Home උරුමයක වගතුග අනුරාධපුරයේ තරු දොරටුව

අනුරාධපුරයේ තරු දොරටුව

by thanushika
0 comment

ආදරණීය දුවේ පුතේ, ඔන්න අද උරුමයක වගතුගවලින් ඔයාලට මම කියලා දෙන්න සූදානම් වෙන්නේ වෙනදා කියලා දීපු ඓතිහාසික ස්ථානවලට වඩා ටිකක් වෙනස් ස්ථානයක් පිළිබඳයි.

ඒ තමයි අනුරාධපුරයේ පිහිටි රන්මසු උයනේ පර්වතයක් මත ඉදිකරන ලද තරු දොරටුව නමින් හඳුන්වන ඓතිහාසික නිර්මාණය.

අනුරාධපුරයේ පිහිටි රන්මසු උයන එහෙමත් නැත්නම් රන්මාළු උද්‍යානය වශයෙන් හඳුන්වනු ලබන ස්ථානයේ පිහිටි විශාල පර්වතයක් මත මෙම කෞතුක වස්තුව පිහිටා ඇත. එය සක්වළ චක්‍රය, විශ්ව චක්‍රය ලෙසින් ද හැඳීන්වේ. ශ්‍රී ලංකාවේ තරු දොරටුව වශයෙන් හඳුන්වා ඇති මෙම අසාමාන්‍ය හා පැහැදිලි කළ නොහැකි පුරාවස්තුව මඟුල් උයන, රාජකීය වනෝද්‍යාන, විශාල ගල් සහ සමහර ලෙන් මත පිහිටා තිබේ. විශාල ගල් පර්වතවල බෑවුම් සහිත පාෂාණ මුහුණතක කැටයම්කර ඇති මෙය විෂ්කම්භය මීටර් දෙකක් පමණ වන විශාල කවාකාර රූප සටහනකි. එහි විවිධ රවුම් හා සංකේත ද රටා ද ඇඳ ඇති අතර, ලංකාවේ පළමුවැනි පුරාවිද්‍යා කොමසාරිස් එච්. සී. පී. බෙල් මහතා විසින් මෙම චක්‍රය පිළිබඳ වැඩිදුර ගවේෂණය සිදුකර තිබේ. ඒ, ඔහු විසින් ඉසුරුමුණිය විහාරස්ථානයේ අවට ප්‍රදේශයේ සිදුකළ ගවේෂණ කටයුතුවලට සමගාමීව ය.

දහසකට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ අගනුවර වශයෙන් පැවැති අනුරාධපුරයේ ඉදිකරන ලද ආකර්ෂණීය නිර්මාණයක් වන්නේ ක්‍රිස්තු පූර්ව පළමුවැනි සියවසේ වසභ රජු විසින් ඉදිකරන ලද රන්මසු උයනයි. ගුරුත්වාකර්ෂණය භාවිත කරමින් ඉදි කරන ලද ජල ප්‍රවාහයක් සහිතව අපට දක්නට ලැබෙන විශේෂ අංගය නිර්මාණය වන්නේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝකය නියෝජනය කරන ලක්ෂ අටක් සහිත අඩි හයක් උස කළුගල් ව්‍යුහයක ය. ඒ තරු දොරටුවයි. එය පැරැණි ශ්‍රී ලාංකීය නිර්මාණකරුවන්ගේ ඉංජිනේරු විද්‍යාව හා තාරකා දැනුම පිළිබඳ කදිම උදාහරණයකි. තරු දොරටුව තාරකා හා ග්‍රහලෝකවල චලනය නිරීක්ෂණය කිරීමටත් ජ්‍යොතිෂ්‍ය කටයුතු සඳහා නිරීක්‍ෂණාගාරයක් වශයෙනුත් භාවිත කරන්නට ඇතැයි විශ්වාස කරයි. එය ටොන් කිහිපයක් බරැති විශාල කළුගල් පුවරු හයකින් සාදා ඇති අතර, ඒවා එකිනෙකට ගැලපෙන පරිදි කැටයම්කර සාදා ඇත. තරු දොරටුවේ ස්ථාන අටම සතුන්, දෙවිවරුන් සහ ආකාශ ජීවීන්ගේ රූප ඇතුළත් සංකීර්ණ කැටයම්වලින් අලංකාරකර ඇති අතර, තරු දොරටුවේ මධ්‍ය තරු දොරටුව මධ්‍යයේ තරු සහ ග්‍රහලෝක නිරීක්ෂණය කිරීමට භාවිත කළ බවට විශ්වාස කිරීමට හැකි වෘත්තාකාර සිදුරක් දක්නට ලැබේ. එම සිදුර අහස නිරීක්ෂණ සඳහා තීරණාත්මකව යොදා ගනු ලබන තාරකාව වශයෙන් හඳුනා ගෙන ඇති උතුරු තරුව දෙසට යොමු වන ආකාරයට පෙළගස්වා ඇත. ඒවාගෙන් පැරැණි ශ්‍රී ලාංකිකයන්ගේ තාරකා විද්‍යාව පිළිබඳ දැනුම ඉහළ මට්ටමක තිබූ බව අපට පැහැදිලි වේ.

