ආත්තම්මා ගෙදර ආවේ හතර වටින් අඳුර ගලා එද්දී ය.
“තුන් ඇඳිරියත් ඇවිදින්. තවම නෑ පිළේ කුප්පි ලාම්පුවවත් තියලා. කෝ මේ ලොකු පිරිමි ළමයි දෙන්නා?” කියන ඇය චිමිනි ලාම්පුව දල්වා බරාඳයේ මේසය උඩින් තැබුවා ය.
“කවුද අද කණුවෙ පහන තිව්වේ….?”
“මායි……..මල්ලියි මලුත් පූජා කෙරුවා. ආත්තම්මෙ.” අපි කීමු.
“ආ………..මේ දෙන්නා අඳුන ගන්න බැරි තරමට වෙනස් වෙලා නේ. මොකද මේ කියල බැලුවෙ. කොණ්ඩ කපලා හොඳා……..හොඳා………..ඉස්කෝලෙ යන්නත් ළඟයි නේ.”
“මහ වනන්තරේ වගේනේ තිවුනෙ. මං පිල්ලෑවට ගෙහුං කප්ප ගෙන ආවා.”
“ඒක හොඳයි. දැන් මූණයි කටයි බේරිලා තියෙනවා”
“මොනවද අම්මේ මඟුල් ගෙදර එහෙම සූදානම?” අම්මා විමසුවා ය.
“අනේ! මං දන් නෑ දරුවො. පිළිවෙළකට කෙරිච්ච කිසිම දෙයක් නෑ.
ගෑනු රොත්තක් පිරිලා ඉන්නවා. පිටි කොටපු එකයි. පිටි හලපු එකයි විතරයි තමා කෙරිලා තියෙන්නෙ. වත්ත පිටිය සුද්ධ බුද්ද කරලා තියෙනවා. සාරංගලා ඇවිත් ගේ හුණුූගාලා බිම හෝදලා සායම් ගාලා තිබුණා.
මෙලහකට කොකිස් ටික දාලා මුංගෙඩි හදලා තියෙන්න එපා ය. ආස්මී නම් හදලා තිබුණා.
ඒ වුණාට කළ යුතුම දේවල් නම් කරලා නෑ. මං කැවුම් ටිකකට නම් පිටි ඒදලා කරලා දුන්නා. අම්මා කෙනෙක් නැති එකේ ඇති පාඩුව කියලා වැඩක් නෑ.
මනමාලයගෙ නැන්දලා නම් දෙන්නෙක් ඇවිල්ලා ඉන්නවා. ඒ මිනිස්සුන්ටත් හිතාගන්න බෑ කරන්න ඕන මොනාද කියලා.
මඩුව හදල තියෙනවා. අහල පහළ කොලු කුරුට්ටෝ බඩල්වනස්ස කුකුළු සායම් පොවලා ගෙනත් තිබුණා. තාම සරසලා නෑ.
මම ගෙහුං තමයි තුනපහ ටික හෝදලා දැම්මෙ. හෙට කොටලා හලා තියන්න කිව්වා. මිරිස් දවසෙන් වේළෙන එකක් නෑ. ඔක්කොටම තියෙන්නෙ තව දවස් පහයිනේ.
හෙට දිහාට හිච්චි හාමිනෙත් ගිහින් බලන්න. දරුවන්ගෙ අප්පච්චිටත් ගිහින් කරන්න වැඩ ඇති. මට නම් හෙට යන්න විදියක් නෑ.” ආත්තම්මා කීවා ය.
“අපටත් එහෙනම් උදව්වට යා හැකි නේද ආත්තම්මෙ?”
මම කීවෙමි.
“අපෙ අම්මේ ඔය ඉන්නෙ උදව් කරන්න මිනිස්සු. ඔන්න පාඩුවෙ ඉන්න. මඟුල් ගෙදර යනව නම් අපි එක්කර ගෙන යන්නම්…” අම්මා අපිව කපා හැරියාය.
“අපට හැමෝම එන්න කියලා තමයි බුලත් තට්ටුව ඇල්ලුවෙ.” මල්ලී ද කීවේ ය.
