Home » Blog » අඟහරු මත ඔක්සිජන් නිපදවන මොක්සි

අඟහරු මත ඔක්සිජන් නිපදවන මොක්සි

by thanushika
0 comment

ආදරණීය දුවේ පුතේ, අපි මීට කලින් ලිපි මාලාවකින් කතා කළ mars Perseverance රෝවරයෙහි තිබෙන පුංචි උපකරණයක් මඟින් තමයි අඟහරුවල ඔක්සිජන් නිපදවන්නේ. ඒ උපකරණය හඳුන්වන්නෙ Moxie කියලයි.

Moxie මඟින් අඟහරු ග්‍රහයාගේ කාබන්ඩයොක්සයිඩ් බහුලව තිබෙන වායුගෝලයට ඔක්සිජන් නිපදවීම කරනවා.

Moxieහි ප්‍රමාණය තරමක් කුඩා වෙන්න හේතුව වන්නේ රෝවරයට සම්බන්ධ වී අභ්‍යවකාශගත වීමට ප්‍රමාණයෙන් කුඩා විය යුතු නිසයි.

ගගනගාමියකුට විනාඩි 100ක කාලයක් හුස්ම ගැනීමට ප්‍රමාණවත් ඔක්සිජන් නිපදවන්න මේ උපකරණය සමත් වෙලා තිබෙනවා. එය මේ වනවිට විවිධ වායුගෝලීය තත්ත්ව, මෙන්ම අඟහරු ග්‍රහයාගේ විවිධ ඍතුවලදී සිදුකළ පර්යේෂණාත්මක ක්‍රියාවලි කිහිපයකදී සාර්ථකව ඔක්සිජන් නිපදවා තිබෙනවා.

Moxie මඟින් පැයකට ඔක්සිජන් ග්‍රෑම් 6ක් නිපදවීම කරන්න පුළුවන්. එය පෘථිවියේ කුඩා ගසක් විසින් ඔක්සිජන් නිපදවන ප්‍රමාණයට සමාන ප්‍රමාණයක්. මෙය වෙනත් ග්‍රහලෝකයක සම්පත් යොදා ගනිමින් මිනිස් මෙහෙයුමකට ප්‍රයෝජනවත් පරිදි ඔක්සිජන් නිස්සාරණය කළ පළමු අවස්ථාව ලෙස හඳුන්වන්න පුළුවන්.

ඉදිරියේදී මිනිසුන් අභ්‍යවකාශගත කිරීමේ මෙහෙයුම් සමඟ මීට වඩා වැඩි දියුණු කළ Moxie  උපකරණ යැවීම මඟින් ගස් 100කින් පමණ ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය ලබාගැනීමට විද්‍යාඥයන් බලාපොරොත්තු වෙනවා.

අඟහරුගේ වායුගෝලය පෘථිවි වායුගෝලයට වඩා බොහෝ සෙයින් වෙනස්. එහි වාතයේ ඝනත්වය වසරකදී දෙගුණයකින් පමණ වෙනස් විය හැකි අතර, උෂ්ණත්වය සෙල්සියස් අංශක 100කින් පමණ වෙනස් වෙන්න පුළුවන්. එවැනි නිරන්තරයෙන් වෙනස් වන වායුගෝලීය තත්ත්ව පැවතුණත් Moxie  පෙන්වා දී ඇත්තේ එයට, එවැනි ඕනෑම වායුගෝල තත්ත්වයක් පවතින ඕනෑම මොහොතක බොහෝ ඔක්සිජන් සෑදිය හැකි බවයි.

ඒ වගේම ඔවුන් මේ වනවිට උපකරණයේ නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමටත් උත්සාහ කරමින් සිටිනවා. මොකද ගගනගාමීන්ට හුස්ම ගන්න විතරක් නෙවෙයි, අඟහරු වෙත ගිය කණ්ඩායමකට එහි සිට පෘථිවියට නැවත පැමිණීමට රොකට් සඳහා ඔක්සිජන් ඉන්ධන ලෙස අවශ්‍ය වෙනවා. ඒ සඳහා පෘථිවියේ සිට ටොන් මිලියන ගණනක් ඉන්ධන රැගෙන යෑම ප්‍රායෝගික නැහැ. ඉතින් ඒ නිසා Moxie  යනු අනාගත අඟහරු මෙහෙයුම්වලදී අපට උපකාර වන අත්‍යවශ්‍යම උපකරණයක් ලෙස හඳුන්වන්න පුළුවන්.

රුසින් තත්සර

මොරටුව විශ්වවිද්‍යාලය

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department