දෙවැටේ පිපුණු කෝපි මල් පළාතම සුවඳවත් කරයි. අගල අද්දර නාගසේ ද මල් පිපී කෝපි මල් සුවඳ සමඟ මුසු වී ඇත.
නා මලේ සුවඳටත්, කෝපි මල් සුවඳටත් එක්වන බඹරු හා මී මැස්සන් කරන ගායනය විශේෂ ය.
කළු කපා යන එළියෙන් අපි තොටුපොළට ගොස් මුහුණ කට සෝදාගෙන ආවෙමු.
“මඟුල් ගෙදර යන්න වෙන්න ඇති. තාම බිම් කළුවර මැකිලත් නෑ. හදිසි මේ දෙන්නට නේ.” ආත්තම්මා කීවා ය.
“පුතේ….අපි යමු ටිකක් දවල් වෙන්න. අද අම්ම නොගියට අප්පච්චි යනවනේ.”
“මම නම් යනව තමයි. ළමයින් ඒක මතක තියා ගන්නවා හොඳයි. යාළුවොත් ඒවි සමහර විට. එහෙම වුණාට දඟලන්න නටන්න. සෙල්ලම් කරන්න බෑ” අප්පච්චි කීවේ ය.
ඔය තියෙන තියෙන කැවිලි ජාති ඔක්කොම කන්න
ඕනෙත් නෑ. තමන්ට ඇති තරමට බෙදා ගන්න.” අම්මා ද උපදෙස් දුන්නා ය.
වැඩිහිටියන්ගේ සියලුම නීති අපි පිළිගතිමු. හිරු එළියේ රස්නය වැඩි වන්නට පෙරාතුව අපි මඟුල් ගෙදරට යෑමට සූදානම් වුණෙමු.
ඒ අතර සුගතේ දුවගෙන ආවේ ය.
“ඒයි…කංචු. ඔයා ගෙදරද?”
“නෑ මඟුල් ගෙදරට යන්න සූදානම් වෙනවා. ඔයාලා යන්නෙ නැද්ද?”
“යනවා…..යනවා…….මං ආවෙ ඔයාගෙන් කලිසමට බඳින්න පටියක් ඉල්ලා ගන්න. මට පටියක් නෑ කංචු”
“මට තියෙන්නෙත් එක පටියයි. ඒක මට එපා ය”
මම කිව්වෙමි.
“කමක් නෑ. මං මොනව හරි කරගන්නම් කො” කියමින් සුගතේ ආපසු දිව ගියේ ය.
“මොකද යාළුවේ ආවෙ?” අප්පච්චි ඇසුවේ ය.
“කලිසමට බඳින්න පටියක් තියෙනවද බලන්නයි ආවෙ”
“ඉතින් දුන්න ද?”
“මගේ පටිය එයාට දුන්නම මං මොකද්ද බැඳන් යන්නෙ.”
මම කිව්වෙමි.
අප්පච්චීත්, ආත්තම්මාත්, මල්ලිත්, මමත් මඟුල් ගෙදර ගියෙමු. අප එහි යන විට කරුණෙත්, විමලෙත් තම තමන්ගේ වැඩිහිටියන් සමඟ පැමිණ සිටියහ.
“අන්න කට්ටිය ආවා. කෝ අපේ මනමාලි?” කියමින් ජානිස් ආතා කලබලයෙන් එහෙට මෙහෙට දුවයි.
“ආ…..දුව…..අන්න අම්ම තාත්ත, නෑයොත් ඇවිල්ලා. එන්න එන්න” ආත්තම්මා අලුත් මනාලියට කතා කළා ය.
සිනා පිරි මුවින් එළියට පැමිණි ඇය වැඩිහිටියන්ට
වැන්දා ය.
එයින් පසු ඔවුහු ආ ගිය කතාබහ හා පවුලේ ඇති නැති වත් පොහොසත්කම් ගෙන හැර දක්වමින් සිටියහ.
ඒ ඇසිල්ලේ මමත්, විමලෙත් මිදුලට පැන ගතිමු. පොල් අතු වියා සරසා ඇති මඟුල්මඬුව බඩල් හනස්සවලින්
අලංකාරකර ඇති අපූරුව හරිම ලස්සනයි.
මුලින්ම අපි මිදුල වටේ ඇවිද්දෙමු. පාට පාට කොළවලින් සමහර තැන් ලස්සනකර ඇත. මනමාලිගේ පැත්තෙන් පැමිණි අය අතර, අපේ වයසේ ළමයෙක් සිටියේ ය. අප මිදුලේ ඇවිදිනවා දුටු ඔහු කිහිප වරක්ම අප දෙස බැලුවේ ය. සුගතේ ඔහුට අත වැනුවේ ය.
ඒ හා සමඟම ඔහු අප හඳුන්නේ නැතත් අප වෙත දුවගෙන
ආවේ ය.
“අයියලා මොකද මට කතා කළේ?”
“අපි කතා කළේ ඔයා අපේ යහළුවෙක් කර ගන්න”
“අර අයත් එක්ක ඉඳගෙන ඉඳලා මට එපා වෙලා…”
“අපටත් එහෙම තමයි මල්ලි. අපි ටිකක් ඇවිදලා බලමු ද?”
“මාව හොයාවි. අර…………අර…………
අපේ සුදු ආච්චි එළියට ඇවිදින් බලනවා” ඔහු කීවේ ය.
“ආ ……….මගේ පුතාට යාළුවො කට්ටියක්ම මුණගැහිලානේ…” ඇය කීවා ය.
“ආ………..ඔය අපේ විදානෙ මහත්තයගේ පුත්තරයගෙ හිත මිතුරෝ ටික නේ. දරුවට පාළු ඇති. ඔහෙ හිටපුවා වෙ.”
