Home » Blog »  උපන්දින තෑග්ග

 උපන්දින තෑග්ග

by thanushika
0 comments

නේහාගේ දහවැනි උපන්දිනයට ඇයට හා පැටවකු ගෙනත් දීමට ඇගේ පියා පොරොන්දු වී තිබිණි. නේහාට නොදැනෙන පරිදි හා පැටවකු ගෙනැවිත් උඩ තට්ටුවේ සඟවා තැබීමට ඇගේ පියා කටයුතු කළේ ය. පෙට්ටියක් ඇතුළේ හා පැටවා දමා ඌට හුස්ම ගැනීමට හැකි පරිදි කුඩා සිදුරු සාදා සුව පහසුව ලබා දීමට ඔහු අමතක නොකළේ ය. රහසිගතව උඩු මහලට ගොස් හා පැටවාට අවශ්‍ය කෑම බීම ලබාදී තම දියණියගේ උපන්දිනය තෙක් මෙය රහසක් ව පවත්වා ගෙන යෑමට මවත් පියාත් උපක්‍රමශීලිව කටයුතු කළහ.

“අම්මේ….අම්මේ තාත්තී මට හා පැටවෙක් ගෙනත් දෙයි නේද?”

බලාපොරොත්තු වූ දෙනෙතින් යුතුව මවට ඇවිටිලි කරමින් නේහා, මවගේ අතේ එල්ලෙමින් ඇසුවා ය. මවගේ මුවගට සිනහවක් නැඟුණේ ඉබේටම ය. දැනටමත් තම දියණියගේ සිහිනය ඉටු වී ඇති බව නොකියා පවසන ඒ සිනහව නේහාට ගෙනදුන්නේ පුදුමයකි.

“ඇයි හිනාවෙන්නෙ? ” නේහා යළිත් මවගේ අතේ එල්ලෙන්නට විය. ටික දවසක් තිස්සේ නේහාගේ සිතේ රැ¼දි බලාපොරොත්තුව උපන්දිනය ලබන දවසට මවගේත් පියාගෙත් උත්සාහය විය. නේහාගේ මවට එක්වරම සිහි වූයේ උඩු මහලේ වසා තබා ඇති කාමරයෙහි සඟවා ඇති නේහාගේ උපන්දින තෑග්ග ගැන ය.

“මොනවා කරගෙනද දන්නේ නෑ. මෙලෙහකට රෙක්ස් උඩට ගිහින් ඉව අල්ලනවද දන්නෙත් නෑ.” ඈ තනිව සිතුවා ය. රෙක්ස් යනු නිවෙසේ හැම දෙනාගේම ආදරය දිනාගත් සුරතලයට ඇති කරන බල්ලෙකි. සාමාන්‍ය බල්ලකුට වඩා සිරුරෙන් තරමක් විශාල වූ රෙක්ස් නිතර පාහේ කාගේත් ආදරය සොයයි. නේහා පාසල් ඇරී නිවෙසට එනතුරු මඟ බලා සිටීම රෙක්ස්ගේ දින චර්යාවේ එක් කොටසකි. සහෝදර සහෝදරියන් කිසිත් නැති නේහා සවස් වරුවේ පැය කිහිපයක් රෙක්ස් සමඟ විනෝදයෙන් සෙල්ලම් කරයි. නිවෙස ඇතුළේත් එයින් පිටතටත් නේහා යන එන හැමතැනකමත් ඇයට පිටුපසින් යෑම රෙක්ස් ප්‍රිය කළ දෙයකි. මේ දෙදෙනා අතරට තවත් අයකු පැමිණීම ගැටලුවකට කරුණක් විය හැකි බව නේහාගේ මවත් පියත් නිතර සිතුව ද පවුලේ එකම දියණියගේ ඉල්ලීම ඉවත නොදැමිය හැකි නිසා මව හා පියා ඒ ඉල්ලීමට සවන් දුන්හ.

නේහාගේ උපන්දිනය උදා විය. ඇය වෙනදාටත් වඩා උදෑසනින් අවදිව සාලය වෙත දිවවිත් මෙසේ කෑගැසුවේ ඉමහත් සතුටිනි.

“අනේ තාත්ති කෝ මගේ උපන්දින තැග්ග?”

” ඔයා වේලාසනින් ඇහැරිලනේ.අපි හිතුවේ තාම

නිදි ඇති කියලා ”

දෙදෙනාගේම කතාව අතරතුර කාඩ්බෝඩ් පෙට්ටියකුත් රැගෙන මව උඩතට්ටුවේ සිට පහළට එන්නට වූවා ය.

“මේ මොකක්ද මේ?” නේහා කෑගැසුවේ කුතුහලයෙන් යුතුව ය.

” ඇරලා බලන්නකෝ කවුද ඇතුළේ ඉන්නේ කියලා.” මව කිව්වා ය.

