කතන්දරය කියවා නාම පද සොයමු
නාම පද
“සප්‍රාණික සියලුම සතුන් හා අප්‍රාණික සියල්ල හැඳීන්වීමට භාවිත වන නාම” නාම පද ලෙස නිර්වචනය කළ හැකි ය. පුද්ගලයකු, තැනක්, දෙයක් පිළිබඳ අර්ථයක් දෙන පද නාම පද වශයෙන් හැඳීන්විය හැකි ය. පුද්ගල නාම පද, සත්ත්ව නාම පද, ද්‍රව්‍ය නාම පද , ස්ථාන නාම පද වශයෙන් නාම පද වර්ග කිහිපයක් තිබේ.
ප්‍රාණවාචී නාම පද සහ අප්‍රාණවාචී නාම පද වශයෙන් ද නාම පද වර්ග කළ හැකිවේ. සිංහල භාෂාවෙහි ඇති පද අතරින් අති විශාල සංඛ්‍යාවක් ඇති පද වර්ගය වන්නේ නාම පදයි.
සුදු රෝස මල
පඳුරුවලින් පිරුණු වත්තක, තණකොළ සහ වල් පැළෑටි අතර තිබූ රෝස ගසක සුදු රෝස මලක් පිපී තිබිණි. එය හිම මෙන් සුදු විය. එහි පෙති වෙල්වට් මෙන් දිස් විය. උදෑසන පතිත වූ පිනි එහි පත්‍රවල රැ¼දී තිබුණු නිසා දීප්තිමත් පළිඟු මෙන් රෝස පත්‍ර බැබළුණි. රෝස මලට තමාව පෙනෙන්නේ නැත. එහෙත් ඇය අවට සිටි ගස්වැල් මල් කොළ ඇයගේ සුන්දරත්වය ගැන මවිත විය. ඇගේ ඉමිහිරි සුවඳ , ඇගේ පෙතිවල මෘදු බව, ඇගේ සුන්දරත්වය ගැන ඇය අවට සිටි සියල්ලන්ම බෙහෙවින් කතා කරනු ඇයට ඇසිණි. එහෙත් ඇය
ඒ ගැන ආඩම්බර වූයේ නැත. ඇය අනෙක් ගස් වැල් සමඟ සිනාවෙමින් ,සුළඟෙහි නැළවෙමින් සිටියාය. දහවල් වනවිට මෙම ගෙවත්ත අසල නිවෙසේ විසූ ගැහැනු ළමයෙක් වත්ත හරහා ඇවිදිමින් සිටියාය. සොබාදහම් මාතාව අපට කෙතරම් සුන්දර දේවල් ලබා දී ඇත්දැයි සිතමින් ඇය ගෙවත්තේ සිරි නරඹන්නට වූවාය. ඇය හදිසියේම ගෙවත්තේ ඈත සුදු රෝස මලක් පිපී තිබෙනු දුටුවාය. “ෂා හරිම ලස්සන රෝස මලක්!” එසේ සිතමින් ඇය රෝස ගස අසලට ආවාය.
” වහින්නත් එනවා වගෙයි. රෝස මල හවස් වෙනකම් මෙතැන තිබුණොත් ඒක සම්පූර්ණයෙන්ම වැස්සට තෙමිලා හේදිලා ඉක්මනින් මැලවිලා යාවි. මම මෙයාව ගෙදර ගෙනිහින් මට තෑගි ලැබුණු අලුත්ම මල් බඳුනේ එයාව තියනවා.”
එසේ සිතූ ගැහැනු ළමයා රෝස මල කඩාගෙන නිවෙසට ගෙන ගියාය.
ඇය සුදු රෝස මල අලංකාර, වර්ණවත් වීදුරු මල් බඳුනක් තුළට දමා, එයට ජලය ද දමා එය ජනේලය අසල තැබුවාය.
ජනේලයෙහි වීදුරුව ඉතා පැහැදිලි වූ අතර, රෝස මලට පිටත ගෙවත්ත හොඳීන් පෙනුණි. තමන්ගේ අනෙක් ගස් වැල්, මල් මිතුරන් ඇය ඈතින් දුටුවාය. ටික වේලාවකින් මහ වැස්සක් ඇද හැලෙන්නට විය. තමන්ගේ මිතුරු ගස් වැල් මල් වැස්සට හසු වී තෙමී සේදී දියබත් වී යනු ඇය දුටුවාය. තමන් මල් බඳුනක් තුළට වී සුරක්ෂිතව සිටිය ද තම මිතුරන්ට වූ උපද්‍රවය ගැන විශාල කනගාටුවක් රෝස මලට දැනුණි. වැස්ස නැවතුණු පසුව ජල බිඳුවලින් බොඳ වුණු ජනෙල් වීදුරුවෙන් පිටත බැලූ රෝස මල කඳුළු සැලුවාය.
