හ/ වකමුල්ල කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිනි
මංජු නිරෝෂා
වර්තමානයේ පාසල් දරුවන් අධ්‍යාපනයට මෙන්ම අනෙකුත් බාහිර දේවල් සඳහා තමන්ගේ අවධානය යොමු කිරීම මේ වන විට සාමාන්‍ය සිරිතක් වී තිබේ. මේ නිසා දරුවන් මේ වනවිට සමබර අධ්‍යාපනයකට හැඩ ගැසී තිබේ. ඒ පිළිබඳ හ/වකමුල්ල කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිනිය වන මංජු නිරෝෂා මහත්මිය කියන කතාව අපි විමසා බලමු.
” අපේ පාසල ආරම්භ කළේ 1957 වර්ෂයේදීයි. මේ වන විට අපේ පාසලට අවුරුදු 67ක් පමණ වෙනවා. අපේ පාසලේ 1 සිට 11 ශ්‍රේණිය දක්වා තිබෙනවා. ඒත් අනෙක් පාසල්වලට වඩා අඩු ප්‍රමාණයක් තමයි අපේ පාසලේ සිටින්නේ. එයට හේතුව අපේ පාසල අවට පාසල් විශාල ප්‍රමාණයක් තිබීමයි.මේ වන විට අපේ පාසලේ ගුරුවරුන් 13ක් සිටිනවා. මා පැමිණි කෙටි කාලයේදී අපේ පාසල පෝෂිත පාසලක් කිරීම සඳහා මම ලොකු වෙහෙසක් ගත්තා. ඒ සඳහා දරුවන් සහ ගුරුවරුන් හඳුනාගෙන ආදරණීය සබඳතාවක් ගොඩනැඟිය යුතුයි. ඒ කාර්යය මම ඉතා ආදරණීයව කරගෙන ගියා. ගුරුවරු, දරුවන්, මව්පියන් මේ සියලු දෙනා එකතු කිරීම වෙනම කාර්යයක්. මේ සියල්ල මැදහත් සිතින් කරන්න අප සියලුදෙනාම උපක්රමශීලි විය යුතුයි. එයට හේතුව එය ආදරණීය ආමන්ත්රණයකින් අප එකිනෙකා බැඳී සිටීම.”
” අපේ පාසලේ බොහෝ පීඩාවට පත් වුණ දරුවන් ඉන්නවා. එයට හේතුව ඇතැම් දරුවන් පවතින සමාජ ක්‍රමය නිසා හෝ පරිසරයේ ඇතිවී ඇති තත්ත්වය නිසා තැළෙනවා. එහෙත් අපි කළයුත්තේ ඒ දරුවන්ට සිනාසෙමින් අධ්‍යාපනය ලබා දීමයි. ඒ වගේම දරුවන්ට ආදරයෙන් කරුණාවෙන් කතා කරන කොටත් ඔවුන් කැමැතියි. වර්තමානයේ දරුවන් බොහෝ දෙනා අපේක්ෂා කරන්නේ ආදරය සහ කරුණාවයි. මේ නිසා අප ඔවුන්ව ආදරයෙන් කරුණාවෙන් ළං කරගත යුතුයි.
එසේ ළං කරගැනීමෙන් තමයි ඔවුන්ට අධ්‍යාපනය ලබා දිය යුතු වන්නේ. දරුවන් සෑමදෙනාම බලාපොරොත්තු වන්නේ ඉදිරියට යන්නයි. ඒත් ඒ අයට ඒ පිළිබඳ අවබෝධයක් නැහැ. මේ නිසා ගුරුවරු වශයෙන් අප එය පෙන්වා දිය යුතුයි. දරුවන්ට වර්තමානයේ හොඳ මාර්ගය පෙන්වුවහොත් ඒ අයට ඒ අයගේ අනාගතය හදාගන්න පුළුවන්. දරුවකු වෛද්‍යවරයකු, ගුරුවරයකු, විද්‍යඥයකු වන්න පුළුවන්. ඒත් ඒ අයට හොඳ පුරවැසියකු වන්න මඟපෙන්වීමක් කරන්න අවශ්‍යයි. මම, මගේ පාසලේ දරුවන්ට පුළුවන් ආකාරයට මඟපෙන්වීම ලබා දෙනවා. ඒ අය ඒ දේවල් අහලා තමන්ගේ මාර්ගය හෙළිපෙහෙළි කරගන්නවා. ඒක දරුවන්ගේ අනාගතයට වටිනවා. දරුවන් කියන්නේ මල් වගේ. ඔවුන්ගේ හදවත් ඒ වගේම සිනිඳුයි. ඒ නිසා අප ඒ වගේ අයත් සමඟ ගනුදෙනු කරන්න ඕනේ ඉතාමත් පරිස්සමින්. කුඩා කාලයේදි දරුවකුට හානි වුණොත් ඒක, එයාගේ අනාගතයටම බලපානවා. මේ නිසා සෑම විටම අප දරුවකු අවබෝධ කරගත යුතුයි. මම එලෙස දරුවකු අවබෝධ කරගන්න උත්සාහ කරනවා. හැම ගුරුවරයකුම, වැඩිහිටියකුම, විදුහල්පතිවරයකුම එසේ වුවහොත් ඒක අගය කළ යුතු කාර්යයක් වශයෙන් මම සලකනවා. බොහෝ වැඩිහිටියන් මේ පිළිබඳ තැකීමක් කරන්නේ නැහැ. ඒත් ඒ පිළිබඳ උනන්දුවීම ඉතා වැදගත් වෙනවා. දරුවකු පාසලෙන් අස්වන විට අධ්‍යාපනයේ දක්ෂ බවට සහතිකයක් මෙන්ම ජීවන සහතිකයක් ද අප නිකුත් කරනවා. මම හිතන්නේ ඒක තමයි වැදගත්ම දෙය.”
එතුමිය අපේක්ෂා කරන දෙය ඒ අයුරින්ම ඉටු වේවා යැයි
අපි මිහිර වෙතින් සුබ පතමු.
රූපාන්ති බුලත්සිංහල
ඡායාරූප – පාසලේ ඡායාරූප අංශය