Home » Blog » දරුවන්ට සමබර අධ්‍යාපනයක් අවශ්‍යයි

දරුවන්ට සමබර අධ්‍යාපනයක් අවශ්‍යයි

තංගල්ල පිරිමි ජාතික පාසලේ විදුහල්පති සුනිල් මිහිඳුකුල

by thanushika
0 comments

වර්තමානයේ දරුවන් ඉතා ශීඝ්‍ර ලෙස අධ්‍යාපන තරගයත් සමඟ හඹා යෑමට පටන් ගෙන තිබීම සුලබ දසුනක්. පවත්වන සෑම විභාගයකින්ම මේ බව මනාව ඔප්පු වී තිබේ. වර්තමානයේ බොහෝ දරුවෝ අධ්‍යාපනයට අමතරව වෙනත් ක්‍රීඩා කෞශල්‍ය සඳහා ද යොමු වී සිටිති. මේ නිසා දරුවෝ අධ්‍යාපනය මෙන්ම අනෙකුත් දක්ෂතා ද නිරන්තරයෙන්ම පුරුදු පුහුණු කරති. මේ තත්ත්වය වර්තමානයට අවශ්‍ය තත්ත්වයකි. මේ ආකාරයට කටයුතු කරගෙන යනු ලබන තංගල්ල පිරිමි ජාතික පාසලේ විදුහල්පති සුනිල් මිහිඳුකුල මහතා තම පාසල සම්බන්ධයෙන් හා වර්තමාන දරු පරපුර සම්බන්ධයෙන් දැක්වූයේ මෙවැනි ආකල්පයකි.

” වර්තමානයේ දරුවන් විවිධ දක්ෂතා දක්වනවා. අධ්‍යාපනය කියන්නේ තරගයක්. සෑම දරුවකුම මේ තරගයේ තරගකරුවකු බවට පත් වෙලා. ඒත් ඒ තරගයට බලෙන් දරුවන් යොමු කරන්න බැහැ. එය සිය කැමැත්තෙන් යොමු විය යුතු තරගයක්. ඒ නිසාම දරුවන්ගේ සිතේ කැමැත්ත පරිදි අධ්‍යාපනයට යොමු කිරීම ඉතා වැදගත්. අපේ පාසලේ මේ කාර්යය අප ආදර්ශයෙන්ම පෙන්වනවා. ඒ කියන්නේ අධ්‍යාපනයට දැඩි උනන්දුවක් දක්වන දරුවන් ඒ අංශයෙන් ඉදිරියටම ගෙනයනවා. ඒ කියන්නේ අනෙක් දරුවන් ගැන උනන්දුවක් නැහැ කියන එක නෙවෙයි. අනෙක් දරුවන් අධ්‍යාපනයට හැර වෙනත් අංශයකට වැඩිපුර දක්ෂතාවක් දක්වන්නේ නම් ඔවුන් ඒ අංශයෙන් අප ඉදිරියටම ගෙනයනවා. සමහර දරුවන් සංගීතයට හෝ නැටුම්වලට ගොඩක් දක්ෂයි. ඔවුන් ඒ අංශයෙන් ඉදිරියටම ගෙනයන්න ඔවුන් වෙනුවෙන් වැඩමුළු තියෙනවා. ඒ වගේම පර්ෂද හා පළාත් තරගවලට ඔවුන් සහභාගි කරවනවා. ක්‍රීඩා අංශයෙනුත් පිරිපුන් දරුවන් වෙනුවෙනුත් එහෙමයි. මේ නිසා සෑම විටම දරුවා හඳුනා ගන්නවා. කිසිම කෙනෙක් අසමත් දරුවෙක් වෙන්නේ නැහැ. ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියන කාරණාව ඇත්ත. මේ නිසාම තමයි අප සමත් වෙන කාරණාව හඳුනා ගන්නේ. මම මව්පියන්ගෙනුත් ඒ බව ඉල්ලනවා දරුවා සෑම විටම හඳුනාගන්න කියලා.”

” ගුරුවරු සහ මව්පියන් හඳුනාගත් දක්ෂතා ඇති දරුවකු සෑම විටම තෝරා බේරා සුරැකිව හදන වඩන පැළයක් වගේ. ඒ පැළයට කිසිදු උවදුරක් සිදු වන්නේ නැහැ. මේ නිසා එවැනි දරුවන් සෑම විටම සුරැකි ස්ථානයෙයි වැජඹෙන්නේ. මේ වන විට අපේ පාසලේ දරුවන් එක්දහස් දෙසීයක් පමණ සිටිනවා. ඒ වගේම ගුරුවරු හැත්තෑ දෙකක් ඉන්නවා. මේ සෑම කෙනකුම එක්සත් වෙලා තමයි ගමනක් යන්නේ. මම මේ පාසලට පැමිණීමට පෙර මේ පාසලේ ළමයින් එතරම් සිටියේ නැහැ. පාසලේ තිබුණු පිළිවෙළ අඩුයි. ඒත් මගේ පැමිණීමත් සමඟ ඒ සියල්ල පිළිවෙළකට ඉටු කිරීමට මම වග බලාගත්තා.”

” අපේ පාසලේ එක් දරුවකු කුමන හෝ අංශයකින් අගය කරන වැඩ පිළිවෙළක් තිබෙනවා. ඒ වැඩ පිළිවෙළට මේ වන විට බොහෝ දරුවන් කැමැතියි. ඕනෑම කෙනකුගේ තියෙන දක්ෂතාව එදාට එළියට එනවා. ඒ වෙනුවෙන් අප කටයුතු කරනවා. කිසිදු හෝ දක්ෂතාවක් නැති කෙනෙක් නැහැ. හැම කෙනකුම කුමන හෝ දෙයකට දක්ෂයි. මේ වන විට අපේ පාසලේ 6 සිට 13 ශ්‍රේණිය දක්වා ඉන්නවා. ඒ වගේම ගණිතය, විද්‍යාව, කලා, වාණිජ මෙන්ම තාක්ෂණවේදය යන අංශවලින් අධ්‍යාපනය ලබන දරුවන් සිටිනවා. මේ දරුවන් තමන් අධ්‍යාපන ලබන අංශයෙන් ඉතා දක්ෂ ලෙස අධ්‍යාපනය කරගෙන යනවා. මේ වෙනුවෙන්ම කැප වුණු දක්ෂ ගුරුවරු පිරිසක් ද අපේ පාසලේ සිටිනවා.”

රූපාන්ති බුලත්සිංහල

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department