මෙම කතාවෙන් හමු වූ නාම පද
ගෙවත්ත – ස්ථාන නාම පද තණකොළ – ද්‍රව්‍ය නාම පද
වල්පැළෑටි – ද්‍රව්‍ය නාම පද ගස්වැල් – ද්‍රව්‍ය නාම පද
රෝස මලක් – ද්‍රව්‍ය නාම පද හිම – ද්‍රව්‍ය නාම පද
නිවෙස – ස්ථාන නාම පද ගැහැනු ළමයෙක් – පුද්ගල නාම පද
මල් බඳුන – ද්‍රව්‍ය නාම පද ජලය – ද්‍රව්‍ය නාම පද
ජනේලය – ද්‍රව්‍ය නාම පද පිනි – ද්‍රව්‍ය නාම පද
සමාන පදයි ළමා කවියයි
සමාන පද යනු
සමාන අර්ථ සහිත පද සමානාර්ථ පද හෙවත් සමාන පද ලෙස හඳුන්වයි. ඇතැම් පදවලට සමාන අර්ථයක් දෙන පද ගණනාවක් ඇති අතර, ඇතැම් පදවලට සමාන අර්ථ දෙන පද ඇත්තේ කිහිපයක් පමණි. සමාන පද පර්යාය පද ලෙස ද හඳුන්වයි.
ලියුම් ලියුම්
ටිලිං ටිලිං ටිලිං
ඔන්න ඇවිත් ලියුම්
ටිලිං ටිලිං ටිලිං
එන්න ගන්න ලියුම්
දුරින් එවන ලියුම්
ළඟින් එවන ලියුම්
පණිවිඩ දෙන ලියුම්
අරුම පුදුම ලියුම්
සිනා නඟන කියුම්
දුක හිතෙනා සිතුම්
සුබ ගෙනෙනා පැතුම්
මේ හැම ඇති ලියුම්
නැන්දට ඇත ලියුම්
අක්කට ඇත ලියුම්
මටත් තිබේ ලියුම්
කිටීට නැත ලියුම්
මෙම කවියෙහි එන ඇතැම් පදවලට සමාන පද හඳුනා ගනිමු
ලියුම් – හසුන්, ලිපි
දුරින් – ඈතින්, බැහැරින්
ළඟින් – අසලින්, ආසන්නයෙන්, කිට්ටුවෙන්
සිනා – හසරැල්
කියුම් – කියමන්
දුක – කනගාටුව, ශෝකය
පණිවිඩ – සන්දේශ, ආරංචි, දැන්වීම්
සිතුම් – සිතුවිලි, හැඟීම්
පැතුම් – ප්‍රාර්ථනා
ප්‍රස්තාව පිරුළක් හඳුනා ගනිමු
ඉබ්බා දියේ දමනකොට ඇන්නෑවේ කිව්වා වගෙයි
එක් දිනක් දිය පාරක් අද්දරට වී ඉබ්බෙක් හිරු එළිය තපිමින් සිටියේ ය. ඒ අසලින් ඇවිදගිය නරියෙක්, ඉබ්බා ළඟට කිට්ටු වුණේය. ඉබ්බා වහාම තමන්ගේ කටුව තුළට රිංගා ගත්තේ ය.
“ඇයි ඉබිරාලේ හැංගුණේ? අපි ටිකක් කතා කරමුකෝ” නරියා, ඉබ්බාට බොරු ළෙන්ගතුකමක් පාමින් පැවසුවේ ය.
“කතා කරන්න නම් බැරිකමක් නෑ. ඒත් මට නම් නරිහාමි ගැන කිසිම විශ්වාසයක් නෑ” ඉබ්බා තමන්ගේ හිස කට්ට තුළින් යන්තමට එළියට දමා පැවසුවේ ය. ඉබ්බාට ළං වූ නරියා ඉබිකටුව මතට තම පාදයක් තබා තදකර බැලුවේය.
“අද නම් මට ඉබි මස් ටිකක් රස බලන්න පුළුවන් වේවි” නරියා පැවසුවේ ය.
ඉබ්බාට හොඳටම බය සිතුණි.
“හැබැයි මේ ඉබි කට්ට හයිය එක තමයි ප්‍රශ්නෙ. ඇයි ඔහේගේ කට්ට මේ තරම් හයියට තියෙන්නේ?” නරියා ඇසුවේ ය.
“මං ගොඩබිමේ ඉන්නකොට මගේ කට්ට හරිම හයියයි. ආපසු වතුරට ගියාම කට්ට හරිම ඉක්මනට මෙළෙක් වෙනවා” ඉබ්බා හිස යන්තමට පිටතට දමා පැවසුවේ ය.
“එහෙනම් අර දිය පාරට බැහැලා බලමුද?” නරියා ඉබි කට්ට පය තදකර ගෙනම ඇසුවේ ය.
“හා හා අපි යමු” ඉබ්බා හනිකට පැවසුවේය. නරියා සමඟ ඉබ්බා සෙමින් දිය පාරට ළං වූ අතර, ඉබ්බා දියට බැස්සේය. නරියා තම පාදය ඉබි කටුව මත තද කරතබාගෙන සිටියේ ය.
“ඔහේගේ කකුල තියනකොට මගේ කට්ට හරියට තෙමෙන්නෙ නෑ. ඒ නිසා කකුල අහකට ගත්ත නම් කටුව ඉක්මනට පෙඟේවි” ඉබ්බා පැවසුවේය. නරියා තම කකුල ඉබි කටුව මතින් අහකට ගත්තේ ය. ඒ සැණින් ඉබ්බා “ඇන්නෑවේ” කියමින් දිය යටට පිහිනා ගොස් දිවි බේරා ගත්තේ ය. එදා සිට කෙනකුට අවශ්‍යම වූ දෙයක් සිදුකර ගැනීමට නොසිතූ ලෙස අවස්ථාවක් ලැබෙන විට “ඉබ්බා දියේ දමනකොට ඇන්නෑවේ කිව්වා වගෙයි” යනුවෙන් කීමට ගැමියෝ පුරුදු වී සිටිති.
හර්ෂණී ගමගේ