Home » Blog » විවිධ රටවල ජාතික පුෂ්ප

විවිධ රටවල ජාතික පුෂ්ප

by thanushika
0 comments

සියලුම මල් ලස්සනයි. වර්ණයෙන්, සුවඳෙන්,හැඩයෙන් මල් වෙනස් වේ. මල් සොබාදහමේ කොටසකි. එමෙන්ම මිනිස් සංස්කෘතියේ ද කොටසකි. චිත්‍ර ශිල්පියෝ මල් චිත්‍රයට නඟති. එලෙසම අලංකාර වර්ණ යොදමින් පින්තාරු කරති. අපි, අපේ විශේෂ අවස්ථාවල මල් තෑගි දෙන්නෙමු. එමෙන්ම මල්වලට ආදරය කරන්නෙමු. බොහෝ මල්වලට විශේෂ වූ අර්ථ ද මිනිසුන් නිර්මාණයකර තිබේ. රට රටවල මිනිස්සු තම තමන්ගේ ජාතිය සංකේතවත් කිරීමටද මල් යොදා ගනිති. මෙයින් ඔවුනොවුන්ගේ ජාතියේ විශේෂත්වය සංකේතවත් කරයි.

ඔස්ට්‍රේලියාවේ ජාතික පුෂ්පය

ගෝල්ඩන් වොට්ල්

(Golden Wattle)


ගෝල්ඩන් වොට්ල් ඔස්ට්‍රේලියාවේ ජාතික පුෂ්පයයි. මෙම ගස අඩි 26ක් පමණ උස ය. එමෙන්ම මේ මල අධික සුවඳකින් යුක්ත ය. මෙහි මල් රන්වන් පාටට හුරු ය. පොත්ත තද දුඹුරු සහ අළු පැහැයක් ගනියි. ළපටි ශාකවල කඳ සිනිඳු වුවත්, වැඩිහිටි ශාකවල කඳ රළු බවෙන් යුක්ත වේ. මෙම මල, මුද්දරවල නිරූපණයකර තිබේ. ගෝල්ඩන් වොට්ල් මල සැමරීම සඳහා විශේෂිත දිනයක් ඇත. සැප්තැම්බර් 1 වැනි දින ජාතික වොට්ල් දිනය ලෙස ඔස්ට්‍රේලියානුවන් නම්කර තිබේ. ඔස්ට්‍රේලියානුවෝ වොට්ල් අතු පලඳමින් වොට්ල් දිනය සමරති. ‘ සුබ වොට්ල් ඩේ’ යනුවෙන් ඔවුහු එකිනෙකාට ආචාර කරති. විනෝද චාරිකා යමින් එකිනෙකාට සුබ පතමින් ඔස්ට්‍රේලියානුවෝ වොට්ල් දිනය සමරති. මේ දිනය එකමුතු බවේ සංකේතයක් ලෙස ද ඔවුහු අර්ථකථනය කරති. මෙය ඔස්ට්‍රේලියාව පුරා සශ්‍රීකත්වය වැඩි වන දිනයක් ලෙස ඔවුහු නම් කරති.

නිකරගුවාවේ ජාතික පුෂ්පය

ෆ්‍රැන්ගිපනි (Frangipani)

Frangipani යනු නිකරගුවාවේ ජාතික පුෂ්පයයි. එය Sacuanjoche ද ලෙස හැඳීන්වේ. ශත 15, 10 සහ ශත 25 මුදල් නෝට්ටුවේ මෙම මල් දක්නට ලැබේ. මේ ශාකය පඳුරු හෝ කුඩා ගස් ලෙස ද වර්ධනය වෙයි. කඳේ කෙළවරේ පොකුරු ලෙස ද මල් හටගනියි. මෙම මල්වලට රෝස, රතු, සුදු සහ කහ, තැඹිලි වැනි වර්ණ ඇත. රාත්‍රී කාලයේ මෙම මල් සුවඳ වැඩි ය. ශ්‍රී ලංකාවේ මෙය “අරලිය” හෝ “පන්සල් මල්” ලෙස හැඳීන්වේ. පූජනීය මලක් ලෙස ද මෙම මල හැඳීන්වේ. ගුලංචා සහ කැත් ගොලප් යන නම්වලින් මේ මල් විශේෂය හැඳීන්වේ. මෙම මල් මධ්‍යම අමෙරිකාව, මෙක්සිකෝව, කැරිබියන් දූපත් සහ දකුණු අමෙරිකාවට ආවේණික වේ.

