Home » Blog » ළමා දිනය දා සිංහ බබාලාට තෑග්ගක්.

ළමා දිනය දා සිංහ බබාලාට තෑග්ගක්.

by thanushika
0 comments

මෙවර ලෝක ළමා දිනයේ කාටත් සතුටු සිතෙන අපූරුවතම සිද්ධියක් වාර්තා වුණේ පින්නවල එළිමහන් සත්ත්ව උද්‍යානයෙන්. මේ සත්ත්ව උද්‍යානයේ පුංචි දරුවන්ගේ ආදරය, කරුණාව දිනාගත් සුරතලුන් වුණේ මාස පහක් තරම් වයස සිංහ පැටවුන් තිදෙනයි.

මේ පැටවු තිදෙනා පින්නවලට ලැබුණේ හම්බන්තොට සෆාරි උද්‍යානයෙන්. මීරා කියන සිංහ ධේනුවගේ පැටවු තිදෙනෙක් වූ මේ සුරතලුන් පින්නවලට රැගෙන එන්නේ ඇය මේ පැටවු තිදෙනා දිගින් දිගටම ප්‍රතික්ෂේප කළ නිසයි.

පින්නවල එළිමහන් සත්ත්ව උද්‍යානයට රැගෙන ඒමෙන් පසුව ඉතා සතුටින් හැදී වැඩුණු මේ පැටවු දැන් මාස පහක් පමණ බව සත්වෝද්‍යානයේ නිලධාරින් හා සේවකයන් පවසන්නේ මහත් සතුටිනි. මේ පැටවු තිදෙනා ඉතා ආදරයෙන් රැක බලා ගන්නේ චමිලා දීපානි, නිමාලි මේනකා සහ ඉඳුමිණ දිල්ෂාන් ය. මෙම සත්වෝද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මිහිරාන් මැදවල, පශු වෛද්‍ය මලිත් ලියනගේ ඇතුළු කාර්යය මණ්ඩලය තමයි මේ පැටවුන් රැක බලා ගැනීම පිළිබඳ සොයා බැලීම සිදු කරන්නේ.

සත්ත්ව උද්‍යානය නැරැඹුමට එන දරුවන්ගේ වගේම මෙහි සේවය කරන සැමදෙනාගේම ආදර රැකවරණය මැද වැඩුණු මේ සිංහ බබාලා තිදෙනා ඇගයීමට ලක් කරමින් ඔවුන්ට නම් තැබීම සිදු වුණා. මේ තිදෙනාට තැබූ නම් තුන තමයි පාරෝ, ඩූමා සහ සියෝන්. මෙම නම් තැබීම සිදු කළේ මීට මාසයකට පෙර පින්නවල සත්වෝද්‍යානයේ ෆේස්බුක් පිටුවේ පළ කළ දැන්වීමකට අනුව පැවැත්වූ තරගයකින් තෝරාගත් ජයග්‍රාහකයන් තිදෙනකුගෙනි. මේ සඳහා 280කට වැඩි පිරිසක් නම් තුන බැගින් ඉදිරිපත්කර තිබූ අතර, ඒ අතරින් තිදෙනකුගේ නම් තෝරා ගැනීම සිදුවිය. ඔබත් පින්නවල සත්ත්ව උද්‍යානය නැරැඹුමට ගියොත් මේ පුංචි සිංහ බබාලා බලන්න අමතක කරන්න එපා.

දුමින්ද කාරියවසම්

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department