“ ඉස්කෝලේ නිවාඩුවක් ඉවර වුණා ලොකු දරුවගේ පොත් ටික අද හෙටම ගේන්න ඕනේ” කියන අම්මා මගෙත් මල්ලීගේත් කොණ්ඩය කප්පා ගැනීමට යෑමට සූදානම් වන ලෙස කීවා ය.
“මේ දරුවන්ගෙ කොණ්ඩය කපන්නවත් අප්පච්චිට ඕනෑකමක් නැහැ නොවැ”
“මොකටද අම්මේ මෙයාලගේ කොණ්ඩේ කපලා? මේ මාත් කොණ්ඩේ බැදලානේ ඉන්නේ” අප්පච්චි කීවේ
අත්තම්මා කේන්ති ගැස්වීමට ය.
අප දෙදෙනා සමඟ අම්මා ආවේ සුදු කමිස දෙකක් මහන්නට සූරි අයියාට මිම්ම දෙන්නටත් සමඟ ය.
අපට කොණ්ඩය කප්පා ගැනීමට නම් බාබර් සාප්පුව තිබුණේ උගන්විටිය පිල්ලෑව හන්දියේ ය. ටේලර් සාප්පුව ද වූයේ ඒ ආසන්නයේම ය.
අම්මා සමඟ වැල්පාලමෙන් එගොඩ වී අපි පයින්ම හන්දියට ගියෙමු.
මුලින්ම ඇඳුම්වලට මිමි දී පසුව බාබර් සාප්පුවට ගියෙමු.
“ නංගි, දරු දෙන්නා එක්කගෙන ආවද කොණ්ඩය කප්පන්න? දැන් ඔය ගෙවල්වල කපලා හරියන්නේ නැහැ” අමුවල ගොඩේ වඩු මාමා අම්මාට කියයි.
“හ්ම්…! විදානෙ මහත්තයට එන්න විදියකුත් නැහැ. අද හරක්ගේ හණ පුච්චන්න ගුරුන් උන්නැහේ එනවා කිව්වා. ඉතිං මංම ආවා කඩෙන් අහෙත් පහෙත් අඩුම කුඩුම ටිකකුත් අරගෙනම යන්න බැරියැ” අඩුම කුඩුම ටිකකුත් අරගෙනම යන්න බැරියැ” අම්මා පිළිතුරු දෙයි.
“හිච්චි හාමිනේ බොහොම දොහකින් නොවැ දැක්කේ” හෙණ්ඩු ගොඩැල්ලේ ගෙදර අත්තම්මා, අම්මා දැක කීවා ය.
“කහට ඇබින්දක් බීලා යන්න දරුවොත් එක්ක ගොඩ වුණා නම් ” ඇය ආරාධනාවක් ද කළා ය.
“දැන් බෑ අක්කණ්ඩියේ. ගෙදරත් වැඩ ගොඩක් පටලගෙන. පාලම ළඟ කඩෙන් දුරු මිරිස් ටිකකුත් ඇරන් යනවා ගෙදර” අම්මා කියයි.
“මම නම් ගිය ගමන් නානවා” මල්ලි කීවේ ය.
“මමත් නානවා” කෙස් කෑලි බෙල්ල පුරා ඇලී ඇති සෙයකි. බෙල්ල කසන්නේ ඒ නිසා විය යුතු ය.
අම්මා වැල් පාලම ළඟ කඩෙන් එන තුරු අපි දෙදෙනා වැල් පාලම උඩට වී සිටියෙමු.
“අයියා අර බලන්නකො අර ගල ළඟ ලොකු මාළු දෙන්නෙක්”
උන් ලොකු ය. කිසිවකුගේ දැලකට අසුවී නැති හෙයින් මෙසේ අපට දැකිය හැකි විය. අම්මා බඩුත් රැගෙන පාලම මුලට ආව ද අපි නොදුටිමු.
“ලොකු දරුවො කංචු, පුතාට ඇහැකි නේද මේ මල්ල ගන්න? පොඩී ඔයා මේ තෙල් ගැලුම අරගන්න. දඟලන්නේ නැතුව ඔය පාලමෙන් යමු. දැන් පාලමේ කම්බි උඩ දාපු සමහර කිතුල්පටි කැඩිලා” කියන අම්මා අපව ඉස්සර කර ගනී.
“අන්න අන්න අර තඩි මාළු දෙන්නා. අම්මේ අන්න බලන්න. මැද දුරක් පැමිණි මල්ලි පාලම උඩ නතරව ගඟ දිය ගල් කෙමේ පීනා යන මාළු පෙන්වයි.
“උන් ඔහේ හිටපුදෙන් අපි යමු. අර ගුරුන් උන්නැහේ හරක් හණ ගහන්න ඇවිල්ලත් ඇති” අම්මා කියයි.
“්අර වගේ තඩි මාළු අපේ තොටු පොළේ නැත්තෙ ඇයි අම්මේ….?”
“කවුද උන්ට කෑම ගෙනත් දෙන්නේ…? අතන නම් වීසිකරන පරණ පාන්, බනිස් වගේ දේවල් දෙනවා. දෙනවා කියන්නේ ගඟට විසික් කොරපුවාම උන් කනවා. උන් ඒවාට පුරුදු වෙලා කවුරුහරි එතැන මාළු අල්ලන්න ආවොත් කඩේ ලොකු මහත්තයා ලවා පන්න ගන්නවා. එතැන ගල් කෙමක් නොව. ඒවා අස්සේ උන් හැංගිලා ඉන්නවා. උන් ලොකු වෙන්න හේතුව ඒකයි.”
