ඉර බැසයන සවසට දුන්යාගේ ගේ ඉදිරිපස පාට පාටින් හෙන්දිරික්කා මල් හිනාවෙනවා. බැහැගෙන යන හිරුගේ රැස් පොල් අත්තකට වැටිලා පැහැදිලි නැති හෙවණැල්ලක් මැවී තිබුණා. යන්තම් හැමූ හුළඟකට පොල් අත්ත එහා මෙහා වන විදිහටම හෙවණැල්ලත් හෙළවුණා. අමා කියන්නේ දුන්යාගේ හොඳම යෙහෙළිය. දෙදෙනාම ඉගෙන ගත්තේ එකම පාසලේ එකම පන්තියේ. මේ දෙදෙනාගේ ගෙවල් දෙක වෙන් වුණේ උස තාප්පයකින්. තාප්පයක් ගහලා මායිම් වෙන් කරන්න තරම් වත්කමක් දුන්යගේ මව්පියන්ට තිබුණේ නැ. දුන්යාගේ තාත්තා කුළි වැඩ කරලා හම්බවුණු මුදලින් එදා වේල පිරිමහ ගත්තෙත් හරිම අමාරුවෙන්. අමාගේ මව්පියන් දෙදෙනාම රාජ්‍ය සේවකයින්. පවුලේ එකම දරුවා වූ ඇය කිසිදු අඩුපාඩුවක් නොදැනෙන සැපවත් ජීවිතයක් ගත කළා.
හැමදාම හැන්දෑවට අමාව හොයාගෙන දුන්යා යන්නේ සෙල්ලම් කරන්න. එදා විශේෂ දවසක්. අමාගේ අතේ ලස්සන බෝනික්කෙක්.
“ඔයා දන්නවද මෙයා නිදාගෙන හිටියේ මම ඉස්කෝලේ ඇරිලා එනකල්ම. හුඟාක් වෙලා නිදා ගත්තලු, අපේ අම්මා තමා මට කිව්වේ. මට ආසයි එයාව නාවන්න.”
අමා කියාගෙන ගියේ හරිම ආසාවෙන්.
ඇගේ ඇස්වල සතුට පිරිලා. බෝනික්කාව අතට ගන්න තෙක් දුන්යාට ඉවසුමක් නැ.බෝනික්කාගේ රෝස පාට කම්මුල් අතගාන්න ඇයට හිතුණා. උකුලේ තියාගෙන නළවන්න,බෝනික්කට සිංදු කියන්න, මේ හැමදේම කරන්න අමාගේ පුංචි හිතේ ලොකු ආසාවක් තිබුණා.
“අපි එයාව සබන් ගාල නාවමු. ඊට පස්සේ එයත් එක්ක සෙල්ලම් කරමු.”
මෙහෙම කියාගෙනම දුන්යා අමාගේ අතේ සිටි බෝනික්කා තමන්ගේ අතට ගන්න සූදානම් වුණා.
“අල්ලන්න එපා මගේ බෝනික්කාව. එයා මගේ. ඔයාගේ නෙවෙයි.”
අමා බෝනික්කාව ගෙන පැත්තකට ගියේ කෝපයෙන්.
සිදු වූයේ කුමක්දැයි සිතාගත නොහැකිව දුන්යා බලාගෙන හිටියා. බලාපොරොත්තු සුන් වූ ඇගේ දෙනෙත් හැඬුම්බර වුණා.
“මම ඔයත් එක්ක තරහයි”
දුන්යා තම නිවෙසට යන්නට හැරුණා. ඇගේ ඉකි බිඳුම් හඩ ඇසුණ ද අමා ඇයව නවත්තන්නට සිතුවේ නැහැ.
නිවෙසට ගිය දුන්යා ගල් පඩිපෙළේ හිඳ හඬමින් කල්පනාවකට වැටුණේ ඉබේටම වගේ.
“ඒ බෝනික්කාගේ ලස්සන. නිල් පාට ඇස්,රෝස කම්මුල්. ඒ තරම් ලස්සන බෝනික්කෙක් මම මීට කලින් දැකලා නෑ.”
පසුවදා දෙන්නම පාසල් යන්නට වූ මොහොතේ දී අමා දුන්යා සමඟවත් දුන්යා අමා සමඟවත් කතා කළේ නෑ.
“මොකෝ අද දෙන්න කතා නැත්තේ? ”
අමාගේ මව එසේ ඇසුවත් පිළිතුරු දෙනවා වෙනුවට දෙදෙනාම නිහඬව හිටියා.
” රණ්ඩුවක් වෙලා වගේ. වෙනදාට දෙන්නට දෙන්නා නැතුව බෑනේ.”අමාගේ මව එලෙස කිව්වේ නැවත වරක් දෙදෙනාගේම මුහුණු දිහා බලමිනි.
“පොඩි ඈයෝ තරහ වුණාට විනාඩියයි දෙකයි. ඕවට අපි නම් නෑ. ඔයාලට ඕන වෙලාවක යාළු වෙන්නකෝ.”
සිදු වූ සියල්ල දුන්යා මව සමඟ පවසා තිබුණද ඈ, ඒ පිළිබඳ අමාගේ මව සමඟ කතා කරන්නට ගියේ නැත. දින කිහිපයක් ගත වුවද දුන්යා, අමා සමඟ සෙල්ලම් කිරීමට ගියේ නැත. ඈට මහත් පාළුවක් දැනුණි. ඈ දුන්යා ගැන සොයා බැලීමට තාප්පය අසලට වී සිටියේ දුන්යා වෙනදා මෙන් ඈ සොයාගෙන ඒවී යන බලාපොරත්තුවෙනි. මේ අතර ඇයට දුන්යාගේ කටහඬ ඇසී ඈ විමසිලිමත් වූවා ය.
