Home කතන්දර මායා කුමරියන් දෙදෙනා

මායා කුමරියන් දෙදෙනා

by thanushika
0 comment

එක රාජධානියක රජුට හා රජ බිසවට දුවලා දෙන්නෙක් හිටියා. බාල දුව ස්ටෙලා නම් හරිම කරුණාවන්තයි. ඒත් වැඩිමහල් දුව ජෙසිකා නම් හරිම ආඩම්බරයි. ඔන්න හිටි හැටියේම රජුට හා බිසවට භයානක රෝගයක් හැදුණා. මේ රෝගය නිසා ටික දවසකින් රජු හා බිසව මරණයට පත්වුණා. ඊට පස්සේ රාජධානිය උරුම වුණේ බාල දුව ස්ටෙලා කුමරියටයි. මේ බව දැන ගත් ජෙසිකා කුමරිය ගොඩාක් කලබල වුණා. එයාට හරිම තරහයි. ඉතින් රාත්‍රිය පුරාම කල්පනා කරපු ජෙසිකා කුමරිය උදේම අවදිවෙලා ස්ටෙලාගේ කාමරයට ගියා. ඊට පස්සේ ජෙසිකා ස්ටෙලාට මෙහෙම කිව්වා.

” ඔයාට නෙවෙයි රාජධානිය හම්බවෙන්න තිබුණේ මටයි. මමයි වැඩිමහල් කුමරිය. මේක හරිම අසාධාරණයි.”

“අනේ අක්කේ ඔයා ඇයි මට ඔහොම කතා කරන්නේ. අපේ පිය රජතුමානේ මාව මීළඟ පාලිකාව විදිහට නම් කරලා තියෙන්නේ. ඒක නිසා මට කරන්න දෙයක් නෑ.” ස්ටෙලාත් ටිකක් තරහින් කිව්වා.

“එහෙනම් ඔයාම ඔය රාජධානිය පාලනය කරන්න. මම යනවා යන්න. හැබැයි මම ආයෙ දවසක එනවා. ඒ ඔයාගෙන් මගේ රාජධානිය අයිති කරගන්න බලාගෙන. එදාට මම ඔයාව විනාශ කරනවා.”ජෙසිකා තරහෙන් ස්ටෙලාට බැණලා රාජධානියේ ඉන්න බලගතු මායාකාරයෙක් වෙච්ච මායාකාර විලියම්ව හොයාගෙන යන්න තීරණය කළා.

එයා හොර රහසේම මාලිගාවෙන් පිට වුණා. එයා ටික දුරක් ගමන් කළා. ඊට පස්සේ එයාට පුංචි ගෙදරක් හම්බ වුණා. එයා දන්නේ නැති වුණාට ඒ තමයි විලියම්ගේ ගෙදර. ජෙසිකාට හොඳටම මහන්සි නිසා එයා ඒ ගෙදර දොරට තට්ටු කළා. එයා දැකපු දෙයින් පුදුමයට පත්වුණා. ඒ දොර ළඟ හිටියේ වයසක පුද්ගලයෙක්.

“එන්න ඇතුළට ඔබට හුඟක් මහන්සි පාටයි. මේ සිසිල් පැන් බොන්න. ටිකක් අසුන් අරගෙන වෙහෙස නිවාගන්න. මේ ආහාර අනුභව කරන්න.” වයසක පුද්ගලයා කරුණාවෙන්

කතා කළා.

“ඔබ කවුද?” ජෙසිකා සැක සහිතව ඔහුගෙන් ඇසුවා.

“මම තමයි මායාකාර විලියම්. මේ රාජ්‍යයේ ඉන්න බලගතුම මායාකාරයා මම තමයි”. එසේ කියමින් ඔහු තමාව ඇයට හඳුන්වා දුන්නා.

ඔහු කියපු දෙයින් ඇය පුදුමයට පත්වුණා.

“මම ආවෙත් ඔබව හොයාගෙන”. ජෙසිකා උත්තර දුන්නා.

“ඒ මොකටද ඔබ මාව හොයාගෙන ආවේ? මේ රාජ්‍යයේ ඉන්න බලගතුම කුමාරිකාවට මොනවද මගෙන් කෙරෙන්න ඕන?” මායාකාර විලියම් ඇසුවා.

“මට ඕනේ අඳුරු මායාවන් ඉගෙන ගන්න”. ජෙසිකා කුමරිය උත්තර දුන්නා.

ජෙසිකා කියපු දෙයින් විලියම් පුදුමයට පත්වුණා.

“ඔබ මොකටද අඳුරු මායාවන් ඉගෙන ගන්නේ? මොකක්ද ඔබේ අරමුණ?” විලියම් සැකෙන් ඇසුවා.

“මට ඕන ස්ටෙලාගේ රාජධානිය විනාශ කරන්න. එයා මට වංචා කරලා රාජධානිය මගෙන් උදුර ගත්තා”. ජෙසිකා උත්තර දුන්නා.