අම්මා අපට ලොකු විස්තරයක් කළා ය.
“හා……. දැන් යමු හොඳටම සුනංගු(ප්රමාද) වෙලා” අම්මා කීවා ය.
ගෙදර නොයා බැරි නිසාත් පාලමේ තවත් අය යන එන නිසාත් අපි ආවෙමු.
“අහ්… මේ දෙන්න කවුද?…”
“හාමිනේ අඳුන ගන්නත් බැරි විදියටම ලස්සනට කොණ්ඩෙ කපලා. මං හිතන්නේ සිස්සත්තෙට යද්දි බාබර් සාප්පුවෙන් කැපුවට පස්සේ ඔය කැපුවමයි” අප්පච්චි සිහිපත් කෙරුවේ ය.
ගුරුන් මාමා හරක් හණ ගහන හැටි බලන්න ගාල ගාවට යන්න අත්තම්මා ඉඩ දුන්නේ නැත.
“මොකෝ මේ ගාල ගාවට යන්න දත කන්නේ.? ඒ මනුස්සයාගේ රස්සාව නවත්වන්න ද?
යනවා යනවා ගඟේ වතුර හොඳටම වතුර අඩුයි. ගිහින් නාගෙන එනවා” අත්තම්මා අපට සැර කළා ය.
අපි ගඟට ගියෙමු. උදේ සිට වැලිගොඩ දැමූ පීටර් මාමා බට පඳුර යට වැල්ලේ සෙවණට වී සිටියි.
“මාමේ මහන්සි ද?”
“ ඔව් මහත්තයෝ. අපි දැන් වයසයිනේ.”
“දැන් දවල්ට කෑව ද මාමේ..?”
“නෑ පුතේ. ආයෙ කාලා මේ වැඩේ කරන්න බෑ, ඒ හින්ද දෙක තුන වෙද්දිත් මේක නතර කරනවා. ඒ සැරේ නා කියා ගෙන ගොහින් තියෙන දෙයක් ගිල දානවා.”
ඔහු කියයි.
“අපිත් වැලි මලු හත අටක් ඇදල දෙන්න ද මාමා…?”
“ අප්පේ විදානෙ මහත්තයාගෙන් මට දෝස් මුරේ අරං දෙන්නයි ඔය හදන්නේ”
“ නෑ…. නෑ….. බය වෙන්න එපා.
අත්තම්මා දොස් කිව්වත් අප්පච්චී මුකුත් කියන එකක් නෑ..” මම කීවෙමි.
මම ගෝණියටත්, මල්ලී පනිට්ටුවටත් වැලි ගොඩ දමමින් පීටර් මාමාට සහය වුණෙමු.
මේ අතර සුගතෙත් විමලෙත් ගඟේ පුංචි පුංචි රොඩු ගොඩවල් ගොඩ දමමින් මුල්කඩදූව තොටු පොළේ සිට උඩහට එමින් සිටියහ. විමලෙගෙ අතේ ඉස්සන් දැමූ කැටයකි. එය සාදා ඇත්තේ පොල් ගෙඩියකිනි.
සුගතෙ රොඩු වැල්ලට වීසිකරන විට උඩ පැන පැන යන ඉස්සන් අල්ලා පොල් කැටයට දැමීම විමලේ කරයි.
“අයියෝ… අපට ඔය දෙන්නව අඳුන ගන්න බැරිවුණා. කොණ්ඩෙ කැපුව ද? දැන් නම් මූණ කට හරිම එළියයි. හරි ලස්සනයි” සුගතේ කීවේ අප දෙස බලමිනි.
“දැන් මොකද මේ කරන්නෙ දෙන්න එක්ක?”
‘අනේ සුගතෙ මේ පීටර් මාමට උදව්වට වැලි මලු දෙකතුනක් ඇද්දා”
“කෝ… කෝ… දෙන්න අපිත් දෙන්නම් සපෝට් එක” ඔවුහු කීහ.
අපි මාරුවෙන් මාරුවට පීටර් මාමාට වැලි මලු විස්සක් විතර ගොඩ දා දුනිමු. එකිනෙකාට තෙහෙට්ටුව දැනෙන විට වැල්ලේම ඉඳගෙන සිටියෙමු.
ගඟේ එහා ඉවුරේ පේර ගසක ගෙඩි කහ පාට වී තිබෙනු දුටු සුගතේ නොගැඹුරු දියෙන් ගොඩවී පේර කඩා වැල්ලට වීසි කෙරුවේය. ගම් මී කඩා වැල්ලට විසි කෙරුවේය. ගම් මී කඩා එය ද දෝත පුරා පුරවාගෙන එන විටම අප්පච්චී එය දුටුවේ ය.
“මං මේ බැලුවෙ ඉලංදාරි දෙන්න මොකද පරක්කුව කියලා. බජාර් එක අහුවෙලා.”
“ආ.. පීටර් උබැහෙන් වැලිගොඩ දානව වගෙයි.” පීටර් මාමා දුටු අප්පච්චී කීවේ ය.
“අනේ ඔව් විදානෙ මහත්තයා මේ මහත්වරුත් මට උදව් කෙරුවා.”
“හ්ම්… හ්ම්… ඒ දෙන්නගෙ පරක්කුවටයි මං ආවෙ. දන්නවනේ. කොල්ලන්ගෙ හැටි” කියන අප්පච්චී පරක්කු නැතිව ගෙදර එන ලෙස කීවේ ය.
“මහත්තයලා නාගෙන ගෙවල්වලට යන්න. තව වැලි මලු දහයක් ඇදලා මාත් යනවා.” පීටර් මාමා කීවේ ය.
රත්නා කහඳගමගේ