හ/ කහවත්ත මහා විද්‍යාලයේ
උමායා දෙව්මි
විවිධ දක්ෂතා ඇති දරුවන් මිහිර වෙතින් පසුගිය දා අපි හඳුන්වා දුන්නෙමු. ඉතින් දුවේ පුතේ, අදත් අපි ඔබට හඳුන්වා දෙන්නේ හම්බන්තොට කහවත්ත මහා විද්‍යාලයේ එවැනිම දක්ෂ දරුවෙකි. ඉතින් දුවේ පුතේ, මේ දියණිය ඔබට කියන කතාව අහන්නකෝ.
ඒ දියණිය විවිධ අත්දැකීම් සහ විවිධ බාධා මධ්‍යයේ පැමිණි ගමන කෙතරම් ජයග්‍රාහී ද යන්න ඔබට වටහාගෙන ඒ මඟින් ආදර්ශයක්
ගත හැකි ය.
” මම කැමැතියි නිදහසේ අධ්‍යාපනය ලබන්න. නිදහස් මනසකින් අධ්‍යාපනය ලබන විට ඒ කරුණු හිතේ ධාරණය වෙනවා. මෙම හුඟක්ම කැමැති පොත් කියවන්න. ඒ වගේම පොත්වල තියෙන දේවල් ප්‍රායෝගිකව අත්විඳීන්නත් මම ගොඩක් කැමැතියි. සිංහල, ගණිතය වැනි විෂයන් වගේම සංගීතය ,චිත්‍ර වැනි විෂයන්වලටත් මම ගොඩක් කැමැතියි. අපේ විද්‍යාලයේ ගුරුවරුන් මෙන්ම සිසුන් ද මට ලොකු සහයෝගයක් ලබා දෙනවා. ඒ වගේම ඔවුන් මාව දිරිමත් කරනවා. ඒ නිසා තමයි අද මම මේ වගේ තැනක ඉන්නේ. පහේ ශිෂ්‍යත්වයෙන් සමත් වෙලා මම මේ ඉස්කෝලෙ දාලා ගියේ නැහැ. ඒක හේතුවක් තියෙනවා. ඒ තමයි අපේ පාසලේ ගුරුවරුන්ගේ ආදරණීයත්වය. ඒ නිසාම ඉගෙන ගන්න කැමැත්තක් ඇති වෙනවා. මට වගේම අනෙක් දරුවන්ටත් ගුරුවරු කරුණාවන්තයි. කරුණාවෙන් දයාවෙන් කියලා දෙන ඕනෑම විෂයක් අපි හැමෝටම පිහිටනවා කියලා තමයි මම හිතන්නේ. ඒක ආසාවෙන් අධ්‍යාපනය ලබන්නත් හේතුවක් වෙනවා.”
” සමාජය පිළිබඳ අපි මූලික අවබෝධය ලබා ගන්නේ පාසලෙන්. ඒ අවබෝධය අපේ මුළු ජීවිතයටම බලපානවා. ඒ හින්දා පාසල් කාලයේදී උගන්වන හැමදෙයක්ම අපි ඉතා ඕනෑකමෙන් ඉගෙන ගන්න ඕනේ. අම්මා, තාත්තා, ගුරුවරු බල කරන නිසාවත්, වෙනත් වැඩිහිටියකුගේ බල කිරීම නිසාවත් ඉගෙන ගැනීමට කැමැත්ත ඇති කරගන්න බැහැ. ඒක නිරායාසයෙන් ඇති විය යුතු දෙයක්. මම හිතන්නේ අපේ පාසලේ පරිසරයත් ඒකට හොඳීන් බලපානවා. ඒ පරිසරය අපට ලොකු නිදහසක් ඇති කරලා දෙනවා. මගේ අධ්‍යාපන කටයුතු සෑම අතින්ම ඉදිරියට ගෙන යෑමට ඒක ලොකු හේතුවක් වුණා.”
” නිරවුල් මනස, නිරවුල් පරිසරය හොඳ අධ්‍යාපනයක් ලැබීමට ප්‍රබල හේතුවක් කියලයි මම හිතන්නේ. සෑම විටම මේ අංශ දෙක සමබරව තබාගෙන යා යුතුයි. එයින් තමයි අපේ අධ්‍යාපනය සාර්ථක කරගත හැකි වන්නේ ”
ඉතින් දුවේ පුතේ, උමායා වගේ බාධක ජයගෙන ඉදිරියට යන්න පුංචි ඔබත් උත්සාහ කරන්න. ආත්ම විශ්වාසය, උත්සාහය විශාල නම් බාධකය ඉතා කුඩා බව මතක තබා ගන්න.
රූපාන්ති බුලත්සිංහල