ආදරණීය දුවේ පුතේ, ඔන්න අද දවසේ ‘උරුමයක වගතුග’ ලිපියෙන් මම ඔයාලට කියා දෙන්න සූදානම් වෙන්නේ ඓතිහාසික වශයෙන් වැදගත්කමක් උසුලන මැණික්කඩවර බළකොටුව පිළිබඳවයි.
පෘතුගීසි යුගයේ ඉදිකර ඇති මෙම මැණික්කඩවර බළකොටුව 1598දී පෘතුගීසි ජනරාල්වරයකු වූ ජෙරනිමෝ ද අසවේදු විසින් ඉදිකරන ලදැයි සලකයි. පෘතුගීසි සොල්දාදුවන්ගේ ශ්‍රමය උපයෝගි කොටගෙන මෙම බළකොටුව මාස හතරක් වැනි කෙටි කාලයකදී ඉදිකර ඇති අතර, සොල්දාදුවන් 400කට ආසන්න පිරිසක් රඳවා තබා ගැනීමේ හැකියාව තිබී ඇත. ජෙරනිමෝ ද අසවේදු විසින් මහනුවර රාජධානියේ පළමුවැනි විමලධර්මසූරිය රජතුමාට එරෙහිව කළ සටනේදී මෙම බළකොටුව භාවිතකර ඇත.
මෙම මැණික්කඩවර බළකොටුව පිළිබඳ ගවේෂණය සිදු කරනු ලබන එච්. සී.පී. බෙල් මහතා සඳහන්කර තිබුණේ පළමු හා විශාල කඳවුර පිහිටා තිබුණේ මැණික්කඩවර නොව යාබද හොලම්බුව ගම්මානයේ බවයි. අඩි 242ක් පළල සහ අඩි 231ක් දිග පැතලි මතුපිටක් සහිත විශාල වටකුරු පස් කන්දක් මත ගඩොල් විශාල ප්‍රමාණයක් විසිරී තිබෙන බව ඔහු පෙන්වා දෙයි. මෙම බළකොටුව මධ්‍යයේ අඩි 58ක් හා අඩි 45 ක් දිග හා පළල ගඩොල් ගොඩනැඟිල්ලක් තිබී ඇති අතර, එය කාමර 6කට බෙදා තිබී ඇත. බෙල් මහතා සඳහන් කරන්නේ මේ වනවිට මැණික්කඩවර බළකොටුව ක්‍රියාත්මක නොවුණු බවයි. පසුව මෙම හොලම්බුව බළකොටුව සඳහා මැණික් කඩවර යන නම භාවිත කරන්නට ඇතැයි විශ්වාස කරයි. ලන්දේසින් විසින් තුන්තොට බළකොටුව යනුවෙන් හඳුන්වා ඇත්තේ ද මෙම බළකොටුවයි. ඊ.කේ. හේමතිලක බණ්ඩාරයන් ප්‍රකාශ කරන්නේ මෙම බළකොටුව ගම්පොළ සිට කැලණිය දක්වා වූ රජ මාවතේ තුන්තොට තුන්මෝදර අසල ගොඩනඟා තිබූ බවයි. වර්තමානයේ එය දැදිගමට සැතපුම් දෙකක් පමණ ඔබ්බෙන් පිහිටා තිබේ.
මැණික්කඩවර බළකොටුව ශ්‍රී ලංකාවේ ඉදිකර ඇති එකම පැති හතරේ තරු හැඩයේ බළකොටුව වේ. එය යුරෝපීය හා ශ්‍රී ලාංකේය සම්ප්‍රදායන් සංකලනයෙන් ගොඩනඟා ඇති අතර, අනෙක් බළකොටුවල කොන්වල ඇති මුර අට්ටාල වෙනුවට මෙහි ඇත්තේ හතරැස් බැමි ය. මෙම චතුරස්රාකාර කොටුව මැද ඇති ගොඩනැඟිල්ලට පිරමීඩ වහළයක් තිබී ඇති අතර, බිම් මහල හා පළමු මහල බරාඳයකින් වට වී තිබෙන්නට ඇතැයි ද විශ්වාස කරයි.
එහි මුර ස්ථාන හතරකි. බළකොටුවේ පවුර ගුරුගොඩ ඔයේ සිට අඩි හතක් පමණ උසින් පිහිටා ඇති අතර, එය තුන්තොට ඔයේ සිට අඩි පහක් හයක් පමණ දුරින් පිහිටා ඇත. එහි මධ්‍යයේ දෝනාවකි. තුන්තොට ඔය මධ්‍යයේ ඇති පර්වතයක අඩි පහක් පමණ ප්‍රමාණයේ සිදුරු දෙකක් දක්නට ලැබෙන අතර, එම සිදුරු භාවිතකර ගල්කණු දෙකක් මත දැව පාලමක් ඉදිකර තිබුණු බව සාධක ඇත. එහි සිට බළකොටුවේ පවුරට යන මාර්ගයේ විශාල ගල් පුවරු තැනින් තැන සවිකර ඇති අතර, ඒවා අඩි නවයක් දහයක් දිග වන අතර, අඩි හතරක් පහක් පමණ පළල වේ. මෙහි තිබී විශාල කාලතුවක්කුවක් ගුරුගොඩ ඔයට දමා ඇති බවත් වැසි අඩු කාලයට එය මතුවන බවත් ප්‍රදේශවාසීහු ප්‍රකාශ කරති. පසුකාලීනව මෙය ශ්‍රී ලංකාවේ තිබූ බළකොටුවකට වඩා යුද පුහුණු පාසලක් බවට පත්ව ඇත.
ලක්නා නිරෝෂිමාලා