චීනයේ ජාතික පුෂ්පය

ප්ලම් මල Plum Blossom

චීනයේ ජාතික පුෂ්පය  plum මලයි.  Prunus mume යනු පතනශීලි ගසකි. ශීත ඍතුවේ මැද භාගයේදී මේ ගසේ මල් හට ගැනීමට පටන් ගනියි. මෙම ශාකයේ උස අඩි 4ත් 10ත් අතර වේ. මල්වල විෂ්කම්භය සෙන්ටිමීටර් 2ත් සෙන්ටිමීටර් 2.5ත් අතර වේ. මෙම මල ඉතා සුවඳවත් මලකි. වර්ෂ 1964දී මහජන චීන සමූහාණ්ඩුවේ නිල ජාතික පුෂ්පය බවට මෙය පත්කර ඇත. අද දක්වා මේ පුෂ්පය චීනයේ ජාතික පුෂ්පය බවට පත්වී තිබේ. කරදර හමුවේ ඔරොත්තු දීමේ සහ නොපසුබට උත්සාහයේ සංකේතයක් ලෙස පිළිගැනෙන  plum මල් බොහෝ විට රෝස පැහැති වර්ණයෙන් යුක්ත ය.

ඕලන්දයේ ජාතික පුෂ්පය

ටියුලිප් (Tulip)

ටියුලිප් මල ඕලන්දයේ ජාතික පුෂ්පයයි. මෙම මල ටියිලිපා කුලයට අයත් වේ. මෙම ශාකය වසන්තයේ මල් පිපෙන බහු වාර්ෂික ශාකයකි. ටියුලිප් ශාකය සෙන්ටිමීටර 10ත් සහ සෙන්ටිමීටර් 70ත් අතර උසකින් යුක්ත වේ. ටියුලිප් කඳේ කොළ ඇත්තේ කිහිපයකි. එනම් කොළ දෙකේ සිට හය දක්වා ප්‍රමාණයක් තිබේ. මෙම මල විශාල ය. ටියුලිප් මල් පවිත්‍ර ය. මේ මල නිල් හැර වෙනත් වර්ණවලින් යුක්ත වේ. මෙම මල සුවඳීන් තොර ය. එහෙත් නිර්මල බවෙන් යුක්ත ය. සුවඳ නොමැතිකම මෙහි ඇති විශේෂ ගුණයක් ලෙස ලන්දේසීහු සලකති.

ජර්මනියේ ජාතික පුෂ්පය

ඉරිඟු මල ( Cornflower )

මෙම මල ජර්මනියේ ජාතික පුෂ්පය ලෙස හඳුන්වයි. ඉරිඟු මල Asteraceae පවුලේ සාමාජිකයෙකි. මේ ශාකයේ වාර්ෂිකව මල් පිපෙයි. මෙය අතීතයේ බඩ ඉරිඟුවල වල් පැලෑටියක් ලෙස වර්ධනය වී ඇත. මෙහි පත්‍රයක දිග සෙන්ටිමීටර් 3ත් සෙන්ටිමීටර් 10ත් අතර වේ. මල් තද නිල් පැහැයකින් යුක්ත ය. වර්ෂ 1871දී ජර්මනිය එක්සත් කිරීමෙන් පසු මෙය ජර්මනියේ ජාතික පුෂ්පය බවට පත් විය.

ප්‍රංශයේ ජාතික පුෂ්පය

අයිරිස් ((Iris)

ප්‍රංශයයේ ජාතික පුෂ්පය වන්නේ අයිරිස් මල ය. මෙම මල රාජකීය පවුලේ ද සංකේතයකි. මේ මලේ කොළ අතු පවා දීප්තිය, පිරිසුදුකම සහ ගාම්භීරත්වය සහ නිදහස සංකේතවත් කරයි. මෙය සපුෂ්පක ශාකයකි. ප්‍රංශයේ VII වැනි ලුවී රජු ද අයිරිස් මලට වැඩියෙන්ම ඇලුම් කළේ ය. එනම් ඔහු තම වැදගත්ම ඇඳුම් කිහිපයක් මේ මල්වලින් සරසා තිබිණි. ඔහුගේ රාජකීය නිල් පැහැති වස්ත්‍රය රන් අයිරිස් මල්වලින් සරසා තිබිණි. එම නිසාම මේ මල “ලුවීගේ මල” ලෙස හැඳීන්වී ය. මේ ශාකයට දිගු, ඍජු මල් පිපෙන කඳක් තිබේ. මෙහි අතු ඈතින් පිහිටා තිබේ. මෙහි හරස්කඩක් කැපුවොත් එය වටකුරු ය. මේ මලෙහි පුෂ්ප මංජරිය විදුලි පංකාවක හැඩයෙන් යුක්ත ය . මෙම මලෙහි පහළට ඇද වැටෙන කොටස් තුන ‘ඇල්ල’ ලෙස හඳුන්වයි.

ඉතාලියේ ජාතික පුෂ්පය

සුදු ලිලී (White Lily) 

මේ මල ලිලී, ෆ්ලූර්-ඩි-ලිස් ලෙස ද හැඳීන්වේ. මෙය ඉතාලියේ ජාතික පුෂ්පයයි. මෙම සුදු ලිලී මල ඉතාලියේ සංකේතයක් පමණක් නොව එය ජාතියේ පැවැත්මට සම්බන්ධ වේ. ලිලී මල වංශවත්කමේ සලකුණක් ලෙස භාවිත කරයි. ඉතාලියේ ශ්‍රේෂ්ඨත්වයේ ගැඹුර ද මේ මල මඟින් ප්‍රකාශ කරයි. සුදු ලිලී කතෝලික පල්ලියේ උත්සව අවස්ථාවලට යොදා ගනියි. එයට හේතුව මේ මල මඟින් නිර්මලත්වය සංකේතවත් කිරීමයි. සලමොන් රජුගේ දේවමාලිගාව අසල තීරුවක ද ලිලී මල් තිබුණු බවට සාක්ෂි තිබේ. පවිත්‍රත්වය නිරූපණයට ද ලිලී මල් යොදා ගනියි.

