එකමත් එක නගරයක යෝධයෙක් වාසය කළා. මේ යෝධයාට විශාල මාලිගාවක් සහ අලංකාර උද්‍යානයක් තිබුණා.
මේ නගරය අසල ජීවත් වූ ළමයි හැමදාම හවස ඉස්කෝලේ ඇරිලා ඇවිත් යෝධයාගේ වත්තට ගිහින් සෙල්ලම් කරන්න පුරුදු වෙලා හිටියා . මෙම උද්‍යානය මෘදු කොළ පැහැති තණකොළ සහිත විශාල සුන්දර උද්‍යානයක් වුණා . තණකොළ මත තැනින් තැන තරු මෙන් අලංකාර මල් හටගත් අතර, වසන්ත කාලයේදී රෝස පැහැති සහ මුතු මෙන් සුදු
පැහැති සියුම් පීච් මල් පිපෙන පීච් ගස් දොළහක් ද එහි තිබුණා. සරත් ඍතුවේදී පීච් පල
දැරුවා . කුරුල්ලන් ගස් මත වාඩි වී කෙතරම් මිහිරි ලෙස ගායනා කළා ද කියනවා නම් , ළමයින් ඒවාට සවන් දීම සඳහා ඔවුන්ගේ ක්‍රීඩා නැවැත්වීමට පුරුදු වී සිටියා .
“අපි මෙහි කොයිතරම් සතුටින් සිටිනවාද” ඔවුන් එකිනෙකාට කෑ ගැසුවා .
මේ යෝධයා එක දවසක් ඈත ප්‍රදේශයක වාසය කරන තම මිතුරකු මුණ ගැසීමට මාලිගාවෙන් බැහැරව ගියා .
ඔහු එම මිතුරාගේ නිවෙසෙහි බොහෝ කාලයක් නැවතී සිටියා . ඔහු තම මාලිගාවට ආපසු යෑමට තීරණය කළා . දවසක් යෝධයා ආපහු ආවා . ඔහු එනවිට වත්තේ සෙල්ලම් කරමින් සිටින ළමයින් දුටුවා
“ඔයාලා මෙතැන මොනවද කරන්නේ ?” ඔහු ඉතා රළු හඬකින් කෑ ගසමින් ඇසුවා . බියපත් වූ දරුවන් පලා ගියා .
” මේක මගේ මල් වත්ත. මගේම වත්ත. වෙන කාටවත් මෙහෙ එන්න බෑ ” යෝධයා පැවසුවා . ඕනෑම කෙනකුට ඒ්ක තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනෑ , මට හැර වෙන කිසිම කෙනකුට මේ උයනේ සෙල්ලම් කරන්න මං ඉඩ දෙන්නේ නෑ ” යෝධයා මේ විදියට හයියෙන් පැවසුවා .
එයින් පසු ඔහු උද්‍යානය වටේට උස් තාප්පයක් ඉදිකර දැන්වීම් පුවරුවක් ද එතැනින් සවි කළා .
‘අවසර නැතිව මෙම උද්‍යානයට ඇතුළු වීම සපුරා තහනම්’ යනුවෙන් එහි සටහන්කර තිබුණා .
ඔහු ඉතා ආත්මාර්ථකාමී යෝධයෙක්.
දුප්පත් ළමයින්ට සෙල්ලම් කරන්න වෙන කිසිම තැනක් තිබුණේ නැහැ. ඔවුන් මහ පාරේ සෙල්ලම් කිරීමට උත්සාහ කළත් මාර්ගය දූවිලි හා තද ගල්වලින් පිරී තිබූ නිසා ඔවුන් එයට කැමැති වුණේ නැහැ . ඔවුන් පාඩම් අවසන් වූ පසු උස් තාප්පය වටා ඇවිද ගොස් ඇතුළත ඇති අලංකාර උද්‍යානය ගැන කතා කළා .
“අපි කොච්චර සතුටින් එතැන හිටියා ද” ඔවුන් එකිනෙකාට පැවසුවා .
