ආදරණීය දුවේ පුතේ, ආචාර්ය නුවන් නයනජිත් මාමා ‘අග්‍රගණ්‍ය ආනන්දය’ කෘතිය රචනා කළේ ආනන්ද විද්‍යාලයේ විස්තර ඇතුළත් කරමින් ය. ඉතින් දුවේ පුතේ, ආනන්ද විද්‍යාලය පිළිබඳ ඔබ නොදත් කරුණු දැන ගැනීමටත් දත් කරුණු වැඩි දියුණු කරගැනීමටත් මේ කෘතිය ඉතා වැදගත් වෙනවා. ඉතින් අපි අද දුවලා පුතාලාට ඒ කෘතිය ගැන කියන්නයි මේ සූදානම් වන්නේ.
”මේ ග්‍රන්ථය මගේ දහ අට වැනි ග්‍රන්ථයයි. මම අධ්‍යාපනය ලැබුවේ ආනනන්ද විද්‍යාලයේ. ආනන්ද විද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ පුංචි දුවලා පුතාලා මෙන්ම වැඩිහිටියන් නොදත් තොරතුරු පිළිබඳ කියන්න තමයි මම මේ පොත නිර්මාණය කළේ. ආනන්ද විද්‍යාලයේ පුතාලාට මෙන්ම මුළු මහත් ශ්‍රී ලංකාවේ සියලුම දූ දරුවන්ට මේ පොත වැදගත් වෙනවා. ප්‍රමාණයෙන් විශාල පොතක් වුවත්, මේ පොත කියවීමෙන් පුංචි ඔබට දැනුම් සම්භාරයක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා.”
” මට මේ පොත කුඩා පොතක් වශයෙන් ද කළොත් හොඳයි කියලාත් එදා මගේ පොත දොරට වඩින අවස්ථාවේදීම ආරාධනාවක් ආවා. ඒ කියන්නේ මේ පොත තවත් සරලව දරුවන්ට අවශ්‍ය නිසා කියලා සමහර වැඩිහිටියන් තීරණය කරලා තියෙන නිසා වෙන්නැති. පාසල් දරුවන්ගේ පුස්තකාලවලටත් මේ පොත ඉතා වැදගත් කියලා මම හිතනවා. අපේ පාසල ගැන මුළු ලංකාවේම දරුවන් මෙන්ම අපේ පාසලේ දරුවනුත් දැනුම්වත් වීම ඉතා අවශ්‍ය වෙනවා. ආනන්දයේ ඉතිහාසය පිළිබඳ තොරතුරු වත්මන් දරුවන්ට ඉතා වැදගත් වෙනවා. අපේ පාසල වෙනුවෙන් මෙවැනි කාර්යයක් මට කිරීමට ලැබීම පිළිබඳ මම ඉතා සතුටට පත් වෙනවා. මේ පිළිබඳ කරුණු හොයන්න මට විශාල කාලයක් ගත වුණා. ඒ වගේම ඒවා නිසි පිළිවෙළට ගොනු කරන්නත් කාලයක් ගත වුණා. ඒ කෙසේ වුවත්, ආනන්දය පිළිබඳ කරුණු හොයන ඕනෑම කෙනෙකුට මේ පොත ඉතා වැදගත් ග්රන්ථයක් වෙනවා.”
” මේ ග්‍රන්ථය ප්‍රකාශයට පත් කිරීමේදී ඉමාෂි ප්‍රකාශන ආයතනය දිරියක් ලබා දුන් අතර, පොත දොරට වැඩීමේදී මාතර ෆ්රීලන් ආයතනයේ සහයෝගය මා හට ලබා දුන්නා. ඒ වගේම අනන්ද විද්‍යාලයේ වත්මන් විදුහල්පති ලාල් දිසානායක මහතාගෙන් ද නොමඳ සහයක් මට ලැබුණා. ඉතින් දුවේ පුතේ, පුංචි ඔබට මෙන්ම ආනන්දය පිළිබඳ කරුණු සොයන වැඩිහිටි අයට ද මේ ග්‍රන්ථය ඉතා වැදගත් වෙනවා කියලා මං හිතනවා.”
ඒ නිසා දුවේ පුතේ මේ ග්‍රන්ථය ගැන කියවලා ආනන්දය පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගන්න කියලා මම පුංචි ඔබෙනුත් ඉල්ලා සිටිනවා.
රූපාන්ති බුලත්සිංහල