Home » Blog » විවිධ රසවත් පලතුරු

විවිධ රසවත් පලතුරු

by thanushika
0 comment

රස ගුණ පිරි පලතුරු
අපට ඕනෑ නිරතුරු
මේවා ගැන තොරතුරු
අපි කියමුද සුමිතුරු

පලතුරු ආහාරයට ගැනීම මඟින් සෞඛ්‍ය සම්පන්න වේ. අතීතයේ පමණක් නොව වර්තමානයේ ද සෑම ගෙදරකම පලතුරු ගස් දැකීමට හැකි ය. පලතුරු විවිධ හැඩයෙන්, රසයෙන්, වර්ණයෙන් හා ගුණයෙන් යුක්ත වේ. මෙම සාධක නිසා පලතුරුවලට විවිධ වටිනාකම් ලබාදෙයි. පුංචි දූලා පුතාලා පලතුරුවලට ආසයි නේද? ඉතින් මෙවර මිහිර පෝස්ටරය සැකසෙන්නේ විවිධ රසවත් පලතුරු වර්ග කිහිපයක් ඇසුරෙනි.

මිදි (Grapes)

මිදි යනු Vitis කුලයට අයත් සපුෂ්ප ශාකයකි.

මෙම පලතුර පොකුරු වශයෙන් වැලක හට ගනු ලබයි. මිදි වගාව වසර 8,000කට පමණ පෙර ආරම්භ වී ඇත. මෙම පලතුරෙහි කැල්සියම් සහ පොස්පරස් වැනි ඛනිජ අඩංගු වන අතර, විටමින් ඒ ද අඩංගු වේ.බොහෝ ගෘහාශ්‍රිත මිදි පැමිණෙන්නේ මධ්‍යධරණී සහ මධ්‍යම ආසියාවට ආවේණික මිදි වැලක් වන Vitis vinifera ප්‍රභේදවලින් ය. කාඩිනල් මිදි, ඊශ්‍රායල් බ්ලූ, බ්ලැක් මස්කට්, වැඩිදියුණු කළ ඉසබෙලා , සෙමිලෝන්, තොම්සන් සීඩ්ලස්, මස්කට් එම්. අයි. සහ ෆ්‍රෙන්ච් එම්.අයි. වැනි මිදි වර්ග තිබේ. මිදි යුෂ පානය කිරීමෙන් හෝ පලතුරක් ලෙස ආහාරයට ගැනීමෙන් උදරගත පිළිකා, බඩවැල් ආශ්‍රිත පිළිකා වැඩීම

මර්දනය වේ. චර්ම රෝග සඳහා ද මිදි ගුණදායක වන අතර, මුහුණේ ආලේප කරන සමහර ක්‍රීම් වර්ගවලට මිදි අන්තර්ගත කරනු ලබයි.

පැෂන් ෆෘට් (Passion Fruit)

පැෂන් ෆෘට් හෙවත් වැල් දොඩම්වල ලතින් නම වන්නේ Passiflora edulis ය. වර්ෂ 1700දී පමණ බ්‍රසීලයේ මිෂනාරිවරු මේවා ආහාරයට ගත්හ. පැෂන් ෆෘට් විටමින් සී, බීටා-ක්‍රිප්ටොක්සැන්ටින් සහ ඇල්ෆා කැරොටින්වලින් පොහොසත් වන අතර, එය ප්‍රතිශක්තිය වැඩි කරයි. අපගේ රතු රුධිර සෛලවල හිමොග්ලොබින් වැඩි කරන යකඩ ද එහි ඇත. මෙම පලතුර පැරගුවේ සහ උතුරු ආර්ජන්ටිනාව ඔස්සේ දකුණු බ්‍රසීලයට ආවේණික වේ. පැෂන් ෆෘට් රවුම් හැඩයේ සිට ඕවලාකාර දක්වා හැඩයන් ගනී. හොඳීන් මේරූ පසු කහ හෝ තද දම් පාට වේ. මෙහි ඇතුළත බීජ රාශියකින් පිරී ඇති අතර, මෘදු යුෂ සහිත ය. පැෂන් ෆෘට් මල් පැරගුවේ රටේ ජාතික පුෂ්පය ද වේ.

