Home » Blog » රෂේන්ට හොඳ පාඩමක්

රෂේන්ට හොඳ පාඩමක්

by thanushika
0 comment

එදා සෙනසුරාදා දවසක්. නිවාඩු දවසක් වුණාට රෂේන්ගේ අම්මයි අප්පච්චියි ගෙදර සිටියේ නැහැ. ඒ දෙන්නා රාජකාරි වැඩකට දුර ඈතක ගිහිල්ලා. එනවා කිව්වේ පහුවදාටයි. එදා රෂේන්ගේ අත්තම්මාට ටිකක් සනීප නැහැ. ඒ නිසා අත්තම්මා රෑට කාලා බෙහෙත් බීලා කලින්ම නිදා ගත්තා. රෂේන්ට හරිම පාළු හිතුණා. වෙනදානම් අත්තම්මා කතන්දරයක් කියලා දෙනවා රෂේන්ට. රෂේන් නිදන කාමරයට ගිහින් පොත් රාක්කයෙන් සුරංගනා කතා පොතක් අරන් කියවන්න

පටන් ගත්තා. ටිකක් වෙලා කියවන කොට රෂේන්ට නිදිමතක් දැනුණා. එයා පොත මේසෙ උඩ තියලා නිදා ගත්තා. ටික වේලාවක් ගත වන විට රෂේන්ට තදින්ම නින්ද ගියා. එකපාරටම අමුතු සද්දයක් ඇහිලා රෂේන්ට ඇහැරුණා. රෂේන් වටපිට බැලුවා. කවුරුවත් පේන්න නැහැ. රෂේන් ආයෙත් ඇස් තද කරලා වසාගෙන නිදා ගත්තා. ආයෙත් අමුතු සද්දයක් ඇහුණා.

රෂේන් කොට්ටෙන් හිස යන්තමට ඔසවලා වටපිට බැලුවා. ළා නිල් පාට රාත්‍රී විදුලි බුබුළ සහිත මේස ලාම්පුව දල්වලා තිබුණ නිසා රෂේන්ට කාමරය ඇතුළ යන්තමට පෙනුණා. කවුදෝ පොත් රාක්කය අසල සද්ද කළා.

“මීයෙක් වත්ද? ඒත් සිවිලිම් ගහලා තියෙන නිසා මීයෙක් එන්න විදියක් නැහැනේ.”

රෂේන්ට බය හිතුණා. ආයෙමත් සද්දයක් ඇහුණා. රෂේන් ඔළුව උස්සලා හොඳට බැලුවා. පොත් රාක්කයෙන් බිමට බැස්සේ ලොකුම ලොකු ශබ්දකෝෂයක්.

“මොනවා! ශබ්දකෝෂය ඇවිදිනවා!”

රෂේන් පුදුමයෙන් බලා සිටියා. ඇස් දෙකත් පිස දාලා ආපහු බලා සිටියා. ඔව් ඒ නම් රතු පාට පිට කවරය තියෙන ඉංග්‍රීසි – සිංහල ශබ්ද කෝෂයමයි.

“මේ මේ ඔයාලා නිදිද? පොඩ්ඩක් ඇහරෙන්නකෝ” ශබ්දකෝෂය අනෙක් පොත්වලට කතා කළා.

පොත් එකින් එක පොත් රාක්කයෙන් බැහැලා බිමට ආවා.

“හච්චිං!” එක පොතක් කිවිසුම් ඇරියා.

“බලන්න මේ කාමරය පුරාම දූවිලි . අපේ ඇඟෙත් දූවිලි” තවත් පොතක් කිව්වා.

“ඔව් අනේ මටත් ඇති වෙලා මේ දූවිලි ගොඩේ ඉඳලා. අර අතන මකුළු දැල් ” තවත් කතන්දර පොතක් කිව්වා.

“ඒ මදිවට මේ ළමයා අපිව බිමත් දානවා. අපේ පිටු නවනවා. ඉරි කෑලි අඳීනවා. පැන්සලෙන් අපේ පිටුවල බලි කුරුටු අඳීනවා” තවත් පොතක් කිව්වා.