“ඒ ඇඳුම ඔයාට ලස්සනයි. මේ මම පුංචි කාලේ ඇඳපු ගවුමක්. දන්නවද මේ යටින් අල්ලලා තියෙන රෝස පාට රේන්දෙට මම හරි ආසයි.
අපි අම්මට කියලා තොප්පියක් මස්සවා ගමු.එහෙම නැත්තම් අපි කුරුම්බැට්ටි මැෂිමෙන් තොප්පියක් මහමු.”
“කා එක්කද දුන්යා කතා කරන්නේ. මේ තාප්පෙ මට වඩා උස හින්දා පෙන්නේත් නෑනේ.” මෙලෙස සිතමින් අමා දුන්‍යාගෙ හඬට යළිත් සවන් දුන්නා.
“මම ආයෙත් නම් අමාගේ ගෙදර යන්නේ නෑ.එයාගේ බෝනික්කාව මට පොඩ්ඩක්වත් අල්ලන්න දුන්නේ නෑ නේ. මම දැන් එයත් එක්ක කතා කරන්නේ නෑ.ඔව් ඇත්තමයි. මම අදත් ඉස්කෝලේ දී එයත් එක්ක කතා කළේ නෑ. ආයේ….ආයේ… කවදාවත් කතා කරන්නේ නෑ. මීට පස්සේ මගේ හොඳම යාළුවා ඔයා.ඔයාගේ හොඳම යාළුවා මම. එහෙම හොඳයි. අපි යමු මල් පැළවලට වතුර දාන්න. මම අද උදේ දැක්කා දාස්පෙතියා ගහේ ලොකු මල් පිපිලා.”
මේ කතාබහ කා සමඟ සිදුවෙනවා දැයි දැනගැනීමට අමා බොහෝ වේලාවක් තාප්පය අසල රැ¼දී සිටියා. උස තාප්පයේ පහළ සිට ඉහළටත් ඉහළ සිට පහළටත් ඇගේ ඇස් ගමන් කළේ කුතුහලයෙන් යුතුවයි. මෙපමණ උසට මේ තාප්පය බැන්දේ ඇයි දැයි ඇය තනිව සිතුවාය.
“අමාට හමු වූ යාළුවා කවුද? අපේ පන්තියේ සාරධා වත් ද,නැත්තම් නෙතුලිද ? කටහඬ ටිකකට ඇහුණා නම් කවුද කියලා හරියටම අඳුරගන්න තිබ්බා. ඇයි එයා කතා කරන්නේ නැත්තේ?”
දැන් අමාට එයාගේ බෝනික්කා ගැන මතකයක්වත් නැත. දුන්නයාගේ අලුත් යාළුවා කවුදැයි දැනගන්නා තෙක් ඇය කුතුහලයෙන් පසුවෙයි.තොරතුරක් දැනගැනීමට නොහැකි වූ විට අමා ඒ පිළිබද තම මවගෙන් විමසුවා.
“සමහර ළමයින්ට කතා කරන්න බෑ නේ පුතේ. ඒ එයාලගේ නෑදෑ ළමයෙක් වෙන්න ඇති. ඔයාට ඕක දැනගන්නම ඕන නම් අද හවසට ගිහින් අපි දුන්යා ගෙන්ම අහලා බලමු.
එදින සවස අමා තම මව සමඟ දුන්යාගේ නිවෙසට යනවිට දුන්යාගේ මව පලා මිටියක් තෝරමින් සිටියා. දුන්යා ද පාඩම් කරමින් සිටියා. අමා හා දුන්යා අත් අල්ලාගෙන සිනාසුණ මුත් පෙර දිනක තමන් විරසක වූ වගවත් මුහුණුවල දක්නට ලැබුණේ නැත.
“දෙන්නා තරහවෙලා නේද හිටියේ? දැන් හොඳ යාළුවෝ.”
අමාගේ මව පැවසුවේ දෙදෙනාගේම මුහුණු දෙස මාරුවෙන් මාරුවට බලා සිනාසෙමින්.
“කවුද පුතේ ඔයාගේ යාළුවා? නෑයෙක්වත් ආවද?”
“අනේ…දුප්පත් අපිට මොන නෑයෝද?”
ඒ අමාගේ මවගේ පැනයට දුන්යාගේ මවගේ පිළිතුර ය.
“ඔයා එහෙනම් හැමදාම හවසට කා එක්කද කතා කරන්නේ?”
අමා කටකාර ලෙස ඇසුවා.
“ආ එයා ද? එන්නකෝ පෙන්නන්න.”
දුන්යා අමා ද කැටුව කාමරයට ගොස් ටික වේලාවකින් පසු නැවත ආවා.
“අම්මේ මේ…..එයා හරි ලස්සනයි.
ඔයා මෙයාව මට දෙනවද? මගේ බෝනික්කා ඔයා ගන්න. ඔයා මට දෙනවා නේද දුන්යා?”
“ඔයා ගන්න. මමත් එයාට ගොඩක් ආදරෙයි. අපි බෝනික්කෝ දෙන්නගෙන්ම සෙල්ලම් කරමු. මීට පස්සේ අපිත් අපිත් යාළුවෝ එයාලත් යාළුවෝ.”
අමාගේ මව මේ කතාවට සවන් දෙන අතර, ඇගේ අතෙහි වූ දෙය දැක පුදුමයට පත් වූවා. ඉරුණු රේන්ද සහිත ඇඳුමක් අන්දවන ලද කුඩා ලී කොටයක් ඇගේ තුරුලේ විය.
රොහන්සා නිසලනී
12 ශ්‍රේණිය
වේයන්ගොඩ මධ්‍ය විද්‍යාලය