කොමඩු (Watermelon)

කොමඩු යනු Cucurbitaceae පවුලේ සපුෂ්ප ශාකයකි. එය මුලින්ම දකුණු අප්‍රිකාවෙන් සොයාගන්නා ලද අතර, කහ, සුදු මල් මෙම ශාකයේ හට ගනී. ගොරෝසු, බූව සහිත කොටස් වශයෙන් බෙදුණු පත්‍ර ඇත. පොළොව මතුපිට විශාල වශයෙන් පැතිරෙන වාර්ෂික ශාකයකි. නඥනධ නමින් උද්භිද විද්‍යාත්මකව හඳුන්වන මෙම ශාකය බෙරි වර්ගයේ ශාකයකි. මෙම පලතුර තද කොළ පැහැති වයිරම් සහ කහ පැහැති තිත්වලින් සමන්විත ඝනකම් පොත්තකින් සෑදී ඇත. මෙහි කළු බීජ දරන අතර, ඉස්ම සහිත තද රතු පැහැති මදයකින්

සමන්විත වේ. එහෙත් සමහර අවස්ථාවලදී තැඹිලි, කහ හෝ සුදු පැහැයන්ගෙන් ද දැකිය හැකි ය. කොමඩුවල විටමින් ඛ් අඩංගු ය. කොමඩු පොත්ත ද ආහාරයට සුදුසු වන අතර, බොහෝ විට එහි රසය නිසා එය ආහාරයට නොගනියි. කොමඩු පොතු අච්චාරු සඳහා යොදාගන්නා අතර, බොහෝවිට එළවළුවක් ලෙස ද යොදා ගනු ලබයි. බොහෝ විට මෙහි පොතු අච්චාරු ලෙස, බැදුමක් ලෙස හෝ ජෙලී ලෙස දකුණු අමෙරිකානුවන් විසින් ආහාරයට ගනු ලබයි. කොමඩු පලතුරේ 91%ක් ජලය ද 6%ක් සීනි ද අඩු මේද ප්‍රමාණයක් ද අන්තර්ගත වේ. පැණි කොමඩු සහ දිය කොමඩු වශයෙන් කොමඩු ප්‍රභේද දෙකක් ද තිබේ.

ස්කොෂ් (Squash)

මෙම පලතුරු ඇන්ඩීස් සහ මෙසෝ අමෙරිකා ප්‍රදේශයට ආවේණික වේ. මෙය කරවිල පවුලට අයත් ශාකසාර පලතුරු වර්ගයකි. බොහෝ Cucurbita විශේෂයන් මීටර් කිහිපයක් දිගට වැඩෙන වල් පැළෑටි සහිත ශාකසාර වැල් වේ. Cucurbita ශාකයක කහ හෝ තැඹිලි මල් වර්ග දෙකකි. ඒ, ගැහැනු සහ පිරිමි මල් ය. ගැහැනු මල් ගෙඩි නිපදවන අතර, පිරිමි මල් පරාග නිපදවයි. මෙම පලතුරේ විටමින් A සහ B අඩංගු වේ. මෙම ශාකයේ වැල්වල පැතලි හැඩයේ සිට දිගැටි සහ වක්‍රාකාර දක්වා විවිධ හැඩයෙන් ගෙඩි සෑදෙයි. ඒවා සුදු , ක්‍රීම් , කහ, කොළ සහ විවිධ වර්ණවලින් දැකගත හැකි වේ.

ස්ට්‍රෝබෙරි (Strawberry)

ස්ට්‍රෝබෙරි යනු රෝස පවුලට අයත් Fragaria  ගණයේ බහුලව වැඩෙන දෙමුහුන් පලතුරු විශේෂයකි. මෙම පලතුරට ආවේණික සුවඳ, දීප්තිමත් රතු පැහැය, යුෂ සහිත ස්වභාවය සහ පැණිරස නිසා එය බොහෝ දෙනෙක් ප්‍රිය කරන පලතුරක් බවට පත් වී තිබේ. ස්ට්‍රෝබෙරි මඟින් ජෑම්, අයිස්ක්‍රීම්, මිල්ක්ෂේක් සහ චොක්ලට් වැනි ආහාර නිෂ්පාදනය කරයි. රසකාරක වර්ග, සබන්, සුවඳ විලවුන් සහ තවත් බොහෝ නිෂ්පාදනවලට බහුලව භාවිත කරනු ලැබේ. අමු ස්ට්‍රෝබෙරිවල 91% ජලය, 8% කාබෝහයිඩ්‍රේට් , 1% ප්‍රෝටීන් සහ මේදය අඩංගු වේ. බොහෝ ස්ට්‍රෝබෙරි ගොවිපොළවල වගා කරනු ලබයි. මී මැස්සෝ ස්ට්‍රෝබෙරි පරාගණය කරති. මෙහි පත්‍රවල පත්‍රිකා තුනක් තිබෙන අතර, ඒවා කියත් දාර සහිත හැඩයක් සහ රෝම සහිත ස්වභාවයක් ගනී. මල් , සාමාන්‍යයෙන් සුදු පැහැති වන අතර, කලාතුරකින් රතු පැහැයට හුරු වේ.