“දී කිරට බළල්ලුත් සාක්කිලු’ කියා ආත්තම්මා හිනැහුණා ය.
අපි පරාජය භාර ගතිමු. මඟුල් ගෙදර ගැන සිතින් අයින් කළෙමු. අප්පච්චීත්, අම්මාත් පසුදා පාන්දරම ගහලකොළදෙණියෙ ගෙදරට ගියේ කළ යුතු යමක් ඇත්නම් කරදීමට ය.
“ලොකු දරුවො අද මල්ලිත් එක්ක එකතු වෙලා රබර් ඇට එකතුකර තියන්න. හරේ මෙහේ යනව නෙවෙයි” අප්පච්චි කීවේ ය.
“පුතේ දෙන්න එක්ක හරේ මෙහේ යන්න එපා. අප්පච්චි කියූ දේ මතක ඇති මයෙ හිතේ.”
“ආත්තම්මා කොහෙ යන්නද හදන්නෙ?”
“අර ගලපාත මාමලා දිහාට ගෙහුන් මං විජහට එන්නම්. එහේ ලෙඩෙක් ඉන්නවනේ.”
“කවුද ලෙඩා? ආත්තම්මද වෙදා? කිව්වේ නැතුවම ආත්තම්මා බේත් දෙන්න යනවයැ.” අපි ඇසීමු.
“ඔන්න කරුණෙත්, විමලෙත් එනවා” කියූ ආත්තම්මා සුදු තුවායක් ද කරට දාගෙන ගෙන් පිටවී ගියා ය.
“මොකද කංචු ගේ පාළුවෙලා වගේ?”
“කවුරුත් නෑ විමලෙ. ගහලකොළදෙණියෙ ගෙදර ගියා. ආත්තම්මයි, මමයි, මල්ලියි ගෙදර හිටියේ. දැන් ආත්තම්මත් ගියා ගලපාත මාමලා දිහා. ලෙඩෙක් බලන්න යනවා කියලා.”
“මොන බොරු ද කවුද ලෙඩා? මං එතැනින් එද්දි මල්ලිකා නම් මිදුලෙ හිටියා. වෙන කවුරුත් පේන්න හිටියෙ නම් නෑ”
“අනේ මන්දා ලෙඩා එහේ කියලා තමා ගියේ.”
“හරි……..හරි මල්ලිකාගෙ අම්මට බබෙක් ලැබෙන්න හිටිය නේ.”
අම්මාත්, අප්පච්චිත් දවල් කෑමටවත් ගෙදර ආවේ නැත. ආත්තම්මා ද එනවිට ඉර හැරී හෝරා දෙකක් පමණ ගෙවී අවසන් ය.
මල්ලිත් මාත්, විමලෙ හා කරුණෙත් රබර් යායට පැන ටක් ටික් ගගා විසිරෙන ඇට එකතුකර මල්ලකට දැමුවෙමු. අද රබර් ඇට ඇහිඳීමට කතා කළාට ඔයාලගෙ සැලසුම ගැන
අපි ඇහුවෙ නැහැනේ. “මම කීවෙමි.
“අර හන්දියෙ වෙදුන්නැහේ කීවා පුස් ඇට දහයක් පහළොවක් ගෙනත් දෙන්නය කියලා. ඒක බලන්න ඔයලත් එක්කගෙන යන්නයි අපි ආවෙ. ඒත් ඉතින් ගෙදර කවුරුවත් නැහැනේ.
“ඒක තමයි. සුරුස් ගාලා එන්නම් කියපු ආත්තම්මවත් තාම නැහැනේ”
“හරි……….හරි…….අන්න ආත්තම්මා එනවා. අපි හවහ කැකුලංවිල කන්දෙ යමු. පුස්වැල් නම් ඕන තරම් තිබුණා”
මම කීවෙමි.
“මං පරමාදයි ද පුතේ?” ආත්තම්මා ඇසුවාය.