රන් මසු උයනේ පිහිටා ඇති සක්වළ චක්‍රය එසේත් නැතිනම් විශ්ව චක්‍රය ලෙසින් හඳුන්වනු ලබන මෙම කැටයමේ විෂ්කම්භය මීටර් එකයි දශම අටකි. මෙම පුවරුවේ ඉදිරිපස මුහුණත නැරඹිය හැකි ලෙස සකස් කරන ලද ආසන හතරකි. එකී ආසන කුමන කටයුත්තක් සඳහා යොදා ගන්නා ලද්දේදැයි මෙතෙක් නිශ්චිතව හඳුනාගෙන නැති අතර,

ඒ නිර්මාණය සිදු කරන ලද්දේ කුමන කාලයේදී දැයි ද මෙතෙක් හඳුනාගෙන නැත. එසේම මෙම නිර්මාණයේ පැවැත්ම, ක්‍රියාකාරීත්වය හෝ ඊට අදාළ වෙනයම් කිසිදු සටහනක් මෙතෙක් සොයාගෙන නොමැති බව වැඩිදුරටත් පර්යේෂණය සිදු කරනු ලැබූ මහාචාර්ය රාජ් සෝමදේවයන් ප්‍රකාශ කරයි. මෙම සක්වළ චක්‍රයේ මධ්‍ය කේන්ද්‍රය සමාන්තර සිරස් සහ තිරස් රේඛා මඟින් බෙදුණු කව හතකින් සමන්විත වන අතර, ඍජුකෝණාස්‍ර කුටි හරස් කවයන්ගෙන් යුක්ත වේ. අවසන් වළල්ලේ මුහුදු ජීවීන්, මත්ස්‍යයන්, ඉබ්බන් සහ මුහුදු අශ්වයන් කැටයම් කර ඇති අතර, දුනු සහ ඊතල විවිධාකාර හැඩයේ රේඛාවන් සමස්ත කැටයම පුරාම දක්නට ලැබේ. එය අනුරාධපුර යුගයට අයත් වෙනත් කැටයම් නිර්මාණ හා සැස¼දීමේදී වෙනස් ස්වරූපයක් ගන්නා අතර, මෙහි අඩංගු බොහෝ කැටයම් ආගමික ස්වරූපයෙන් බැහැරව තිබීම තවත් විශේෂත්වයකි.

මේ පිළිබඳ අදහස් දක්වනු ලබන එච්.සී.පී. බෙල් මහතා මෙය පෞරාණික විශ්වීය චිත්‍රයක් ලෙස හඳුන්වා දී තිබේ. මහාචාර්ය රාජ් සෝමදේවයන් පවසන්නේ මෙම සිතියම ලෝකයේ මුල් සිතියමක් විය හැකි බවයි. ⁣මෙසේ කුමන ආකාරයේ ප්‍රකාශ නිකුත් කළත් ශ්‍රී ලංකාවේ තරු දොරටුව එසේත් නැත්නම් සක්වළ චක්‍රය නමින් හැඳීන්වෙන මෙම නිර්මාණය කුමන කටයුත්තක් සඳහා කෙසේ යොදා ගත්තේ ද යන්න පිළිබඳ තවමත් අබිරහසක්ව පවතී.

ලක්නා නිරෝෂිමාලා


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department