හොප්ස් ( Hops)

හොප්ස් යනු සපුෂ්ක පවුලේ සාමාජිකයකු වන Humulus කුලයට අයත් ශාකයකි. උතුරු අමෙරිකාවට, යුරේසියාවට සහ දකුණු අමෙරිකාවට ආවේණික වේ. බීම වර්ග සෑදීමට සහ ශාකසාර ඖෂධවල විවිධ අරමුණු සඳහා මෙය භාවිත කරයි. හොප්ස් පැළෑටිවල ගැහැනු සහ පිරිමි ශාක වෙන වෙනම ඇති අතර, වාණිජ නිෂ්පාදනය සඳහා ගැහැනු ශාක පමණක් භාවිත වේ. හොප්ස් පැළ සිටුවනු ලබන්නේ මීටර් 2 සිට 2.5 දක්වා දුරින් පේළිවල ය. මෙහි අස්වැන්න නෙළනු ලබන්නේ ගිම්හානය කාලයේ අවසානයේ ය. හොප්ස්වල අස්වැන්න අතින් සහ යන්ත්‍ර මඟින් ද නෙළනු ලැබේ.

කිවි ( Kiwi Fruit)

කිවි යනු Actinidia කුලයට අයත් වැල් විශේෂයක හටගන්නා ආහාරයට ගත හැකි බෙරි වර්ගයකි. කිවි පලතුර ප්‍රමාණයෙන් ඕවලාකාර හැඩයෙන් යුක්ත වේ. දිග සෙන්ටිමීටර 5ත් 8ත් අතර වේ. විෂ්කම්භය සෙන්ටිමීටර් 4.5 සිට 5.5 දක්වා පමණ වේ. කිවි පලතුරු තුනී, නොපැහැදිලි, තන්තුමය පලතුරකි. තිත්ත වුවත් ආහාරයට ගත හැකි පලතුරකි. ළා දුඹුරු සමක් සහිත කිවි පලතුරේ ආහාරයට ගත හැකි කුඩා, කළු, බීජ සහිත ළා කොළ හෝ රන්වන් පැහැති මාංශ ඇත. මෙම පලතුර මධ්‍යම සහ නැඟෙනහිර චීනය නිජබිම කරගත් පලතුරකි. කිවි පලතුරු අමුවෙන් අනුභව කළ හැකි ය. යුෂ බවට පත් කළ හැකි ය. විදුලි උදුන්හි දමා පුලුස්සන ආහාර සැකසීම සඳහා ද භාවිත කළ හැකි ය. මෙම පලතුරුවල කාබෝහයිඩ්‍රේට් ,ප්‍රෝටීන්, මේදය , විටමින් Cසහ විටමින් K අඩංගු ය.

ඩ්‍රැගන්ෆෘට් (Dragon fruit)

මෙම පලතුරු ඉංග්‍රීසියෙන් පොදුවේ හඳුන්වනු ලබන්නේ “ඩ්‍රැගන්ෆෘට්” ලෙසිනි. එය වර්ෂ 1963 සිට භාවිත කරන ලද නමකි. ස්ට්‍රෝබෙරි පෙයාර්ස් ලෙස ද හඳුන්වයි.

ඩ්‍රැගන්ෆෘට්හි නිජබිම වන්නේ දකුණු මෙක්සිකෝව සහ ගෝතමාලාව, කොස්ටාරිකාව එල් සැල්වදෝරයේ පැසිෆික් වෙරළ තීරයයි.

ඩ්‍රැගන්ෆෘට් නැඟෙනහිර ආසියාව, දකුණු ආසියාව, අග්නිදිග ආසියාව, එක්සත් ජනපදය, කැරිබියන්, ඔස්ට්‍රේලියාව සහ ලෝකයේ නිවර්තන සහ උපනිවර්තන කලාපවල ද වගා කරයි. මෙම පලතුර  Stenocereus කුලයට අයත් වේ. මෙහි කාබෝහයිඩ්‍රේට් , ප්‍රෝටීන්, විටමින් ඛ් සහ කැල්සියම් අඩංගු වේ. ඩ්‍රැගන්ෆෘට් පලතුරුවල පැණි රස හෝ ඇඹුල් රසැති මාංශ තිබෙන අතර, ඒවා රතු, සුදු හෝ කහ වර්ණවලින් යුක්ත වේ.

චතුරි ලක්ෂිකා


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department