“අපි දන්නෑ. ඕං අපි රබර් ඇට ඇහින්දා. මලු දෙකක්ම පිරෙව්වා…….ආත්තම්මෙ අපි හවස් ජාමෙ පුස් ඇට ඇහිඳින්නට කන්දෙ යන්නයි ඉන්නෙ”
“ඕං එපා කියනවා නෙවෙයි” මම කී පසු මල්ලී ද එයට අත්වැල සැපයුවේ ය.
“එපා කියන්නෙ නම් නෑ. ඒත් මේ හවහ ජාමෙ යන්න එපා. උදේකට පලයල්ලා. ඔය කඳු යායෙ දෙවෙරාවල්වල අමනුෂ්‍ය දිෂ්ටි බල ගැන්වෙන ජාමෙ. කොයි එකටත් කරුණෙ දරුවො හෙට දිහාවෙ යන්න”
අපි මුහුණින් මුහුණ බලා ගතිමු. “එහෙනං කංචු හෙටම යමු.” කී කරුණෙත් විමලෙත් ආපසු ගියහ. අම්මත් අප්පච්චිත් ගෙදර ආවේ ඉන් පසුව ය.
“ආ………ඉලංදාරි මං කියාපු වැඩේ කරලා තියෙන්නෙ. ඉතින් පුතේ දවල්ට කෑවද?”
“නෑ…………..ආත්තම්මා ඇවිල්ලත් දැන් වැඩි වෙලාවක් නෑ. අපි කවුරුත් කෑවෙ නෑ.”
“හරි හොඳයි. උයපු දේ බෙදාගෙන කන්න බැරි ද?”
“අම්ම කොහෙද ගියේ?”
“මං ගියා දරුවො ගලපාත ගෙදර ජේන්ගෙ ලේලිට අසනීප වෙලා. හප්පෝ………. දරුවා ලැබෙන්න හරි අමාරු වුණා.
මං ගියපු ඒවැං ජීවිත දෙකම ගොඩදාන්න නොසෑහෙන වීරියක්
මට ගන්න සිද්ධ වුණා.” ආත්තම්මා කීවා ය.
“මොකෝ ඉතින් අම්මා ඔය පුරුදු වෙන්න කෙරුව වැඩක් ය. එහෙම අවදානමක් වෙන්නෙ නෑ.” අම්මා ද කීවාය.
“මෙයාලා මේ හැන්දැ කොරේ කන්දෙ යන්න දැඟලුවා. මගේ කටේ බලේට හෙට උදේට යන්න කීවා.” ආත්තම්මා අප ගැන විස්තරයක් දුන්නා ය.
“අප්පේ අර තෙල් වළං ළඟ ඉඳලා මට නම් ඇති වෙලා. හරිම විඩාවයි’ අම්මා කීවා ය.
“මඩුවත් සරහලා ඉවරයි. කොළ කෑලි කිසි දෙයක් මුහු කරන්නෙ නැතුව ඔක්කටම ගත්තෙ ළා පොල් අතුයි. ගොප්කොළයි විතරයි. හරිම ලස්සනයි. පාට පොවාපු බඩල්වනස්සා පොල්අතු මඩුව වටේටම සැරසුවා. උස ඉලත්තට්ටුව හොඳට මැද්දෙව්වා හරියට අලුත් එකක් වගෙයි.”
“මොනව දාල ද මැද්දෙ…..?”
“අන්නාසිපිලි තළලා, ගඩොල් කුඩු දාලා හොඳට මැද්දම දිළිසෙනවා”
“කුකුළා පහන මැද්දෙත් ඒ විදිහට තමා. දැන්නම් පිළිවෙළයි”
“හාමිනේගෙ කනකර මාල ඔක්කොම හරිද? අම්මගෙ නම් තියෙනවා. අම්මා යන්නෙ දෙවැනි
දවසෙනේ. මනමාලි කැන්දන් එනදාට අපි බුලත් ආදරයක් කියමු. පුංචි උන් නොගියට කාරි නෑ”
“ඔය මඟුලෙන් අපට වැඩක් නෑ. නේද අයියෙ?”. මල්ලී මගෙ කනටකර කීවේ ය.
රත්නා කහඳගමගේ