල මඟින් මෙහෙය වූ මේ වැඩමුළු නිසා දරුවන්ට චිත්‍රපටයක් නිෂ්පාදනය පිළිබඳ පුළුල් අවබෝධයක් ලැබිණි. යූ ටියුබ්වලින් වීඩියෝ යොමු කිරීමෙන් ද දරුවන්ට අත්දැකීමක් ලබා ගැනීමට දරුවෝ යොමු වූහ. ඉතා පරිස්සමෙන් අන්තර්ජාලය යොදා ගන්නේ කෙසේ ද යන්න පිළිබඳ අවබෝධයක් ඇති කරදීම සඳහා විශාල පරිශ්‍රමයක් දැරීමට විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයට සිදු විය.

තාක්ෂණය සම්බන්ධයෙන් දරුවන්ගේ අවබෝධය

කොරෝනා කාලයේදී මොබයිල් ෆෝන් පරිහරණය කිරීමෙන් දරුවන් ලැබූ තාක්ෂණ අවබෝධය කෙටි ටෙලි සිත්තමක් කිරීමට තරම් ප්‍රමාණවත් විය. මේ නිසා කෙටි ටෙලි සිත්තමක් ජනගත කිරීමේදී හැකියාවන් සීවලි දරුවන්ට ලැබිණි. මේ අවස්ථාව උපරිම ලෙස තමන්ගේ කලා හැකියාවන් නිරූපණය කිරීමට සීවලී දරුවන් යොමු කිරීමට තාක්ෂණය පමණක් නොව පරිපූර්ණ කලා හැකියාවන් ද අවශ්‍ය වේ. කලාව දරුවා සංයමයකට පත් කරයි. මේ නිසාම බොහෝ විද්‍යාලයීය විවිධ ප්‍රසංග, නර්තන ප්‍රසංග, සංගීත තරග පවත්වයි. මේ සියල්ල සාම්ප්‍රදායික ක්‍රම වුවත්, චිත්‍රපට ක්ෂේත්‍රයට අවතීර්ණ වීමට විශේෂ වූ හැකියාවක් තිබිය යුතුයි. මේ ක්‍රමවේදයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට සීවලී දරුවෝ සමත් වූහ.

රොකට් චිත්‍රපටයේ තේමාව

වර්තමානයේ දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැවීමේ විශාල ප්‍රවණතාවක් සමාජයේ තිබෙන අතර, පාසල් දරුවන් මෙයින් මුදා ගැනීම මේ චිත්‍රපටයට පාදක විය. එමෙන්ම ඔවුන් දන්නා තාක්ෂණය උපකාරී කරගෙන සමාජය ඉදිරියට ගෙන යෑමේ විශේෂ වැඩ පිළිවෙළක් නිර්මාණය කිරීමේ හැකියාවත් දරුවන්ටම තිබේ. මේ හැකියාවට මව්පියන්, ගුරුවරු, පාසලේ යහළු යෙහෙළියන්ට සම්බන්ධ වීමේ ශක්තිය ද තිබේ. එමෙන්ම සමාජයේ සිටින වැඩිහිටියන්ට ද පාසල් ප්‍රජාවට සහයෝගය දීමේ හැකියාවන් මේ වනවිට ද තිබේ. එම සහයෝගය වටිනාකමෙන් වැඩි වන්නේ යහගුණ පිරුණු නිර්මාණශීලි දරුවන් බිහිවීමෙන් ය. අවසානයේ නරක ඇසුරෙන් මිදුණු දරුවන් රොකට් එකක් ගුවන් ගත කිරීමට තරම් තාක්ෂණයෙන් පිරිපුන් දරුවන් පිරිසක් වීම මෙම චිත්‍රපටයේ විශේෂත්වයයි.

රොකට් සඳහා දායක වූවෝ

මෙහි තිර රචනය කළේ නඳුන් දර්ශන ය. අධ්‍යක්ෂණය දෙනුවන් සමරසිංහ ය. සහාය අධ්‍යක්ෂණය නදීර නදීශාන් ය, කැමරාකරණය රුක්ශාන් සංජයයි. මොවුන් ලබා දුන් දායකත්වයට අමතරව අලෝකකරණ අධ්‍යක්ෂණයෙන් නඳුන් සුධීර ද, හඬ කැවීම් අධ්‍යක්ෂණයෙන් තරුෂ දිල්හාර ද, වර්ණ සංයෝජනයෙන් පූර්ණ ලේකම්ගේ ද, ඇඳුම් නිර්මාණයෙන් විශ්වනී අන්ජානා ද, සංස්කරණයෙන් දෙනුවන් සමරසිංහ ද සහයෝගය ලබා දුන්හ. මෙයට අමතරව රොකට් චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය චන්දිප පතිරණ ය. මොවුන්ට සහාය ලබා දුන් පිරිසක් ද සිටිති. ඒ අතර සහාය සංගීත අධ්‍යක්ෂණයෙන් නයනක ප්‍රේමවර්ධන ද සහාය කැමරාකරණයෙන් යුමික සහ නවම් ද සහාය අලෝකකරණයෙන් වික්‍රමතන්ත්‍රි, ඔසඳ, රහල්, ඔමෙත් ය. මේ නිර්මාණය සඳහා බොහෝ දෙනෙක් දායක වූහ. ඔවුන් සියලු දෙනාගේම විශිෂ්ටත්වය අගය කරමු.

විශේෂ ස්තූතිය

සීවලී මධ්‍ය විද්‍යාලයේ වත්මන් විදුහල්පති රොෂාන් වෙදගේ මහතාටත්, රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ හිටපු විදුහල්පති කර්නල් නීල් ධම්මික වතුකාරවත්ත මහතාටත් රත්නපුර කුමර විදුහලේ විදුහල්පති පී. කේ. පතිරගේ මහතාත් ලබා දුන් සහයෝගය, පාසල් සිසුන් සහ මව්පියන්, ආදි සිසුන් සියලු දෙනා ලබා දුන් සහයෝගයටත් ස්තූති වන්ත වන අතර, සිනමා ශාලාවක තිරගත වීමේ ක්‍රියාවලිය දක්වාම කාර්ය සාර්ථක කරගැනීමට මුල සිට මේ දක්වා සහාය දුන් තිස්ස නාගොඩ විතාන පදනමේ විධායක නිෂ්පාදක රොෂාන් සංජය මහතාටත් ස්තූති පුදකරන බව ස්වර්ණ සීනමා පදනම පවසයි.

රූපාන්ති බුලත්සිංහල

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department