“අපටත් එපා වෙලා තියෙන්නේ. මේ ළමයා නම් හරිම නරකයි. අපි ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැහැ” තව කවුදෝ කිව්වා. ඒ කවුද කියලා රෂේන් හොඳට බැලුවා.

ආ! ඒ රෂේන්ගේ සෙල්ලම් කාර් එක. කහ පාට කාර් එක.

“මේ බලන්න මගේ රෝදයක් ගැලවෙන්න ළඟයි. ඒත් මේ ළමයට ඒ ගැන වගක් නැහැ. මාත් එක්ක සෙල්ලම් කරනකම් හොඳයි. ඊට පස්සේ මං හොඳීන් ද කියලා නිකමටවත් බලන්නේ නැහැ”

කාර් එක බාගෙට බුරුල් වුණ රෝදය අමාරුවෙන් කරකවමින් කිව්වා.

“බලන්නකෝ මේ ළමයාට එයාගේ අම්මා බුක් මාර්ක් ගෙනත් දීලා තියෙනවා. ඒත් මේ ළමයා අපේ පිටු නවනවනේ. පොත කියවලා නවත්වපු තැනට බුක් මාර්ක් එකක් දාන්නේ නැතුව”

තවත් පොතක් කිව්වා.

“ඇයි මගේ! මගේ කොන්දත් රිදෙනවා . කොඳු නාරටියත් බුරුල් වෙලා මේ ළමයා මාව මුනින් අතට තියලාම” නිල් පාට පුංචි ශබ්දකෝෂය කිව්වා. ඒක රෂේන් ජපන්-සිංහල ඉගෙන ගන්න ශබ්ද කෝෂයයි.

“මාව ගෙනාව අලුත නම් එයා මට ගොඩක් ආදරෙයි. ඒත් දැන් නම් මගේ දූවිලි පිහදාන්නෙවත් නෑ. මේ බලන්න මගේ රිබන් පටියත් ගැලවෙන්න ළඟයි” සෙල්ලම් බඩු අතර සිටි විශාල ටෙඩි බෙයාර් කෙනෙක් එහෙම කිව්වා.

“ඤාව් ඤාව්” ඒ පාර රෂේන්ගේ පුංචි බළල් රාල මිකීත් එතැනට ආවා.

“ඔව්, ඔව් මේ ළමයා නම් හරිම අපිළිවෙල ළමයෙක්. මට කෑම දෙන පිඟානවත් හරියට පිරිසුදු කරන්නේ නැහැ සමහර දවසට” මිකී කිව්වා.

“බුහ්! බුහ්! ” බිරුම් හඬක් ඇසුණා.

“ආ මොනවා ඒ පාර බලු පැටියත් ගේ ඇතුළට ඇවිල්ලද?” රෂේන්ට පුදුම හිතුණා.

“මේ ළමයා මාවත් හරියට පිරිසුදු කරන්නේ නැහැනේ” බලු පැටියා කිව්වා.

“ඒ විතරක් නෙවෙයි එයා අපි දෙන්නාවත් දෙපැත්තකට වීසි කරලා දානවා.” තවත් කටහඬවල් දෙකක් ඇසුණා.

ඒ හඬ ඇසුණේ ඇඳ යටින්. එයාලා ඇඳ යටින් එළියට ඇවිදගෙන ආවා. ඒ තමයි රෂේන් සෙල්ලම් කරනකොට දාන ක්‍රීඩා සපත්තු කුට්ටම.

“මේ ළමයාට නම් අපි හොඳ පාඩමක් උගන්වන්න ඕනෑ”

මේසය මත සිටිය පොත් බෑගය එහෙම කිව්වා.

“අපි මොකක්ද මේකට කරන්නේ?”

ශබ්දකෝෂය ඇසුවා.

“අපි ඔක්කොමලා යන්න යමු වෙන ගෙදරකට. හොඳ පිළිවෙළට වැඩ කරන වෙන ළමයකුගේ ගෙදරට” මිකී කිව්වා.

“ඔව් ඔව් අපි දැන්ම යමු” කහපාට කාර් එකත් හෙමින් හෙමින් ඇවිදගෙන ආවා.