ඉන්දියාවේ ජාතික පුෂ්පය-

නෙළුම් මල (Lotus)

ඉන්දියාවේ ජාතික පුෂ්පය නෙළුම් මල ය. නෙළුම් මලේ ආධ්‍යාත්මික වැදගත්කමක් ඇත. නෙළුම් මල හින්දු සහ බෞද්ධ ආගම් දෙකෙහිම පූජනීය මලකි. ආධ්‍යාත්මික පිබිදීම සහ ඥානාලෝකය සඳහා මාර්ගය මේ මලෙන් සංකේතවත් කරයි. නෙළුම් මල සම්බන්ධ කතා පුවත් දහම් ග්‍රන්ථවල ද සඳහන් වේ. නෙළුම් Nymphaea  කුලයට අයත් ය. නෙළුම් මල පූජනීත්වය සංකේතවත් කරයි. ඉන්දියාවේ හින්දු භක්තිකයෝ දිව්‍යමය සුන්දරත්වය සහ පාරිශුද්ධත්වය සංකේතවත් කිරීමට ද නෙළුම් මල තෝරා ගනිති. විශේෂිත සංස්කෘතික උත්සව සඳහා ද ඉන්දියානුවෝ නෙළුම් මල යොදා ගනිති.

මෙක්සිකෝවේ ජාතික පුෂ්පය

ඩේලියා ( Dahlia)

වර්ෂ 1963දී ඩේලියා මල මෙක්සිකෝවේ ජාතික පුෂ්පය ලෙස නම් කරන ලදි. මේ මල මඟින් අලංකාරබව සහ අභිමානය සංකේතවත් කරයි. මේ මල සංස්කෘතිකමය වටිනාකමකින් යුක්ත මලක් බව මෙක්සිකෝ වැසියෝ සලකති. මෙක්සිකෝවේ සංස්කෘතික උත්සව සඳහා මේ මල යොදා ගනියි. එලෙස යොදා ගැනීමෙන් මෙම මලට සංස්කෘතික වටිනාකමක් ලබාදී තිබේ. ඩේලියා ශාකය පඳුරු සහිත බහුවාර්ෂික ශාකයකි. කඳන් කොළ සහිත ය. මෙම ගසේ උස සෙන්ටිමීටර් තිහට වඩා වැඩි ය. මෙම මල බොහෝ වර්ණවලින් යුක්ත වන අතර, නිල් පාට වර්ණයෙන් යුතු මල් නොමැත.

ජපානයේ ජාතික පුෂ්පය

සකුරා මල (Cherry Blossom)

ජපානයේ ජාතික පුෂ්පය සකුරා මලයි. මාර්තු මාසය වන විට සකුරා මල් පිපීම ආරම්භ වෙයි. සකුරා මල් බහුල වශයෙන් පිපෙන්නේ ඔකිනාවා ප්‍රදේශයේයි. මේ කාලයට ජපන් ජාතිකයෝ සකුරා මල් බැලීමට සකුරා මල් පිපෙන ප්‍රදේශවලට ඇවිද යති. සකුරා මල් පිපෙන කාලය ජපන් ජාතිකයන්ට සතුට ගෙන දෙන කාලයකි. මෙය ජපානයේ සංස්කෘතික උත්සවයක් ලෙස සලකයි

යුක්රේනයේ ජාතික පුෂ්පය

සූර්යකාන්ත මල ( Sunflower)

යුක්රේනයේ ජාතිකය පුෂ්පය වන්නේ සූර්යකාන්ත මලයි. මෙම ශාකයේ උස මීටර් 3කි. ශාක පත්‍ර පළල් ය. එහි රළු දළ සහිත බූව තිබේ. මෙම ශාකයේ මල් පිපෙනුයේ ගිම්හානයේදී ය. සූර්යයාගේ එළිය වැටෙන දෙසටම මල හැරෙන නිසා මේ මල සූර්යකාන්ත මල ලෙස නම්කර තිබේ.1996 වර්ෂයේදී එක්සත් ජනපදය, රුසියාව සහ යුක්රේනය යන රටවල රාජ්‍ය නිලධාරීන් ර්‍ථඥපමධථචරඵඬ මිසයිල කඳවුරේ ද සූර්යකාන්ත මල් වගාකර ඇත. මෙම මල්වල තෙල්, සත්ත්ව ආහාර සෑදීමට ද යොදා ගනියි. සූර්යකාන්ත තෙල් වටිනාකමින් වැඩි තෙල් වර්ගයකි.

චතුරි ලක්ෂිකා

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department