අපේ පොඩි මාමා කියනු ඇසුණි.
එයින් පසු ඇය ගෙතුළට ගියා ය. අපි එළියේ පුටුවක ඉඳගෙන එක් එක් අයගේ ඇඳුම් කැඩුම්වල හැඩ, එන යන අය කවුද බලමින් සිටියෙමු. වරින්වර බීම හා මුංකැරලි ද
කෙසෙල් ගෙඩි ද බන්දේසියක තබා ගෙන එන විට අපි එපා නොකියා ඒවා කෑවෙමු.
“මල්ලි ඔයාගෙ නම අහන්න බැරි වුණා නේ”
“මගේ නම දයාරත්න, කවුරුත් මට කියන්නෙ රත්නෙ කියලා”
“මනමාලි ඔයාගෙ කවුද මල්ලි?”
“මනමාලි අපේ අම්මගෙ නංගි. අපේ පුංචි අම්මා. මම නම් කියන්නෙ පුංචි කියලා”
“ඔයාලා ඉන්නෙත් ඒ ගෙදරම ද?”
“අපෝ නෑ… අපේ ගම මහලපිටිය. ඒක හරි ලස්සන ගමක් අයියා. අපේ ගමට යන්නත් වාහන නෑ. ගුරුන් මාමගෙ බරබාගෙයි. ජයතුවාගේ කරත්තෙයි විතරයි වාහන කියලා තියෙන්නෙ….”
“අනේ අපේ ගමේ එහෙමවත් වාහන නෑ රත්නෙ මල්ලි. ගඟෙන් එතෙර වෙන්න නම් පාරු තියෙනවා. සුද්ද හදාපු වැල්පාලම තියෙනවා. නැත්නම් පයින්ම තමා. අපි ඉස්කෝලෙ යන්නෙත් පයින්.”
“මෙහේ පන්සලක් තියෙනවද?”
“තියෙනවා. මෙතෙන ඉඳලා ටිකක් දුරයි.”
මම කීමි.
“අපටත් පන්සලක් තියෙනවා. ඒක නම් තියෙන්නෙ නාගස්කන්ද මුදුනෙ. අපේ පන්සලට මං සුදු ආච්චිත් එක්ක යනවා. එතැනට ගියාම පහළ තියෙන ගේ දොර වතුපිටි සේරෝම පේනවා. කුඹුරුයාය එහෙම හරි ලස්සනයි.”
“මේ පැත්තෙ රබර් තියෙනවද?”
“ඔව්, ඔව්! යායක්ම තියෙනවා. හැබැයි අපේ මුත්තණ්ඩිගෙ”
“කාරි නෑ. කාගෙ වුණත්. ඔයාලා දන්නව ද ඔට්ටපාලු බෝල හදන්න ?”
“අපි දන්නවා කදුරු කරුවෙ ගැට ගහලා කැටපෝල හදන්න. බෝල නම් හදන්න දන්නේ නෑ.”
“මාත් දන්නවා. අපි නම් ගන්නෙ පේර අත්තක කරුවක්. ඔට්ට පාලු බෝල හදනවා. මං අයියලාට කියල දෙන්නම්කො.”
“රත්නෙ මල්ලි අපටත් කියල දෙන්නකො” මම කීවෙමි.
“කොහෙද රබර් තියෙන්නෙ ?”
“මේ ළඟත් තියෙනව කාගෙද නම් දන්නෙ නෑ”
“කාගෙ වුණාම මොකද අයියා. කවුරුත් ඇහුවොත් කියමු රබර් ඇට ඇහිඳින්න ආවා කියලා.”
“ඉතින් මොනාද කරන්නෙ..?”
“ගලවමු කැපුම් කට්ට. හීන් ඔට්ටපාලු ඒවා තමයි.”
“එහෙනම් යමු.”
වට පිට බලමින් මිදුලට වී සිටි අප ගැන වැඩිහිටියන්ගේ අවධානය අඩු විය. නිරතුරුව ම සෙනඟ ගැවසුණු නිසා අප ගැන සෙවීමට උනන්දු වීමක් ද නොවුණි.
අපි හතර දෙනාත්, රත්නෙ මල්ලිත් එකතුව මඟුල් ගෙදර වත්ත පහළට ආවෙමු. එතන මායිමේ කුඩා දිය ඇල්ලක්
ගලා බසී. එයට පුවක් කොට කැබලි දෙකක් දමා ඒදණ්ඩක් සාදා තිබිණි. එයින් එතෙර වූ පසු රබර් වත්තක් ය.
අපි රබර් ඇට තුන හතරක් අහුලා සාක්කු පුරවා ගතිමු.
ඒ අපේ ගැලවීමට බව රත්නෙ මල්ලී අපට කියා දුන්නේ ය. රබර් ගස්වල කිරි බේරී මිදුණු කැපුම් කට්ටය කිසි
කරදරයක් නැතුව ගලවා ගතිමු. ඒ ඔට්ටපාලු ටිකත්
අරගත් අපි ඒදණ්ඩෙන් ඇවිත් මෙතෙරව ගසක් යට
නතර වුණෙමු. රබර් ඇටයක් මැදිකර එය ඔතා බෝලයක් කරන හැටි රත්නෙ මල්ලි අපට කියා දුන්නේ ය.
අප නතර වී ඇත්තේ ගෙඩි ඉදුණු ඩොංකා ගසක් යට බව පෙනුණු හෙයින් ළඟ තිබූ වැටකින් පොලු කෑලි කඩා ගසට පොලු ගැසුවෙමු.
රත්නා කහඳගමගේ