වසන්ත කාලය උදා වුණා . රට පුරා කුඩා මල් පිපුණු අතර, කුඩා කුරුල්ලන් ද ඉගිළ ගියා . ආත්මාර්ථකාමී යෝධයාගේ උයනේ පමණක් තවමත් තිබුණේ ශීත ඍතුවමයි. ළමයි නැති නිසා කුරුල්ලෝ ඒ උද්‍යානයේ සින්දු කියන්න ආවේ නැහැ.ගස්වල මල් පිපෙන්න අමතක වුණා . එක් වරක් ලස්සන මලක් තණකොළ අතරින් හිස ඔසවා බැලුවත් දැන්වීම් පුවරුව දුටු විට එය ළමයින් ගැන කනගාටු වූ අතර, එය නැවත බිමට ලිස්සා ගොස් නින්දට ගියා. සතුටු වූයේ හිම සහ තුහින විතරයි. “වසන්තයට මේ උද්‍යානය අමතක වෙලා , ඒ නිසා අපි අවුරුද්ද පුරා මෙහි වාසය කරමු” කියලා හිම සහ තුහින සතුටින් කෑ ගැසුවා . හිම ඇගේ විශාල සුදු සළුවෙන් තණකොළ වසා
දැමූ අතර, තුහින සියලු ගස් රිදී පැහැයෙන් පින්තාරු කළා එයින් පසු ඔවුන් උතුරු සුළඟට ඔවුන් සමඟ රැඳී සිටින ලෙස ආරාධනා කළා. උතුරු සුළඟ එහි පැමිණියා . උතුරු සුළඟ මුළු දවසම වත්ත පුරා ඝෝෂා කරමින්, දුම් කවුළු බිම දමන්නට මෙන් වේගයෙන් උයන පුරා ඇවිද ගියා . “මෙය ප්‍රියමනාප ස්ථානයක්” උතුරු සුළඟ පැවසුවා .
“අපිත් එක්ක සංචාරය කරන්න හිම කැට වැස්සටත් කතා කරමු .” ඉතින් හිම කැට වැස්සත් උතුරු සුළඟ වෙත ආවා . සුළඟ සහ හිම කැට වැස්ස සෑම දිනකම පැය තුනක් යෝධයාගේ
මාලිගාවේ වහලයට සෙවිළි කළ පතුරු කැඩෙන තුරු වහලය මත ඝෝෂා කළා . පසුව සුළඟ හැකි තරම් වේගයෙන් වත්ත වටේට දිව ගියා . සුළඟ ඇඳ සිටියේ අළු පැහැති ඇඳුමක් . සුළඟේ හුස්ම අයිස් වගේ වුණා.
“වසන්තය පැමිණීමට මෙතරම් ප්‍රමාද වන්නේ ඇයිදැයි මට තේරුම් ගන්න බැහැ ” ආත්මාර්ථකාමී යෝධයා ජනේලය අසල වාඩි වී ඔහුගේ සීතලම සීතල හිමෙන් වැසුණු ගෙවත්ත දෙස බලමින් පැවසුවා.
“කාලගුණයේ වෙනසක් සිදුවනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා ”
මෙසේ සිතමින් පිටත බැලූ ඔහු දුටුවේ අපූරුම දසුනක්. බිත්තියේ කුඩා සිදුරකින් ළමයින් උද්‍යානයට රිංගා ඇති අතර, ඔවුන් ගස්වල අතුවල වාඩි වී සිටියා. ඔහුට පෙනෙන සෑම ගසකම කුඩා දරුවෙක් සිටියා. ළමයින් නැවත පැමිණීම ගැන ගස් කොයිතරම් සතුටු වූවා ද කියනවා නම් ඔවුන් මල්වලින් වැසී ගොස් සිටි අතර, දරුවන්ගේ හිසට ඉහළින් තම අතු මෘදු ලෙස සෙලවූවා . කුරුල්ලන් ඉගිළෙමින් සිටි අතර, සතුටින් නාද කළා. මල් , තණකොළ අතරින් එබී බැලුවා. උද්‍යානයේ එක් කොනක පමණක් තවමත් සීත ඍතුව පැවතුණා. එහි කුඩා පිරිමි ළමයෙක් විශාල ගසක් ළඟ සිටගෙන සිටියා . ඔහු කොයිතරම් කුඩා ද කියනවා නම් , ඔහුට ගසේ අතු දක්වා ළඟා වීමට නොහැකි වූ අතර, ඔහු හඬමින් ඒ ගස වටා ඇවිදිමින් සිටියා . දුප්පත් ගස තවමත් හිමවලින් වැසී තිබූ අතර, උතුරු සුළඟ ඊට ඉහළින් හමායමින් ගොරවමින් සිටියා . “නඟින්න! පුංචි දරුවෝ ” ගස පැවසුවා . එය හැකි තරම් පහළට අතු පහත් කළා . ඒ්ත් පිරිමි ළමයා ඉතා කුඩා වූ නිසා ඔහුට ගසේ අත්තකටවත් නැඟ ගැනීමට හැකි වූයේ නැහැ. .
