අම්මාත් අප්පචිචීත් පාන්දරම සූදානම් වූහ.
“මේ… ඇහුණාද?…. මට නම් හරියකට නින්ද ගියේ නැහැ.
අද මට කිරි ගන්නවත් වෙලාවක් නෑ. හේතුවා ගාලෙන් කිරි ටික ගෙනැල්ල අම්මට දේවි..” අප්පච්චී කියයි.
“ඒව මං බලා ගන්නම්. ඔය දෙන්නා හරි බරි ගැහිලා
කළු කපා එළියෙන්ම යනවා.”…ආත්තම්මා කීවා ය.
“දැන් පහන් තරුවක් නැගලා. ඇටි කුකුළා බුක ගහන්න වැඩි වෙලාවක් නැතුව ඇති. යමු. යමු හුළු එළියක් ඕනෙ නෑ. ගෙදරින් මනමාලයා පිටත් වෙන්න තියෙන්නෙ හයයි විනාඩි දෙකටය කිව්වනේ” අම්මා කීවා ය.
බෝරිච්චි අත් දැමූ ළා නිල් පැහැති හැටිටයට, ළා තැඹිලි පාට ඔසරිය හොඳට ගැළපේ. ඊටම සරිලන තැල්ලක් දිගු චේන් එකක් කරවටා ඔපකර ඇත. දෑතේ දැමූ වළලු රන් පාටින් දිලිසෙන්නට විය. සෙරෙප්පු දෙක නම් හරිම චාම් ය.
අප්පච්චි අළු පැහැති ටූවිඩ් රෙද්දට පටියක් බැඳ සුදු පැහැති කමිසයක් ඇඳ සිටියේ ය. ඔළුවේ ගැසූ නැමි පනාව ගාම්භීර බවක් පෙන්නුම් කළේ ය. කළුපාට කෝට් එක හරිම සුන්දර බවක් පෙන්නුම් කරයි. ඔහු අතට ගත් නයි පෙණය සහිත බස්තම වැදගත් බවක් කී ය.
“තාම හොඳට එළිය වැටුණෙ නෑ. පරිස්සමට යන්න” ආත්තම්මා කීවා ය. අම්මාට හා අප්පච්චිට අපි දුවැවිත් වැන්දෙමු.
“පරිස්සමට ඉන්න. කොහෙවත් යන්න එපා” ඔවුහු කීහ.
කපුටන් හඬාගෙන කෑම සොයා යද්දී හේතු මාමා කිරි ටික ගෙනැවිත් ආත්තම්මාට දුන්නේ ය. ආත්තම්මා එය උණුකර ටිකක් අපට බොන්නදී ඉතුරු ඒවා බෝතල්වලට පිරවූයේ මුදවීමට ය.
ලොකු බාප්පාට මනමාලි කැන්දාගෙන ඒමට යෑමට තිබුණේ පයින්ම ය. එයට හේතුව ගමට වාහනයක් එන්නට පාලමක් හෝ පාරක් නොතිබීමයි. සැතපුම් තුනක් පමණ ඈත දුරකින් ඇයව කැන්දාගෙන ආ යුත්තේ ද පයින්ම ය. මනමාලිව ගමට කැන්දාගෙන එන්නට නෑදෑයන් හා ගමේ අය විස්සක් පමණ එක් වී සිටියහ. බීරංගා වෙඩි ගසමින්, මල් වෙඩි දමමින් ඒ යන ගමන හරිම ලස්සන ය. අපි ගෙදර සිට, ඔවුන් ගඟ ඉවුරේ වැලිපස් පාරේ යන හැටි බලා සිටියෙමු. මනමාලයා තනි සුදෙන් ආරිය සිංහල ඇඳුමක් ඇඳ සිටි අතර, දෙවැනි මනාල මහතා ද සුදු ඇඳුමක් හැඳ සිටියේ ය.
පසු පසින් ගිය අය විවිධ ඇඳුම් ඇඳ සිටියහ. එදා ගමේ මඟුල් ගෙදරක් කියා පෑවේ හරිම චාම් බවකි.
“හවස් ජාමෙ වෙයි මනමාලි කැන්දාගෙන එද්දි. පුතේ අපි බුලත් ආදරයක් තියමු.” ආත්තම්මා කරන යෝජනාවට මගේ යහළුවෝ ද කැමැති වූහ. දහවල කෑමෙන් පසු එයට සුදානම් වන්නැයි ආත්තම්මා කීවා ය.
ගෙදර ආලින්දයේ තිබූ එකම කනප්පුව ඒ සඳහා අපි යොදා ගතිමු. ගේ ඉදිරිපිට සිට ගං ඉවුරේ අඩිපාරට යන තුංමං හන්දිය අසල අපි එයට සූදානම්කර ගනිමු. එකතට කනප්පුව ගෙන ගොස් තබා එයට රෙද්දක් දමා ඒ මත ආත්තම්මා දෙහි මිරිකා තැබූ බීම බෝතලයක් වූයේ මනමාලිටත් මනමාලයාටත් පොඩ්ඩක් බීමට ය. එයින් අනතුරුව පීරිසියක දැමූ බුලත් කොළ ටිකක් විය. එය ද සුදුරෙදි කඩකින් වසන්නට ආත්තම්මා අමතක නොකළා ය.
මාත් මල්ලිත්, කරුණෙ හා විමලෙත් එකතුව පාට පාට දිලිසෙන කොළ කුඩා කැබැලිවලට කපා පීරිසියක දමා තැබුවේ ඒ දෙදෙනාට මල් වැස්සක් මෙන් ඇඟපුරා විසිරෙන ලෙස දැමීමට ය. අපි ඒවා ආසාවෙන් කළෙමු. එනසාල්, ඉඟුරු පියලි, සාදික්කා, වසාවාසි වැනි සුවඳ විහිදෙන තවත් අඩුම කුඩුම ද වෙනම විය. දැන් සියල්ල නිසි පිළිවෙළට තැබීමට අපට ආත්තම්මාගේ සහයෝගය ලැබිණි.
