බාධක ජයගෙන ඉදිරියට යන්න හැමෝටම බැහැ. එතරම්ම එඩිතර සිතක් ඇති දියණියක් ගැන කතා කරන්නයි අපේ මේ සූදානම. ඇය අධ්‍යාපනය ලබන්නේ නාකුළුගමුව ගාමිණී මහා විද්‍යාලයෙයි. ඇගේ නම සනෝජා තත්සරණියි. 2016 නාකුළුගමුව ගාමිණී මහා විද්‍යාලයේ දරුවකු A 9ක් ගත්තාට පසු මේ දරුවා මේ වසරේදී A9ක් ගැනීමේ විශිෂ්ටත්වය පිළිබඳ කියන්නයි මේ අපි සැරසෙන්නේ. නාකුළුගමුව ගාමිණී මහා විද්‍යාලය පිහිටා ඇත්තේ ධීවර ප්රජාවකින් හෙබි පරිසරයකයි. මේ පරිසරය නිසාම නොයෙක් දේ සඳහා දරුවන් යොමු වෙන්නට ඇති ඉඩකඩ වැඩියි. එහෙත් අධ්‍යාපන ක්ෂේත්රය කෙරෙහි ද දරුවන් යොමු කිරීමට මහත් ආයාසයක් ගැනීමට ගුරුවරුන්ට සිදු වී තිබේ. මෙවැනි වටපිටාවක තිබියදී වුවද 2024 වසරේදී සනෝජා තත්සරණී අ.පො.ස. සාපෙළ විභාගයෙන් ඒ9ක් ගැනීමට සමත් වී තිබේ. අද අප ඔබට කියන්නේ ඇය බාධක ජය ගෙන ආ, ඒ ගමන පිළිබඳයි.
” මම මීට පෙර අධ්‍යාපනය ලැබුවේ මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයෙයි. ඊට පස්සේ තමයි මම නාකුළුගමුව ගාමිණී මහා විද්‍යාලයට ආවේ. ජීවිතයේ බාධක කම්කටොලු ජයගෙන මට මේ ගමන එන්න හැකි වුණා. මගේ පවුලේ අම්මයි තාත්තයි, අක්කයි මල්ලියි ඉන්නවා. අම්මාගෙන් තාත්තාගෙන් ලැබෙන සවිය මට වචනයෙන් විස්තර කරන්න බැහැ. ඒ දෙන්නා මාව හැමවිටම උනන්දු කරනවා. ඉගෙන ගැනීම කියන්නේ අපට වටිනා ආභරණයක්. ඒ ආභරණය පැලඳීමට හැමෝටම බැහැ. ඒ ආභරණය පැලඳීමට ලැබීමත් වාසනාවක්. මගේ අම්මා මාව ගොඩක් උනන්දු කළා. ඒ වගේම අපේ පාසලේ විදුහල්පතිතුමා රංග ප්‍රසංග මහතා ඇතුළු ගුරුවරුත් මට ලොකු සහයෝගයක් ලබා දුන්නා. ඒ සහයෝගය ඉතා වටිනවා. ඒ නිසා තමයි මට අ.පො. සා. පෙළ විභාගයෙන් ඒ 9ක් ගන්න හැකියාව ලැබුණේ. ”
” ගාමිණී මහා විද්‍යාලයට මේ අවස්ථාව ලැබුණේ 2016න් පසුයි. ඒ භාග්‍ය උදාකර දීමට මට ලැබුණු අවස්ථාවත් මම ගොඩක් අගය කරනවා. කවදාවත් මට උගන්නපු ගුරුවරුන්වත්, මම ඉගෙන ගත්ත පාසල් දෙකවත් මට අමතක වන්නේ නැහැ. ඒ ගැන මගේ හිතේ තියෙන්නේ ලොකු ගෞරවයක්. අධ්‍යාපනයට වගේම සංගීත විෂයටත් මම ගොඩක් කැමැතියි. කොට්ඨාස මෙන්ම පළාත් තරඟ, සමස්ත ලංකා තරගවලිනුත් මට ජයග්‍රහණ ලැබිලා තියෙනවා. සංගීතය කියන්නේ අධ්‍යාපනයෙන් ඉදිරියට යෑමට රුකුලක් වන මානසික සුවය ගෙන දෙන විෂයක් කියලා තමයි මම නම් හිතන්නේ. සංගීතය නිසාම මට පාසල් අධ්‍යාපනයත් සමබරව කරන්න පුළුවන් හැකියාවක් ලැබුණා.”
ඇයගේ අනාගතයට ජයෙන් ජයම ලැබේවා යැයි අපි මිහිර වෙතින් සුබ පතමු.
රූපාන්ති බුලත්සිංහල
ඡායාරූප- පාසලේ ඡායාරූප සංගමය