එය දුටු යෝධයාගේ හිත උණු වුණා. යෝධයා ජනේලයෙන් බලමින් සිතුවා . “මම කොච්චර ආත්මාර්ථකාමී ද!” ඔහු තමන්ටම කියා ගත්තා . “වසන්තය මෙහි නො එන්නේ ඇයිදැ යි මම දැන් දන්නවා . මම ඒ දුප්පත් කුඩා දරුවා ගස මුදුනේ තබනවා. එයින් පසුව මම තාප්පය කඩා දමනවා , මගේ උද්‍යානය සදා කාලයටම ළමා ක්‍රීඩා පිටියක් වේවි” යෝධයා ඇත්තටම තමන් කරපු දේ ගැන ගොඩක් දුක් වුණා .
ඔහු පහළ මාලයට පැමිණ ඉදිරිපස දොර තරමක් මෘදු ලෙස විවෘතකර උද්‍යානයට ගියා . එහෙත් ළමයින් ඔහුව දුටු විට ඔවුන් කෙතරම් බියට පත්වුණා ද කියනවා නම් , ඔවුන් සියලු දෙනාම පලා ගියා. උද්‍යානය නැවතත් ශීත ඍතුවක් බවට පත්වුණා . යෝධයා එනවා නොදැක්ක තරම් ඔහුගේ දෑස් කඳුළින් පිරී තිබූ නිසා කුඩා ළමයා විතරක් දිව ගියේ නැහැ . යෝධයා කුඩා දරුවාව මෘදු ලෙස අතට ගෙන ගසක උඩ අත්තක් මත තැබුවා. එම ගසෙහි එකවරම මල් පිපෙන්නට වුණා . කුරුල්ලන් පැමිණ ඒ ගසේ අතු මත නැවතී ගායනා කළා. කුඩා පිරිමි ළමයා තම අත් දෙක දිගුකර යෝධයාව බදා ගත්තා .
යෝධයා තවදුරටත් දුෂ්ට නොවන බව දුටු අනෙක් ළමයින් ආපසු දිව ගිය අතර, ඔවුන් සමඟ වසන්තය ද උද්‍යානයට ආපසු පැමිණියා. “දැන් මේ උද්‍යානය ඔයාලගෙයි, කුඩා දරුවනි” එසේ පැවසූ යෝධයා විශාල පොරොවක් ගෙන තාප්පය කඩා දැම්මා. මිනිසුන් එදින සැන්දෑවේ වෙළෙඳපොළට යන විට, ඔවුන් නගරයේ තිබෙන ලස්සනම උද්‍යානයේ යෝධයා ළමයින් සමඟ සෙල්ලම් කරමින් සිටිනු දුටුවා.
රෑ බෝවන වන විට දරුවන් යෝධයා වෙත පැමිණියේ ඔහුට සමු දීමටයි.
“ඒත් කෝ ඔයාලගේ පුංචිම යාළුවා? “මං ගස මත තැබූ පුංචි පිරිමි ළමයා” යෝධයා ඇසුවා. යෝධයා එම ළමයාට වඩාත්ම ආදරය කළේ ඔහුව සිප වැලඳගත් නිසයි.
“අපි දන්නේ නැහැ , ඔහු යන්න ඇති ” ළමයින් පිළිතුරු දුන්නා.
“ඔයාලා ඔහුට කියන්න මාව විශ්වාසකර හෙටත් මෙහි එන්න කියලා” යෝධයා පැවසුවා. ඒත් ළමයින් පැවසුවේ ඔහු ජීවත් වන ස්ථානය ඔවුන් නොදන්නා බව සහ මීට පෙර ඔහුව දැක නැති බවයි. එවිට යෝධයාට ගොඩක් දුක හිතුණා.
හැමදාම හවස ඉස්කෝලේ ඉවර වෙලා ළමයි ඇවිත් යෝධයා එක්ක සෙල්ලම් කළා. ඒත් යෝධයා ආදරය කළ කුඩා පිරිමි ළමයා නැවත කිසි දිනෙක ඔහුට හමු වුණේ නෑ.
එදා සිට යෝධයා සියලු දරුවන්ට ඉතා කරුණාවන්ත වුණා . ඒ්ත් ඔහු තම පළමු කුඩා මිතුරාට බෙහෙවින් ආදරය කළා . බොහෝ විට ඔහු කුඩා දරුවා ගැන කතා කළා .
