Home » Blog » ඇඩම්ස් ගඟ (Adams River)

ඇඩම්ස් ගඟ (Adams River)

by thanushika
0 comment

ඇඩම්ස් ගඟ කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ පිහිටා ඇති ෆ්‍රේසර් ගංගාවේ අතු ගංගාවකි. උතුරට වන්නට මොනාශි කන්දෙන් ආරම්භ වන මෙම ඉහළ ඇඩම්ස් ගංගාව දකුණු දෙසට නැඹුරුව ගලා බැස අවසානයේ ආදම්ගේ විලට (ADAM‘S LAKE) ළඟා වේ. පහළ ඇඩම්ස් ගංගාව, විලේ දකුණු අන්තයෙන් ආරම්භ වී ශුස්වැප් විලේ කෙළවරම බටහිර අන්තයෙන් ගලා බසියි. මෙම ගංගාව උතුරු අමෙරිකානු සැමන් අභිජනන ප්‍රදේශවලින් වැදගත්ම ස්ථානයකි. සැමන් මසුන් ඔක්තෝබර් මැද භාගයේදී ගංගා මුවදොරට පැමිණේ. ජල පෝෂක ප්‍රදේශයේ දැව කැපීමේ මෙහෙයුම් සඳහා වැදගත් ප්‍රවාහන මාර්ගයක් ලෙස ද මෙම ගංගාව භාවිතකර තිබේ. ගංගාවේ ඉහළ කොටස තෙත් බිම් හරහා දකුණට සහ නිරිත දෙසින් ගලා යන අතර, කුඩා විල් දෙකක් වන ටුම්ටුම් සහ මයිකා හරහා ගමන් කරයි. කිලෝමීටර් 94ක් ගමන් කර ශුස්වැප් උස්බිමට ඇතුළු වූ පසු මෙම ගංගාව ඇඩම්ස් විලෙහි උතුරු කෙළවරට ඇතුළු වේ. ඉතින් මේ සූදානම පුංචි දූලා පුතාලට ඇඩම්ස් ගඟ පිළිබඳ තොරතුරු රැගෙන එන්නයි.

ඇඩම්ස් විල එහි උතුරු-දකුණු අක්ෂය දිගේ දළ වශයෙන් කිලෝමීටර් 72ක් වන අතර, උපරිම ගැඹුර මීටර් 457ක් වේ. එය ලෝකයේ 24 වැනි ගැඹුරුම විල ලෙස සැලකේ.

විලෙහි දකුණු දිග කෙළවරෙන් පහළ ඇඩම්ස් ආරම්භ වන අතර, පටු නිම්නයක් හරහා කිලෝමීටර් 11ක් ගමන් කරයි. එය Squilax ජන වර්ගය වාසය කරන ශුස්වැප් (Shuswap) විල වෙතට ගලා බසියි. ඇඩම්ස් විලේ සිට ශුස්වැප් දක්වා, පහළ ඇඩම්ස් උසින් මීටර් 60ක් පහතට වැටේ.

සෙක්වෙපෙම්ක් ජනයා ඇඩම්ස් ගංගා නිම්නයේ ජීවත් වූහ. වර්ෂ 1977 දී පළාත් රජය විසින් පහළ ගඟ ආශ්‍රිතව කරන ලද අධ්‍යයනයකින් ක්‍රි.පූ. 2000ට අයත් ජනාවාස පිළිබඳ සාක්ෂි සහිත ස්ථාන හැට හයක් සොයා ගන්නා ලදි. ජනවාර්ගික විද්‍යාඥ ජේම්ස් ටීට් වාර්තා කරනු ලබන්නේ ඇඩම්ස් ගංගා ප්‍රදේශයේ ජනතාව විසින් Sxste’lln” නමින් Secwepemcහි උප කණ්ඩායමක් පිහිටුවා ගත් බවයි. එය දැන් Adams Lake Indian Band ලෙස හැඳීන්වේ .

Sockeye යනු ඇඩම්ස් ගඟේ බහුලවම දැකගත හැකි සැමන් මත්ස්‍යයා වේ. Chinook, Coho සහPink salmon යන මත්ස්‍ය වර්ග ද මෙහි පැටවුන් බිහි කරති.

ඇඩම්ස් ගංගාව සොකී සැමන් මත්ස්‍යයන් සඳහා ප්‍රධාන වාසස්ථානය වේ. එහෙත් ගංගා ගලා යෑමේ වෙනස්වීම් සහ බොරලු සහ සුන්බුන් ගොඩනැඟීම නිසා මෙම ඵලදායි ප්‍රදේශවල පිහිටි මත්ස්‍ය වාසස්ථානවලින් සමහරක් අවහිර වී ඇත. මෙම ගංගා නිම්නයේ විශාල කොටළු මුවන්, කළු වලිග මුවන් සහ කුඩා සුදු වලිග මුවන් රංචු සමඟ ජීවත් වෙති. කළු වලසුන් ජල පෝෂක ප්‍රදේශවල බහුලව දක්නට ලැබේ. ඉහළ ගංගා නිම්නයේ උතුරු අමෙරිකානු ගෝනුන් බහුලව දක්නට ලැබේ. බීවර්, මින්ක් සහ ගංගා ඔටර් ඇතුළු ජලජ ක්ෂීරපායි සත්ත්ව වර්ග ද ගංගාවේ ජීවත් වෙති. ගංගාවේ මුවදොර කැනඩා පාත්තයන් සහ හංසයන් දැකගත හැකි ය. අනෙකුත් ජලජ පක්ෂීන් අතර waterfowl,mallards, green-winged teal සහ goldeneye යන පක්ෂි වර්ග ද ඇතුළත් වෙති.

මෙම ගංගාවෙහි තට්ට රාජාලියන් (bold eagle) සහ මුහුදු රාජාලියන් ද දැකගත හැකි ය. Grouse, විශේෂයෙන්ම Ruffed Grouse මිටියාවත පුරා බොහෝ සිටිති.

කපු ගස්, ඇස්පන්, ඩෝග්වුඩ්, ඩග්ලස් ෆර්, වෙස්ටර්න් රෙඩ් සෙඩාර් සහ රෝස වැනි ශාකවලින් පොහොසත් ගංගා ඉවුරේ වෘක්ෂලතාවල විවිධත්වයක් දැක ගත හැකි ය.

මෙය වසරේ ඕනෑම වේලාවක සංචාරය කිරීමට හැකි ස්ථානයකි. ගිම්හානයේදී කඳු නැඟීම, මවුන්ටන් බයිසිකල් පැදීම , ශීත ඍතුවේදී හිම මත ලිස්සා යෑම සහ වෙනත් හිම ක්‍රීඩා කිරීම සඳහා උද්‍යානයේ කිලෝමීටර් 26ක මංපෙත් පද්ධතියක් ඇත. සුන්දරත්වයෙන් යුතු මෙම ඇඩම්ස් ගඟ නැරැඹීමට බොහෝ විදේශිකයෝ පැමිණෙති.

 

චතුරි ලක්ෂිකා


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department