“අපි සුරංගනා කතා පොතටත් ඇහැරවලා එයාවත් එක්ක යමු” ශබ්දකෝෂය එහෙම කියලා මේසය දෙසට ඇවිදගෙන ආවා.

තවත් නම් බලාගෙන ඉඳලා බැහැ. රෂේන් ඇඳෙන් නැගිට්ටා.

“අනේ අනේ ඔයාලා යන්න එපා” රෂේන් කිව්වා.

“බැහැ බැහැ අපි නම් තවත් මෙහෙ ඉන්නේ නැහැ. අපට බැහැ මේ දූවිලි ගොඩේ ඉන්න. අපි යනවා වෙන හොඳ තැනක් හොයාගෙන”

පොත් ඔක්කොම එක හඬින් කිව්වා.

“අනේ එහෙම කරන්න එපා. මං ඔයාලාට පොරොන්දු වෙන්නම් මීට පස්සේ ඔයාලා හැමෝවම හොඳීන් බලා ගන්නවා කියලා”

රෂේන් කිව්වා.

“ඔයා කියන්නේ බොරු . අපට බැහැ, අපි යනවා යන්න ” එහෙම කියලා කහ පාට කාර් එක දොරෙන් එළියට ඇවිදගෙන ගියා. රතු පාට ශබ්දකෝෂයත් නිල් පාට ශබ්දකෝෂයේ අතින් අල්ලාගෙන යන්න පිටත් වුණා.

“අනේ යන්න එපා” රෂේන් මහ හඬින් කිව්වා.

“අපි යන එක යනවාමයි” විශාල සුරංගනා කතා පොතත් දොර ළඟටම ඇවිදගෙන ගියා.

“අනේ මං කියන එක අහන්නකෝ” රෂේන් මහ හයියෙන් කිව්වා.

“ඇයි ඇයි පුතා? මොකද මේ ඔයා හීනෙන් බය වුණා ද?” කවුදෝ රෂේන්ගේ උරහිසෙන් අල්ලලා සොලවනවා රෂේන්ට දැනුණා.

රෂේන් වටපිට බැලුවා. අත්තම්මා රෂේන්ගේ ඇඳ ළඟ බලා සිටියා.

“ඇයි පුතේ?”

අත්තම්මා ඇසුවා.

“මගේ පොත් ටික ගිහින් ද? මගේ කාර් එක? මිකී බූලා එයාලා ඔක්කොමලා ගිහින් ද?” රෂේන් නිදිමතේම ඇසුවා.

“මේ තියෙන්නේ පුතාගේ පොත් ටික. අර අතන සෙල්ලම් කාර් එකත් තියනවා. ඇයි පුතේ?”අත්තම්මා පුදුමයෙන් ඇසුවා.

“ආ එහෙනම් මං හීනයක් ද දැක්කේ? පොත් කතා කළේ නැද්ද? ” රෂේන් තනියම සිතුවා.

“අත්තම්මේ මං අද ඉඳන් මගේ පොත්, සෙල්ලම් බඩු, මිකී, බූලා මීට වැඩිය ආදරයෙන් බලාගන්නවා”

රෂේන් එහෙම කියලා නිදාගත්තා.

“පුතා හීනයක් දැකලා. හා දැන් නිදාගන්න”

අත්තම්මා එහෙම කියලා රෂේන්ගේ හිස අත ගාලා නිදාගන්න ගියා.

එදායින් පස්සේ රෂේන් කතන්දර පොත්වලට, ශබ්දකෝෂවලට, සෙල්ලම් බඩුවලට, සපත්තුවලට, බළල් පැටියාට සහ බලු පැටියාට වෙනදාට වැඩිය ආදරයෙන් සැලකුවා. හොඳීන් රැක බලා ගත්තා.

මේ කතන්දරය කියවූ පුංචි ඔයාලාත් ඔයාලාගේ කතන්දර පොත්, සෙල්ලම් බඩු සහ සුරතල් සතුන් ආදරයෙන් රැක බලා ගනීවි කියලා මං හිතනවා.

-හර්ෂණී ගමගේ


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department