පුංචි දුවේ, පුතේ,
අප ජීවත් වන සමාජයේ බොහෝ බාධක තියෙනවා. මේ බාධක ජය ගන්න හරිම අමාරුයි. සමහර බාධක පෙනෙන කොට අපට බයක් ඇති වෙනවා. ඒත් දුවේ පුතේ, බාධකය කියලා අපට අපේ කාර්ය අත්හැර යන්නත් බැහැ. එම නිසා දුවේ පුතේ, අප සෑම විටම බාධකය ජය ගන්න උත්සාහ කරන්න ඕනෑ. ඉතින් දුවේ පුතේ, මම අද ඔයාලාට කියලා දෙන්න උත්සාහ කරන්නේ බාධක ජය ගත්ත කූඹියකුගේ කතාවක්.
ඔන්න දුවේ පුතේ, ලස්සන කැලෑවක විශාල ගසක් තිබුණා. මේ ගසේ ගොඩක් සතුන් ජීවත් වුණා. මේ ගසේ එක පැත්තකින් ලස්සන ගඟක් ගලා බැස්සා. තවත් පැත්තකින් ලස්සන ගස් ගොඩක් තිබුණා. මේ ගස්වල හැමදාම පලතුරු පිරිලා තිබුණා. මේ ගස්වල් තිබුණු පලතුරු හැම සතකුම ආහාරයට ගත්තා. ඉතින් මේ කැලේ සතුන්ට පලතුරුවල හිඟයක් තිබුණෙම නැහැ. ඒ නිසා හැමෝම සතුටින් සිටියා. අප මුලින්ම කියූ විශාල ගසේ ජීවත් වූ ලේන්නු, ගිරව්, කහ කුරුල්ලන් හැමෝම මේ ගස්වල පලතුරු සතුටින් භුක්ති වින්දා. ඉතින් දුවේ පුතේ, මේ විශාල ගසට පහළ තිබුණු ගුලකට කූඹියන් විශාල පිරිසක් ඇවිත් පදිංචි වුණා. ඒ කියන්නේ මේ ගස පාමුල කූඹි ජනපදයක් පිහිටුවා ගත්තා. ඉතින් මේ කූඹි යාළුවන්ට නම් මේ ගසේ ජීවත් වීම ටිකක් අමාරු වුණා. ඒ අයට ගැළපෙන කෑම සොයාගන්න ටිකක් අමාරු වුණා. ඒත් එහෙම කියලා මේ අය උත්සාහය අත්හැරියේ නැහැ. දවසක් මේ කූඹි යාළුවන් ටික හැමෝම එකට රැස් වෙන්න තීරණය කළා. මේ කූඹින්ට නායකයෙක් සිටියා. මේ නායකයා අනෙක් අයට මෙහෙම කිව්වා.
” අපි මෙහෙම ඉඳලා බැහැ. අපි මේ නවාතැනට අලුත්. ඒ වගේම මේ කැලෑවටත් අලුත්. අපි මේ කැලෑවේ කෑම තියෙන තැන් දන්නේ නැහැ. ඒක නිසා අපි මහන්සිවෙලා කෑම සොයන්න ඕනේ.”
” ඒක ඇත්ත. අපි මහන්සි වුණේ නැත්නම් අපට වැසි කාලයේදිත් පායන කාලයේදිත් කෑම නැති වෙනවා. මේ නිසා අපි කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ. ”
වැඩිමල් කූඹියෙක් කීවා.
මේ කතාවට හැම පුංචි කූඹියෙක්ම ඔළුව වැනුවා.
” ඒක ඇත්ත. ඒක ඇත්ත. අපි කම්මැළි වෙන්න හොඳ නැහැ.”
හැම කූඹියෙක්ම මහන්සි වෙලා වැඩ කෙරුවා. මේ නිසා කූඹියන්ට කෑම අතිරික්තයක් තිබුණා. මේ නිසා කූඹි යාළුවන් කාටවත් බය වුණේ නැහැ. මෙහෙම සතුටින් ජීවත් වෙන කොට මේ කැලය අසලින් ගලා බැස්ස ගඟ උතුරා ගියා. අහසින් යන සතුන් හැරුණ විට හැමෝම කලබල වුණා. මේ පුංචි කූඹි ගුලේ සිටි කූඹිත් කලබල වුණා.
”අම්මෝ අපට මොනවා වෙයි ද දන්නේ නැහැ.”
කූඹි ගුලේ සිටි පුංචිම කූඹියෙක් ඇවිත් එයාගේ අම්මාගෙන් ඇහුවා. කූඹි අම්මාත් කලබල වුණා.
” අනේ මගේ දරුවො ටික. මේ ගං වතුරට කොහොම ඔරොත්තු දෙයි ද? අලුතින් උපන් පුංචි පැටව් ටික.”
ඉතින් දුවේ පුතේ, ඔයගොල්ලන්ට තේරෙනවා නේද? මේක ලොකු බාධකයක් කියලා. ඒත් කූඹි අම්මා කලබල වුණේ නැහැ. එයා හිතුවා තමන්ගේ පැටවු ටිකත් අරගෙන මේ කැලෑවෙන් ඈතට යන්න. ඉතින් කොහොමද එකපාර මෙහෙන් යන්නේ. හැම තැනම ගංවතුර. කූඹි අම්මා එහෙම කල්පනා කරලා කූඹි රජතුමා ළඟට ගියා.
”අනේ කූඹි රජතුමනි, මගේ පැටවු ටික මේ ගං වතුරට අහුවේවි. ඉතින් අපි මේ කැලෑවෙන් යන්න යනවා.”
කූඹි රජතුමා, කූඹි අම්මා කිව්ව දෙය ගැන හොඳීන් කල්පනා කළා.
”එහෙනම් කූඹි අම්මේ ඔයාගේ පැටවු විතරක් නෙවෙයි අපි හැමෝටම එගොඩ වෙන්න හැකි වෙන අයුරින් පාරුවක් හදන්නකෝ.”
කූඹි රජතුමා කිව්ව දෙය කූඹි අම්මා තේරුම් අරගෙන, කොළ ජාති එකතුකරගෙන, කොළවලින් පාරුවක් හදන්න පටන් ගත්තා. මේක දැකලා කූඹි රජතුමාට පුදුම වුණා. කූඹි අම්මා කූඹි යාළුවොත් එක්ක පාරුවේ නැඟිලා ඈතට ගියා.
ඉතින් දුවේ පුතේ, කූඹි අම්මා කවදාවත් තමන්ට ආව අභියෝගවලට භය වුණේ නැහැ. කළ යුතු දේ කොහොම හරි කළා.
රූපාන්ති බුලත්සිංහල