වාද්දුව බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය
ඉෂාරා ප්‍රියදර්ශනී පෙරේරා මහත්මිය
වත්මන් සමාජය ඉතා සංකීර්ණ ය. බොහෝ දරුවන් මේ සංකීර්ණ සමාජයේ අතරමං වීමට ඇති ඉඩ ප්‍රස්තාව වැඩි ය. මේ නිසා පාසලකින් දරුවන්ගේ නැණවත් බව ඔප්නංවනවා සේම ගුණවත් බව ද ඇති කළ යුතු ය. මේ නිසා සෑම විටම නැණවත් බව වර්ධනය වෙන පාඩම් මෙන්ම ගුණවත් බව වර්ධනය වන පාඩම් ද පාසලකින් කියා දිය යුතු ය. බොහෝ විට වර්තමානයේ දරුවාට විෂය නිර්දේශයකට සීමා වීමකට සිදු වේ. එහෙත් නිරායාසයෙන් ගුණ දහම් කෙරෙහි ඔවුන් යොමු කරන ආකාරයේ ක්‍රියා පිළිවෙතක් සෑම පාසලකම ක්‍රියාත්මක වන්නේ නම් අනගි වේ. “ගුණ නැණ දෙකෙන් යුතු පුතුමය ඉතා ගරු “යන්න සුභාෂිතයේ ද කියා ඇත. මේ අනුව අද මිහිරට අදහස් දක්වන්නේ වාද්දුව බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය ඉෂාරා ප්‍රියදර්ශනී පෙරේරා මහත්මියයි. අපි ඇගේ කතාව අසමු.
” මගේ පාසලේ නම වාද්දුව බාලිකා විද්‍යාලයයි. මගේ පාසලේ දරුවන් සිටින්නේ 11 ශ්‍රේණිය දක්වා පමණි. මේ වන විට දරුවන් 624 දෙනකු අපේ පාසලේ අධ්‍යාපනය ලබනවා. ඒ වගේම ගුරු මණ්ඩලයේ ගුරුවරුන් 34ක් ඉන්නවා. මම මේ පාසලට පැමිණියේ 2017 වසරේදියි. වර්තමානයේ අපේ පාසලේ අ.පො.ස. සා.පෙළ විභාග ප්‍රතිඵල සියයට 84.4කි. අපේ පාසලේ තවම උසස් පෙළ නැහැ. පර්චස් අසූවක් තරම් වූ කුඩා භූමි භාගයක් තමයි අපේ පාසලට තිබෙන්නේ. අවම පහසුකම් උපරිම ලෙස යොදා ගනිමින් අපේ පාසලේ දරුවන් අධ්‍යාපන කටයුතු කරනවා.”
” අධ්‍යාපනය මෙන්ම ක්‍රීඩා, නැටුම්, සංගීතය කෙරෙහි ද අපේ දරුවන් ඉතා කැමැතියි. මේ සෑම කටයුත්තක්ම ඉතා හොඳීන් කරගෙන යන්න පාසල ඇතුළේ අවකාශ තිබෙනවා. මම හිතන්නේ දරුවන් විෂය නිර්දේශයට පමණක් හිර කරලා තියෙන එක ඒතරම්ම යහපත් නැහැ. මේ නිසා දරුවකුට සමබර අධ්‍යාපනයක් තියෙන්න අවශ්‍යයි. එසේ නැතිනම් දරුවන් අධික පීඩාවට පත් වෙනවා. ළමා මනස කියන්නේ ඉක්මනින් විඩාවට, පීඩාවට පත්වන එකක්. ගුරුවරුන් වශයෙන් අපි එය තේරුම් ගන්න අවශ්‍යයි. අනෙක් දෙය නම් දරුවා සමඟ සුහදශීලි වෙන්නත් අවශ්‍යයි. දරුවකු කියන්නේ සිනිඳු පෙති තියෙන මලක් වගේ. මේ මලට හානියක් නොවන ආකාරයෙන් අපි මල යහපත් පරිසරයක තියන්න අවශ්‍යයි. මේ දෙය තේරුම් ගත්විට දරුවන් සමඟ ගනුදෙනු කරන්න ලේසියි.”