“කෝ? ආත්තම්මේ තවමත් නැහැනේ” මම ඇසීමි.
“මොකෝ උඩින් එන්නය? තව ඉවසලා හිටපල්ලා. තැන තැන තවත් බුලත් ආදර ඇති. ඒකයි පරක්කුව”
අපි බුලත් ආදරය තබා ඇති තැන හොඳට පිරිසුදු කළෙමු. ගං ඉවුරට වැටෙන උණ කොළයක්වත් ඒ අසල රැඳීමට ඉඩ නොදුන්නෙමු.
ඈතින් රතිඤ්ඤා හඬත්, බීරංගා හඬත් ඇසෙන්නට විය.
“ඕං… ජෝඩුව එනව ඇහෙනවා” කඩේට යෑමට පැමිණි සමරපාල මාමා ද අප සිටි තැනම නතර වූයේ
“ඉස්සරහට මුලිච්චි වෙන්න යන්න හොඳ නෑ.” කියමිනි. රූපක්කාත්, කළු අක්කාත්, බේබිනෝනා නැන්දාත් අපේ බුලත් ආදරයටම එකතු වූහ.
“කෝ… හාමිනේ ඇල්වතුර වීදුරුව?” රොසලින් ආත්තා ඇසුවා ය.
“හත් දෙවියනේ, මෙයාලගේ කලබලේට මට ඒක අමතක වෙලානේ” කියමින් ගෙදරට දිවගිය ආත්තම්මා ගුරුලේත්තුවෙන් සීතල වතුර එකක් ගෙනැවිත් කුඩා තැටියක තැබුවා ය.
“තව බුලත් ආදරයක් ඇති පුංචප්පු හාමිලාගේ ගෙදර ළඟ. එතැනටත් තව ළමිස්සියෝ හතර පස් දෙනෙක්ම රාහි ගැහෙනවා නොවැ එතැනට” දංගහ ලියද්දෙ ආත්තා කීවා ය.
“ඔන්න දැන් ළඟම එනවා. වෙහෙස නිවන ගීත ඇහෙන්නෙ. ඔක්කොම ඉතිං ජාතක කතාවල් තමා.”
මනමාලිත්, මනමාලයත් පෙරටූ කරගත් පිරිස අපේ බුලත් ආදරය ළඟ නතර විය. නැටුම් කණ්ඩායම පොඩි අඩව් කීපයක් ඇල්ලූහ. ආත්තම්මා ඔවුනට දිගාසිරි පැතී ය. එක්ව සිටි සැවොම මනමාල ජෝඩුවට පාට කොළ ඉසීමට ඉදිරිපත් වූහ. ආත්තම්මා දුටු මනාල මහතා ඇයට වැන්දේය. මනාලිය ද එසේම කළාය. ඇයගේ දිගු නෙට් රෙද්ද අල්ලාගෙන පසුපසින් පැමිණියේ අක්කලා දෙදෙනෙකි. ආත්තම්මා මුවට ළංකළ වතුර වීදුරුව මුවට ළං කළ පසු යන්තම් තොල තෙමා ගන්නට ඔවුහු අමතක නොකළහ.
“අපට මඟ දිගටම බුලත් ආදර. ඉතිං පොඩ්ඩ පොඩ්ඩ හැම තැනටම සම්බන්ධ වුණා ලොකු අම්මේ.” මනාල මහතා කීවේ ය.
“එහෙනම් අපි යන්නම්” කියූ ඔවුහු ගෙදර යන්නට සූදානම් වූහ.
අපේ අම්මත් අප්පච්චිත් පසු පසින් පැමිණ ගෙදරට නොගොස් මඟදීම අපේ ගෙදර ළඟ නතර වූහ.
බුලත් ආදරයේ ඉතුරු කොටස පසු පසින් පැමිණි අය බුක්ති විඳිමින් ගියහ.
“දැන් ඉතිං හෙට දිහාට මමයි, විදානෙ මහත්තයයි, දරු දෙන්නයි මඟුල් ගෙදර යනවා. හිච්චි හාමිනේ ගෙදර ඉන්න”
“කොහොමත් හරි අමාරුයි. කඳු නැඟගෙන පයින්ම ගෑටුවා. එහෙත් හොඳටම තිබුණා. කෑම බීම එහෙම සරුයි.
ඒ දැරිවිට ඉඩ කඩනුත් තියෙනවා කීවා. බැඳපු අක්කා කෙනෙක් හිටියා. පවුලේ දූල දෙන්න විතරයි. මේ මනමාලයටම හොඳට ගැළපෙනවා. ජේස්ටෙත් පාස්වෙලාලු. තාත්ත ගොයියෙක්. අම්ම නම් ඔන් මොකද්ද සංගමේක වැඩලු.” අම්මා විස්තරයක් කීවා ය.
විමලෙත්, කරුණෙත්, මඟුල් ගෙදර යන්නේ හෙට බව අපි දැන සිටියෙමු.
“ඔන්න දඟලනවා නෙවෙයි. හොඳ ළමයින් වගේ වැදගත් විදිහට ඉන්න ඕනෙ.” අප්පචිචී කීවේ ය.
වැදගත් විදිහ කුමක්දැයි අපි නොදන්තෙමු. අපි හෙට දින උදාවන තුරු නොඉවසිලිමත් වීමු.
රත්නා කහඳගමගේ