Home » Blog » ඔරලෝසුවෙන් ගමනක්

ඔරලෝසුවෙන් ගමනක්

by thanushika
0 comment

යොවුන් විද්‍යා ප්‍රබන්ධයක් යැයි කිව හැකි ආකාරයේ අපූරු ග්‍රන්ථයක් පසුගියදා කියවීමට ලැබිණි. ඒ යොවුන් ලේඛිකා තරුකි ලක්නාරා මනමේන්ද්‍ර දියණිය විසින් රචනා කරන ලද ‘ඔරලෝසුවෙන් ගමනක්’ යන ග්‍රන්ථයයි.

නුගේගොඩ අනුලා විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායිකාවක ලෙස ද කටයුතු කරන ඇය මීට පෙර ද තරු මල් , ජීවිත කඩඉම නමින් කාව්‍ය ග්‍රන්ථ දෙකක් සහ ගුවන්විදුලි ළමා නාට්‍ය එකතුවක් ද රචනාකර තිබේ.

මෙය පරිවර්තන නවකතාවක් තරමට රසවත් ය. කතාවේ නායකයා එංගලන්තයේ වාසය කරන ජැක් පර්සිවල් නමැති පිරිමි ළමයායි. ඔහුට නිකෝ නමින් රොබෝ කෙනෙක් ද සහායට සිටියි. විද්‍යා සහ තාක්ෂණික දැනුමින් සපිරි ජැක් අමුතුම ආකාරයේ අත් ඔරලෝසුවක් සාදා අත් හදා බලයි. එය සැබවින්ම මැජික් ඔරලෝසුවකි. එහි කොළ පැහැති බොත්තම ඔබා තමන්ට යෑමට අවශ්‍ය තැනකට යෑමට හැකි ය. එහි නිල් පැහැති බොත්තම ඔබා තමන්ට ආපසු සිටිය තැනටම පැමිණිය හැකි ය.

” ඔරලෝසු මුහුණ තද කළාම ඔයාලාට ඕන කරන බොත්තම් ටික එනවා. කොළ පාට එක යන්න. නිල් පාට එක ආපහු හිටපු තැනට එන්න. අභ්‍යවකාශයට වුණත් යන්න පුළුවන්. මං මේක ටිකක් අලුත්වැඩියා කළා. ඔරලෝසු මුහුණට දෙපාරක් තට්ටු කළොත් කළු පාට බොත්තමක් එයි. ඒක එබුවාම ඔයාලට නොපෙනී ඉන්න පුළුවන්. කතාකරන ඒවත් කාටවත් ඇහෙන්නෙ නෑ.

ඒ වුණාට අපි පස්දෙනාට අපිව පේනවා කොච්චර පේන් නැතුව හිටියත් . ඒ ඔරලෝසුව බැඳන් ඉන්න කන්” (පිටුව 59)

ජැක්ගේ පාසල් මිතුරන් වන මිචෙල්, ජේසන්, ජේසන්ගේ නැගණිය ඇලීෂියා සමඟ පාසල් නිවාඩු කාලයේදී ජැක් තමන්ගේ ශ්‍රී ලාංකික මිතුරකු වන ෂෙහාන් බැලීමට ශ්‍රී ලංකාවට යයි. ඉන්පසු ෂෙහාන්ගේ නිවෙසේදී ඔවුහු තවත් මැජික් අත් ඔරලෝසු සාදාගෙන ඒවායේ බලයෙන් ලංකාවේ විවිධ පෞරාණික ස්ථාන නැරැඹීමටත් ලෝකයේ විවිධ රටවල විවිධ ශිෂ්ටාචාරවලට අයත් විශේෂ ස්ථාන නැරැඹීමටත් පහසුවෙන්ම යති. (ලංකාවේ සීගිරිය, දළදා මාලිගාව, යෝධ ඇළ, එංගලන්තයේ ස්ටෝන් හෙන්ජ්, අමෙරිකා එක්සත් ජනපදයේ කොරල් මාලිගය ආදී වශයෙන්) මේ සෑම සංචාරයකදීම අපට ලෝක උරුම, පෞරාණික ස්ථාන, ශ්‍රී ලංකාවේ ප්‍රෞඪ ඉතිහාසය පිළිබඳ දැනුමක් ලබාදෙන අතරම, එම අතීත නටබුන්වල අගය ද මතක් කරදෙයි. ඊට අමතරව අන්තර්ජාල පරිහරණය වැනි දෑ මඟින් දැනුම වර්ධනය කරගැනීම, තාක්ෂණික ඥානය වැඩිදියුණුකර ගැනීම ආදිය සිදුකළ හැකි බවත්, මව්පිය සෙනෙහසේ, මිතුරුදමේ වැදගත්කම ද මෙම කතාවෙන් මතුකර දෙයි. අපව මැජික් ඔරලෝසුවෙන් තව තවත් ලොව වටා ගෙන යෑමට අදහස් කරන බව ජැක් කතාව අවසානයේදී පවසා තිබේ. එනම් මෙම ග්‍රන්ථයේ ඊළඟ කොටස ද තරුකි නුදුරු දිනයකදී රචනා කරනු නොඅනුමාන ය. තරුකිට මෙවැනි අපූරු ග්‍රන්ථ රචනා කිරීමටත් අනාගතයේදී

දක්ෂ නිර්මාණශීලි ලේඛිකාවක වීමටත් හැකි වේවා යැයි සුබ පතමි. මෙම ග්‍රන්ථය කියවා ජැක්ලා සමඟ ඔරලෝසුවෙන් ලෝකෙ වටේ ඇවිද යන්න කියලාත් පුංචි ඔයාලාට මං මතක් කරනවා.

හර්ෂණී ගමගේ


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department