“බොහොම හොඳයි ජෙසිකා. මටත් ඕන වෙලා තිබ්බේ ඒක කරන්න තමයි. මම ඔබට උදව් කරන්නම්. අපි එකතුවෙලා වැඩ කරමු.” විලියම් මහ හයියෙන් හිනා වෙවී ජෙසිකාට කිව්වා.

ඊට පස්සේ දෙන්නත් එක්ක එකතුවෙලා අඳුරු මැජික් පුරුදු වුණා. ජෙසිකාට හොඳට අඳුරු මැජික් පුරුදු කරන විදියට කපටිකමෙන් ජසිකා සතුව තිබ්බ බලය තමන් යටතට ගත් විලියම් හිනා වෙවී තමාටම මෙහෙම කියා ගත්තා

“කොච්චර හොඳද දැන් මට මගේ වැඩේ ඉබේම කරගන්න පුළුවන්”.

ඊට පස්සේ දෙන්නත් එක්ක එකතුවෙලා ස්ටෙලාගේ රාජධානියට පහර දෙන්න සූදානම් වුණා.

ඒ වුණාට ජෙසිකා දන්නෙ නෑ විලියම් ඇයව තමන්ගේ කුමන්ත්‍රණයකට යොදා ගන්නවා කියලා. තමන්ගේ බලය විලියම් අර ගත්තා කියලවත්.

ඔහොම ටික දවසක් ගිහින් දවසක් දෙන්නත් එක්ක එකතු වෙලා ස්ටෙලාගේ රාජධානියට ගියා. ජෙසිකා රාජධානියට රහස් මාර්ග ඔස්සේ විලියම්ව එක්ක ගෙන ගියා. මේ බව දැන ගත් ස්ටෙලා තමාගේ රාජධානිය ආරක්ෂා කරන්න ඉස්සරහට ආවා.

“මම තමයි ලෝකෙන්ම ඉන්න බලවතා. දැන්වත් මට යටත් වෙලා රාජධානිය මට භාර දීලා පණ බේරගෙන යන්න” විලියම් හයියෙන් හිනහ වෙවී කිව්වා.

“අක්කේ ඔයා ඔය මොකක්ද කරන්න හදන්නේ? ඔය නපුරු මායාකාරයත් එක්ක එකතු වෙන්න එපා. අපේ රාජධානිය විනාශ වෙලා යාවි” ස්ටෙලා වැලපෙමින් කිව්වා.

ඒක අහපු ජෙසිකා මහ හයියෙන් හිනා වුණා.

“අපේ රාජධානිය, මේක අපේ රාජධානිය නෙවෙයි. මේක ඔයාගේ රාජධානිය. ඒ වුණාට තව ටික වෙලාවකින් මේක මගේ රාජධානිය වෙනවා”. ජෙසිකා ආඩම්බරයෙන් කිව්වා.

කපටිකමින් හිනාවෙච්ච විලියම් එකපාරටම ජෙසිකාට පහරක් එල්ල කළා. ඒක දැකලා ස්ටෙලා ඉක්මනින් ජෙසිකා ඉන්න තැනට දුවගෙන ගියා. ස්ටෙලා හයියෙන් එයාගේ අක්කාව වැලඳගත්තා. ඊට පස්සේ එයා ඇත්ත එළි කළා.

“අක්කේ අපි දෙන්නටම මායා බල තියෙනවා ඒක දැනගෙන හිටියේ මමයි අපේ අම්මයි තාත්තයි විතරයි. ඒක නිසා අපි එකතුවෙලා විලියම්ව පරාජය කරමු. එයා හදන්නේ අපි දෙන්නටම පහර දීලා අපේ රාජධානිය විනාශ කරන්න. අනේ ඒක වෙන්න දෙන්න එපා. ඔයාගේ මායා බලය විලියම් උදුරගෙන. ඒකයි එයා ඔයාට පහර දුන්නේ. ඒත් අපි එකතුවෙලා ආයෙ ඒ බලය ලබා ගනිමු” ස්ටෙලා පැහැදිලි කළා.

ඒක ඇහුවාම ජෙසිකා කුමරියට ඇත්ත තේරුම් ගියා. එයා විලියම්ට රැවටිලා කියලා තේරුම් ගියා. අවසානයේ ස්ටෙලයි ජෙසිකයි දෙන්නම එකතුවෙලා විලියම්ට පහර දුන්නා. ගොඩාක් දුර්වල වුණු විලියම් අවසානයේ පරාජය භාරගත්තා. ඊට පස්සේ ඒ දෙන්නම එකතුවෙලා සතුටින් සමගියෙන් තමන්ගේ රාජධානිය පාලනය කළා. ආයෙ කවදාවත් එයාලා බලය නිසා රණ්ඩු කළේ නෑ. තරහා වුණේ නැහැ.

ටී. ඩබ්ලිව්. මෙතුලි උමල්ජා

5 වසර

මො/මල්වත්තාවල ප්‍රාථමික විදුහල


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department