” අපේ පාසලේ දරුවන් මලල ක්‍රීඩාවලට මෙන්ම කරාතේ, චෙස්වලටත් නිපුණතාවක් දක්වනවා. අපේ පාසලේ දරුවන් වොලිබෝල්වලට ගොඩක් කැමැතියි. ඒත් අපේ පාසලේ ක්‍රීඩා පිට්ටනියක් නැහැ. මේ නිසාම ප්‍රදේශීය සභාවෙන් අවසර ලබාගෙන වාද්දුව මහජන ක්‍රීඩාංගණයට පුහුණුවීම්වලට දරුවන් යනවා. ඒකත් ඒ අයට ලොකු සහයෝගයක් කියලා මම හිතනවා. ඒ ගැන ප්‍රාදේශීය සභාවට මම ස්තූතිවන්ත වෙනවා.”
” ක්‍රීඩාව, නර්තනය, ගායනය , අධ්‍යාපනය මේ කුමන වැඩක් වුවත්, සාමූහිකව කණ්ඩායම් ලෙස ඒකරාශී වීමෙන් සිදු වෙනවා නම් හොඳයි. ඒකට හේතුවක් තියෙනවා. මම හිතන්නේ මේ නවීන තාක්ෂණය නිසා බොහෝ දරුවන් හුදෙකලා වෙලා. මේ හුදෙකලාව බොහෝ දරුවන්ට දරාගන්න බැරි වෙලා තියෙනවා. ෆෝන් එකක් පාවිච්චි කිරීමෙන්, දරුවා නවීන තාක්ෂණය එක්ක බද්ධ වෙන එක හොඳයි. ඒකෙන් ලෝකයට දරුවා විවර වෙනවා. ඒත් ඒ විවර වෙන්නේ නිසි ආකාරයට ද යන්න පිළිබඳ අප නිරන්තරයෙන් සොයා බැලිය යුතුයි. මේ නිසා මම ගුරුවරුන්ට කියලා තියෙන්නේ දරුවා ෆෝන් පරිහරණය කිරීම පිළිබඳ අවධානයෙන් සිටින්න කියලා. ඒ වගේම හැකි සෑම වෙලාවකදීම සියලු දරුවන් ඒකරාශී කරගෙන කණ්ඩායම් මට්ටමින් පවත්වන අධ්‍යාපන ක්‍රියාකාරකම් කරන්න කියලාත් මම ගුරුවරුන්ට කියලා තියෙනවා.”
” හුදෙකලා වීම නිසාම බොහෝ දරුවන් තනිවෙනවා. ෆෝන් එක නිසා මේ දෙය සිදු වෙනවා කියලා අප සිතන්නේ නැහැ. වට්ස්සැප් ගෘප් එකට වැඩ දාලා කරන එක නවීන තාක්ෂණය සමඟ බද්ධ වීමක්. ඒත් එය දිගින් දිගටම කිරීම සුදුසු නැහැ. මිනිසා කියන්නේ සමාජ සත්ත්වයෙක්. මේ නිසාම දරුවාටත් සමාජය සමඟ ඒකරාශී වීමට අවස්ථාව සලසා දිය යුතුයි. මෙය වැඩිහිටියන් වන අපේ යුතුකමක්. ගුණ නැණ ඇති දරුවන් නිර්මාණය කිරීමට නම් දරුවාට සාමාජීය අත්දැකීමක් අවශ්‍යම වෙනවා.”
ඇය දරුවන් වෙනුවෙන් කරන මෙහෙය සාර්ථක වේවා යැයි
අපි මිහිර වෙතින් ඇයට සුබ පතමු.
රූපාන්ති බුලත්සිංහල
ඡායාරූප – පාසලේ ඡායාරූප සංගමය