වසර දෙදහස් පන්සියයකට නොඅඩු අඛණ්ඩ ලිඛිත ඉතිහාසයකට උරුමකම් කියන හෙළදිව ගාම්භීර රාජාවලියේ පණ්ඩුකාභය රජුගෙන් ඇරැඹි අභිමානවත් රාජධානියක ජන්ම උරුමකරැවන් වන්නට අපි සැවොම භාග්‍යවන්තයෝ වූවෙමු. රජරට වැව් බැඳී රාජධානියේ කීර්තිමත් හෙළ රජ පරපුරෙන් පැවත එන තිස්ස රජ සමය හෙවත් ශ්‍රී බුද්ධ වර්ෂ 294 සමය මෙරට ඉතිහාසය මුළුමනින්ම වෙනස් කළ සන්ධිස්ථානයක් විය. එවක තම ස්වෝත්සාහයෙන් අඛණ්ඩ කටුක මඟක පිය නැඟීමේ ප්‍රතිඵලයක් ලෙසින් නිර්මිත අඛණ්ඩ භාරතයේ අධිරාජයා වූ ධර්මාශෝක නම් කීර්තිමත් අධිරාජයා හා මෙරට තිස්ස රජුන් අතර තිබුණු අග්‍රගණ්‍ය මිත්‍රත්වයේ සංකේතයක් වශයෙන් ධර්මාශෝක අධිරාජයන් විසින් ලබා දුන් පංච කකුධ භාණ්ඩත්, “දෙවියන්ට ප්‍රිය වූ” යන ගෞරව නාමයත් සමඟින්, තිස්ස රජු
“දේවානම් පිය තිස්ස” නමින් දෙවැනි වරට අභිෂේක ගැන්වී ය. එවක භාරතයේ දී අධිරජ ධර්මාශෝකයන්ගේ අනුග්‍රහයෙන්, මොග්ගලීපුත්ත තිස්ස හිමියන්ගේ මූලිකත්වයෙන් පැවැත්වුණු තෙවැනි ථෙරවාදී ධර්ම සංගායනාවේ උත්තුංග මෙහෙයක් ලෙසින් ධර්ම දූත සේවය ව්‍යාප්ත විය. එලෙස ලක්දිවට බෞද්ධ දර්ශනයේ අමා දහර දායාද කිරීමෙහි ලා අධිරජ ධර්මාශෝකයන්ගේ පුත් මහේන්ද්‍ර හිමියෝ මෙරට සපැමිණීම බෞද්ධ ඓතිහාසයේ විශේෂ සන්ධිස්ථානයකි. මහින්දාගමනය අප සැවොම දන්නා කතා පුවතකි. අනුබුදු මහින්ද හිමියන් සහ ඉට්ඨිය, උත්ථිය, සම්බල, බද්දසාල යන හිමිවරුන් ද සුමන නම් සාමණේර හිමියන් සහ භණ්ඩුක නම් උපාසකයන් ද බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලක්දිවට දායාද කරනු වස් ඍද්ධි බලයෙන් මේ අනුරාධපුර ශුද්ධ භූමියේ පිහිටි අම්බස්ථලයට වැඩම කළහ. එදින මුව දඩයමේ ගිය දේවානම් පියතිස්ස නිරිඳුන්, අම්බස්ථලයේදී මිහිඳු හිමියන් අභිමුඛ විය. රජුගේ නුවණ විමසනු වස් අසන ලද පැනයන්ට තාර්කික පිළිතුරු ලබා දීමත් සමඟ, රජුගේ නුවණ වටහාගත් මිහිඳු හිමියන් මෙරට බෞද්ධ දර්ශනයේ මූල බීජය රෝපණය කළහ. ලක්දිව පාලකයා බෞද්ධයකු විය යුතු බව එදා පටන් වර්තමානය දක්වා පොදු ජනතාවගේ පැවත එන මතයකි. මෙරට බුදු සසුන පිහිටුවීමත් සමඟ, පර්වතවලට වන්දනා කිරීම වෙනුවට චෛත්‍යයන් ඉදි කිරීම ආරම්භ කෙරිණි. මේ වැව් බැඳී රාජධානියේ බැලූ බැලූ තැන විරාජමාන වන අහස සිඹින තරම් උස් වූ චෛත්‍ය රාජයන්ගේ මූල බීජය වූයේ එදා දේවානම්පිය තිස්ස රජුගේ අනුග්‍රහයෙන් ඉදි කෙරුණු ථූපාරාම චෛත්‍යයයි. මිහිඳු හිමියන්ගේ අනුශාසනාවෙන්, භාරතයෙන් වඩමවා ගත් බුදුරජාණන් වහන්සේගේ දක්ෂිණ අකු ධාතූන් වහන්සේ නිදන් කොට, වී ගොඩක හැඩයෙන් යුතු ව ඉදි කෙරුණු ථූපාරාම චෛත්‍යය අදටත් මේ පුණ්‍ය භූමියේ විරාජමාන වෙයි. ලක්දිව භික්ෂු ශාසනය ආරම්භ වීමත් සමඟ ලක්වැසියෝ ක්‍රමයෙන් බෞද්ධයන් බවට පත් වූහ. සමස්ථ දිවයිනම බෞද්ධ රාජ්‍යයක් විය. අනුරාධපුර රාජධානිය කේන්ද්‍ර කර ගනිමින් බුදු දහම වසර සිය ගණනක් වැජඹීය. මහින්දාගමනයත් සමඟින් ලක්දිවට අක්ෂර භාවිතය පිළිබඳ සාක්ෂරතාව හිමි විය. එ පමණක් නොව, විවිධ හස්ත කර්මාන්ත රැසකට උරුම කම් කියන්නට මෙරට වැසියන්ට හැකි වූයේ මහින්දාගමනයත් සමඟිනි. ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක ක්‍රමවත් සුමඟ පරිවර්තනයකට මිහිඳු හිමියෝ මුලසුන දැරියහ. බුද්ධ දේශනය පරිදි බුද්ධ පරිනිර්වාණයෙන් පසු නිර්මල ථෙරවාදී බුදු දහම යම් ලෙසකින් හෝ පවතින්නේ නම් ඒ හෙළදිව ජන සිත් තුළ ය.
ජනක බණ්ඩාර ඉලංගසිංහ
කිංස්වුඩ් විද්‍යාලය, මහනුවර