ආදරණීය දුවේ පුතේ, අද දවසේ අපි උරුමයක වගතුගවලින් ලන්දේසීන් විසින් ඉදිකරන ලද කල්පිටිය බළකොටුව පිළිබඳ තොරතුරු සොයා බලමු.
පෘතුගීසීන් යටතේ පාලනය වූ කල්පිටිය ප්‍රදේශය එක්දහස් හයසිය හතළිස් හතරේදී ලන්දේසීන් විසින් අත්පත්කර ගන්නා ලද අතර, ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඔවුන් විසින් කල්පිටිය නගරය වෙළෙඳ නගරයක් වශයෙන් නම්කරන ලදි. එම වෙළෙඳ නගරයේ ආරක්ෂාව උදෙසා 1606දී කල්පිටිය බළකොටුව ඉදිකරන ලදි. මෙය හිරිගල්, කොරල්, මී ඉටි සහ මී ලාටු යොදා ගනිමින් ගොඩනඟා තිබීම විශේෂිත කරුණකි. ඔවුන් ගොඩනැඟිලි ඉදිකිරීම සඳහා එවැනි දෑ යොදා ගැනීමට හේතුව මෙම බළකොටුවේ ශක්තිමත් බව වැඩිකර ගැනීමට බව සඳහන් වේ. කළුගල් යොදාගෙන නිමවා ඇති මෙම බළකොටුවේ ප්‍රවේශ දොරටුව ආරුක්කු හැඩයෙන් ඉදිකර ඇති අතර, එමඟින් මැද මිදුලකට ප්‍රවේශ විය හැකි ය. එහි එක් පසෙක නිවාස ඉදිකර තිබේ.
මෙම බළකොටුවේ ක්‍රිස්තියානි දේවස්ථාන හා සිවිල් ජනාවාසයක් ද තිබී ඇත. ඔවුන් එය ඉදිකොට ඇත්තේ එතැන තිබූ පැරැණි පෘතුගීසි දේවස්ථානයකට මැදි වන්නට වන අතර, එම දේවස්ථානය විනාශ නොකර පවත්වාගෙන ගොස් ඇත. මෙම බළකොටුවෙහි ගෘහ නිර්මාණ ශිල්පය දෙස බැලීමේදී ද එය ඉදිකර ඇත්තේ දේවස්ථානයක ආකෘතියකට බව පැහැදිලි වේ. එයට හේතුව වන්නේ බළකොටු ඉදිකිරීම සම්බන්ධයෙන් සිංහල රජුන්ගේ තිබූ විරෝධය විය හැකි ය. ඒ අනුව මෙම ස්ථානය බළකොටුවක් වශයෙන් පවත්වාගෙන යෑම සිංහල රජුන්ගෙන් වසන් කිරීමට මෙම ආකෘතිය යොදා ගත්තා යැයි විශ්වාස කළ හැකි ය.
බළකොටුවට ඇතුළු වන ස්ථානයේ පැරැණි විශාල ලී දොරක් ඇත. එය කුඹුක් ලීයෙන් නිර්මාණය කරන ලද්දකි. එම දොරෙහි බළකොටුව නිර්මාණය කරන ලද කාලය ද සටහන්කර තිබේ. එම සටහන මෙසේ ය. MDCCLIX = 1759 වශයෙනි.
මෙම බළකොටුවේ පැති හතරක් ඇති අතර, මුදු සහිත ප්‍රහාරක බළකොටුවක ආකාරයෙන් ඉදිකර ඇත. එහි ප්‍රහාරක කුටි හා කාලතුවක්කු සිදුරු සකස්කර ඇත්තේ සතුරකුට ප්‍රවේශ වීම ඉතා අසීරු ආකාරයට ය. එහිදී කිසිදු සතුරකුට කොටුවේ කිසිදු බිත්තියකින් කොටුවට නැඟීමට නොහැකි අතර, එසේ නැඟීමට උත්සාහ ගන්නේ නම් බළකොටුව ඇතුළේ සිටින අයට ඒ බව දැක ගත හැකි ආකාරයට මෙය නිර්මාණයකර තිබීම විශේෂ ආරක්ෂිත සාධකයකි. එසේ නඟින්නාට එහි සවිකර ඇති කාලතුවක්කු ප්රහාරයන්ට ගොදුරු වීමට අනිවාර්යයෙන්ම සිදු වේ.
මෙහි ඉදිකර ඇති නැරැඹුම් කුටිවල දවල් කාලයේ සිසිලසක් ද රාත්‍රී කාලයේ උණුසුමක් ද දැනෙන ආකාරයෙන් නිර්මාණයකර තිබීම මෙහි ඇති තවත් විශේෂත්වයකි. එසේම පිටතින් සතුරාගෙන් එල්ලවන ප්‍රහාරවලින් ආරක්ෂා වීමට හා ආයුධ ගබඩා ආරක්ෂා කිරීමටත් සතුරා නොමඟ යන ආකාරයේ ඉදිකිරීම් මෙහි දක්නට ලැබේ. එසේම මෙම බළකොටුවේ ඉදි කරන ලද ස්ථාන රාශියකි. ඒවා අතර යුද අධිකරණයක්, රැස්වීම් ශාලාවක්, සිර කුටි හා වෙඩි බෙහෙත් ගබඩා ද දක්නට ලැබෙන අතර, බළකොටුව මධ්‍යයේ යුද පුහුණු කිරීම් සඳහා සකස් කරන ලද පිට්ටනියක් ද දක්නට ලැබේ. මෙම බළකොටුව යටින් උමං මාර්ගයක් පැවතී ඇති අතර, එය අසල තිබූ දේවස්ථානයටත් හැමිල්ටන් ඇළ දක්වාත් විහිදී ඇතැයි විශ්වාස කරයි. හැමිල්ටන් ඇළ ඔස්සේ ගෙන ආ ගෙන ආයුධ, උපකරණ හා භාණ්ඩ එම උමං මාර්ගය ඔස්සේ හොර රහසේ බළකොටුව වෙත ගෙන එන්නට ඇතැයි විශ්වාස කරයි.
18 වැනි සියවස අවසානය වන විට ඉන්දියන් සාගරයේ බලය ලන්දේසීන්ගෙන් ගිලිහී ඉංග්‍රීසින් අතට පත්වීමත් සමඟ මෙම බළකොටුව ද ඉංග්‍රීසීන් වෙත ගිවිසුම් ප්‍රකාරව පවරා දෙන ලදි. වර්තමානයේ මෙම බළකොටුව කල්පිටිය නාවික හමුදා කඳවුර යටතේ පවතින අතර, දැන් දැන් එහි බොහෝ නිර්මාණ ශීඝ්‍රයෙන් විනාශ වී යෑමේ තර්ජනයට මුහුණදී තිබේ.
ලක්නා නිරෝෂිමාලා