මවත් පියාත් ලබාදුන් කාඩ්බෝඩ් පෙට්ටිය මේසය මත තැබූ ඇය ඉවසිල්ලක් නැතිව ම එය විවෘත කළාය.

ඒ ඇතුළත වූ දසුන දැක ඇයට ඉබේටම කෑගැසුණි.

“අනේ ලස්සන……හුරේ හුරේ….මේක තමයි මට ලැබුණු හොඳම තැග්ග. මට හිතාගන්නවත් බෑ.”

සතුට දරාගැනීමට නොහැකිව හා පැටවා තුරුළු කරගනිමින් ඇය වේගයෙන් ගේ වටේට දිව ගියාය. උපන්දින තෑග්ග ලබා දීම පිළිබඳ මවටවත් පියාටවත් ස්තුති කිරීමට ඇයට අමතක විය. තම දියණිය වෙනදාට වඩා සතුටින් ඉපිලෙන අයුරු දැකීමෙන් නේහාගේ මව ද පියා ද සතුටු වූහ.

දිනෙන් දින හා පැටවාත් නේහාත් අතර ළෙන්ගතු මිතුදමක් වැඩෙන්නට විය. ඇය පාඩම් කරන විට පොත් මේසය ළඟත්,සෙල්ලම් කරන හැම තැනකමත් නිතර ඌ ගැවසේ. වෙනදා නම් ඇය පාඩම් කරන පොත් මේසය ළඟට වී ඉඳහිටක දෙපා ලෙව කෑවේ ඇගේ සුරතල් රෙක්ස් ය. හා පැටවා නිවෙසට පැමිණි දා සිට ඇයට බලු පැටවා අමතක විය. දැන් ඇයගේ මුළු ලෝකයම සුරතල් හා පැටවා ය.

“දෝණි මොකද මේ රෙක්ස් කෙඳිරිගාන්නේ….අද ඔයාව හොයාගෙන එයා ආවේ නැද්ද?” අම්මා ඇසුවා ය.

“නෑ ආවේ නෑ…”නේහා එයට පිළිතුරු දුන්නේ ඕනෑවට එපාවට ය.

නේහාගේ මේ වෙනස්වීම දිනෙන් දින රෙක්ස්ට දැනෙන්නට විය. නේහාට වඩා වයස අවුරුදු තුනක් පමණ බාල වියේ පසු වූ අසල්වැසි නිවෙසක ගැහැනු දරුවකු සමඟ සවස් යාමයේ සෙල්ලම් කිරීමට නේහා පුරුදු වී සිටිය ද දැන් දැන් එය ද මඟහැරි ගොස් ය. ඉමායා නම් වූ ඇගේ කොණ්ඩය තඹ පාට ය. සිනාසෙන විට කම්මුල් වළ ගැසෙයි. බොහෝ විට ඇය සුහද ය. වත්ත පුරා දුවමින් සමනලුන් හා පුංචි කුරුලු පැටවුන් පිළිබඳ සොයා බැලීමට දෙදෙනාම පුරුදු වී සිටිය ද දැන් ඒ සියල්ලක්ම අවසන් ය. දිනක් ඉමායා, නේහා සොයාගෙන පැමිණියා ය.

“අක්කේ එන්නකෝ සෙල්ලම් කරන්න යන්න. අද නම් එන්නම ඕන. මීට ඉහත “හරි යමු” කියමින් දුවගෙන එන නේහා අද දුන් පිළිතුර හමුවේ සිඟිති ඉමායාගේ සංවේදී සිත රිදෙන්නට විය.

“අනේ මට බෑ. ඔයා ගිහින් තනියම සෙල්ලම් කරන්න. මට මගේ හා පුංචා දාලා එන්න බෑ.”ආපසු යන්නට හැරුණු ඉමායාට එකවරම පෙනුණේ මිදුලේ කොනක වාඩි වි තමා දෙස ඕනෑකමින් බලා සිටින රෙක්ස් ය.

“නේහා ඇවිත් තේ බොන්න” ඇය තේ කෝප්පය එක් අතකට ගෙන ජනේලය අසලට ගියා ය. ඇගේ අනෙක් අතේ තම උණුසුමට රැ¼දී සිටින හා පැටවා ය. ජනේලයෙන් එපිට කවුරුන් හෝ යාන්තමට මුමුණන හඬ ඇසී ඇය විපරමින් කන් දුන්නා ය.

“කවුරුත් එන්නෙ නෑ සෙල්ලම් කරන්න. හුඟක් දුක හිතුණද ? ඔයාට මම ඉන්නවා. එන්න යමු අපේ ගෙදර. ගිහින් අපි සෙල්ලම් කරමු.” ඉමායා, බලු පැටියාට එසේ පවසනු නේහාට ඇසුණි.

රොහන්සා නිසලනී

12 ශ්‍රේණිය

බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලය

වේයන්ගොඩ


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department