“මම ඔහුව දකින්න කැමැතියි ඒත් ඔහුව හමුවන්නේ කොහොමද!” යෝධයා කියන්නට පුරුදුව සිටියා .
වසර ගණනාවක් ගෙවී ගිය අතර, යෝධයා බෙහෙවින් වයස්ගත වී දුර්වල වුණා. ඔහුට තවදුරටත් සෙල්ලම් කිරීමට නොහැකි වූ නිසා ඔහු විශාල හාන්සි පුටුවක වාඩි වී ළමයින් සෙල්ලම් කරන දෙස බලා ඔහුගේ උද්‍යානය අගය කළා. “මට ලස්සන මල් ගොඩක් තියෙනවා,” ඔහු පැවසුවා. “ඒත් දරුවන් තමයි සියල්ලටම වඩා ලස්සන මල්.”
ඔහු දැන් ශීත ඍතුවට වෛර කරන්නේ නෑ. ඒ මොකද කියනවා නම් සීත කාලය උදා වන්නේ වසන්ත කාලය නිදාගෙන විවේක ගන්නා නිසා බවත් මල් පවා එවිට විවේක ගන්නා බවත් ඔහු දැන සිටි නිසයි. එක් ශීත ඍතුවක උදෑසන ඔහු ඇඳුම් අඳීන අතරේ, ජනේලයෙන් එබී බැලුවා
එක්වරම දුටු දෙයින් ඔහු පුදුමයෙන් දෑස් පිසදමා නැවතත් පිටත බැලුවා. එය නිසැකවම ආශ්චර්යවත් දසුනක් ! වත්තේ ඈත කෙළවරේ ලස්සන සුදු මල්වලින් වැසී ගිය ගසක් තිබුණා. එහි අතු සියල්ල රන්වන් වූ අතර, රිදී පැහැති ගෙඩි ඒවායේ එල්ලී තිබුණා. ඊට යටින් ඔහු ආදරය කළ කුඩා පිරිමි ළමයා සිටියා.
පහළ මාලයට ඇවිද ගිය යෝධයා මහත් ප්‍රීතියෙන් උද්‍යානයට වේගයෙන් ඇවිද ගියා. ඔහු ඉක්මනින් තණකොළ හරහා ගොස් දරුවා අසලට පැමිණියා. ඔහු දරුවාට ඉතා ළං වූ විට ඔහුගේ මුහුණ කෝපයෙන් රතු වී ගියා. ඔහු දරුවාගෙන් මෙහෙම ඇසුවා. “ඔබට තුවාල කිරීමට එඩිතර වූයේ කවුද?” ඔහු එසේ ඇසුවේ දරුවාගේ අත්වල නියපොතු දෙකක තුවාල සලකුණු සහ කුඩා පාදවල නියපොතු දෙකක තුවාල සලකුණු තිබෙනු දුටු නිසයි.
“ඔබට තුවාල කිරීමට නිර්භීත වූයේ කවුද?” යෝධයා කෑගැසුවා. “මට කියන්න, මම මගේ විශාල කඩුව ගෙන ඔහුව මරා දමනවා”
“නැහැ! කවුරුවත් මාව තුවාල කළේ නෑ. මේවා ආදරයේ තුවාලයි” දරුවා පිළිතුරු දුන්නා.
“ඔබ කවුද?” යෝධයා පැවසූ අතර, දරුවා කෙරෙහි අමුතු බියක් ඇති වුණා. ඔහු කුඩා දරුවා ඉදිරියේ දණින් වැටුණා.
එවිට දරුවා යෝධයා දෙස බලා සිනාසී, “ඔබ මට වරක් ඔබේ උද්‍යානයේ සෙල්ලම් කිරීමට ඉඩ දුන්නා, අද ඔබ මා සමඟ මගේ උද්‍යානය වන පාරාදීසයේ සදහටම වාසය කරන්න එන්න” යැයි යෝධයාට පැවසුවා.
එදින සවස් වරුවේ ළමයින් උද්‍යානයට දිව ගිය විට, යෝධයා ගස යට මිය ගොස් සිටින බවත් ඔහුව ගසෙහි සුදු මල්වලින් වැසී ඇති බව දුටුවා.
අයර්ලන්ත ජාතික ලේඛක ඔස්කාර් වයිල්ඩ් විසින් රචනා කරන ලද THE SELFISH GIANT සුරංගනා කතාව ඇසුරෙන්
හර්ෂණී ගමගේ