Home පුංචි හපන්නු දකුණු පළාතේ අපූරු උත්සවයක්

දකුණු පළාතේ අපූරු උත්සවයක්

by thanushika
0 comment

ස්වකීය ජීවනාලියෙහි පැවැත්ම උදෙසා සිදු කරනු ලබන බහුවිධ ක්‍රියාවලි අතර තමා අදහන ආගම කෙරෙහි පවත්නා විශ්වාසය හා ඊට අනුකූල වූ වත්පිළිවෙත් සිදු කිරීම, ඈත අතීතයේ සිටම ලාංකේය මානවයා සතුව පැවත එන්නකි. එය ජන වර්ගයාට පමණක් සීමා නොවී පළාත්වලට ආවේණික පුද පූජා හා ශාන්තිකර්ම වශයෙන් ද පවත්වනු ලබයි.

*මෙලෙස පවත්වනු ලබන අපූරුතම ශාන්තිකර්ම රටාවකින් හෙබි සංස්කෘතික උත්සවයක් අප රටේ දකුණු පළාතේ වැසියන් පිරිසක් සමරනු ලබන බව ඔබ දැන සිටියාද?*

ගාල්ල දිස්ත්‍රික්කයේ බෙන්තර ගඟ හා ගිං ගඟ අතර මුහුද ආශ්‍රිතව වෙසෙන ජනයාටම ආවේණික වූ මෙම උත්සවය “*කිරි පෝය*” නමින් හඳුන්වන අතර, මෙයටම “සුද්දෙ පෝය” හා “දෙල් පෝය” යන නම් ද පවසනු ලබයි. විශේෂයෙන්ම වැලිතර, අහුංගල්ල, බලපිටිය හා අම්බලන්ගොඩ යන ප්‍රදේශවාසීහු මෙම උත්සවයට වැඩි උනන්දුවක් දක්වති.

කතරගම දෙවියන් ප්‍රමුඛත්වයේ තබාගෙන දෙවොල්, ගම්භාර, දැඩිමුණ්ඩ හා පත්තිනි යන දෙවිදේවතාවුන් වන්දනයට පාත්‍රවන මෙම උත්සවය වාර්ෂිකව ඇසළ පොහෝ දින පවත්වනු ලබයි.

නැවුම් කළයක රැස්කර ගත් මුහුදු ජලය (කරිජ්ජ,කරදිය) හෝ කහ දියර ඉසීමෙන් තම නිවෙස හා නිවෙස අවට පිරිසුදු කරගන්නා ගම්වැසියන්, මෙහි මූලික චාරිත්‍රය වන “කප් සිටුවීම” ආරම්භයේ සිට කිරි පෝයේ චාරිත්‍ර හා පුද පූජා අවසන් වන තුරුම මස්, මාළු යන පිළිහුඩු ආහාරයට නොගන්නේ දෙවියන් කෙරෙහි ඔවුන් තුළ වූ මහත් භක්තිය පිළිබිඹු කරමින් ය.

කතරගම දෙවියන් හෙවත් ස්කන්ධ කුමාරයා දඹකොළපටුනේ සිට මෙම මාර්ගයේ ගමන් ගන්නා විට එකල ගම්වැසියන් ඔහුට කිරි ආහාර පූජාකර ඇති බවත් එතැන් සිට පාරම්පරිකව අදටත් මෙම කිරි ආහාර සකස් කරන බවත් ජනප්‍රවාදයේ සඳහන් වෙයි.

ඒ අනුව, නොඉඳුල් භාජන යොදා ගනිමින් කිරි දානයෙහි කිරියා කිරිබත් හා කැවුම් පිසීම අරඹන අතර, එය පුරුෂ පාර්ශවය අතින් සිදු කිරීම විශේෂත්වයකි.

ඇසළ පොහොය උදාව රැගෙන එන හිරුත් සමඟ නිවෙස ඉදිරිපිට පෙර සූදානම් කරගත් ගොක්කොළ පහන්පැළ තුළ, පිළියෙල කරගන්නා දානයෙහි මුල් කොටස තබා ඔවුන් දෙවියන් වන්දනා කරනු ලබන අතර කිරියා, කිරිබත්, කෙසෙල් ගෙඩියක් තබා විලක්කුවක් දල්වමින් මෙලෙස වන්දනා කිරීම *”ගොටුව ඔප්පු කිරීම”* යැයි ඔවුහු හඳුන්වති.

සවස් යාමය ළඟාවත්ම, කෙසෙල් කොළ මතට බෙදා ගන්නා කිරි ආහාරත් අතැතිව, නිවසේ බිම අතුරන අලුත් පැදුරක නිවැසියන් සියලුමදෙනා එකට එක්ව හිඳ ආහාර ගැනීම සිදුකරමින් කිරි පෝය චාරිත්‍ර ඉටු කරන අතර, එය *”ජොරා මරනවා”* යනුවෙන් හඳුන්වනු ලබයි.

අනතුරුව ගමෙහි පිහිටි දේවාලයට හෝ කෝවිලට එකතු වන ගම්වැසියන් විවිධ චාරිත්‍ර හා බැඳී රාත්‍රියක්, අති උත්කර්ෂවත් ලෙස පසුදින පහන්වන තුරු පවත්වනු ලබයි. රාත්‍රී පේබත් දානය, කාලපන්දම් ගස සිටුවීම, පසුදින උදෑසන කිරිබත් දානය, රූකඩ පුද පඬුරු ලබාගැනීම, සවස සළඹ සැලීම හා හමාර දානය යන විවිධාකාර චාරිත්‍රයන් මෙහිදී ඔවුන් සිදුකරනු ලබන අතර, දෙවොල්මඩුව, පත්තිනි නර්තනය, ගිනි පෑගීම, ගරායක් නැටුම, කාවඩි නර්තනය යන අංගයන් හා ජන ක්‍රීඩා වන පොර පොල් ගැසීම, අංකෙළිය යන ක්‍රීඩා ද සිදු කරනු ලබයි. අලුත් දැක්ම රැගෙන පෙරහරින් කතරගම බලා පිටත්ව යෑම සිදුකරනු ලබන්නේ එයින් අනතුරුවයි.

අහුංගල්ල තිලකමුනි දේවාලය, වැලිතර අල්ලිය ආරච්චිලාගේ කෝවිල හා පුරාණ වැලිතර පත්තිනි කෝවිල මේ සඳහා ප්‍රචලිත වන අතර, තම නීරෝගීකම මූලික කරගනිමින් හා ආරක්‍ෂාව අයැද, පත්තිනි මෑණියන්ගේ පිහිට පතන අතර, පිරිමි පුද්ගලයකු විසින් පත්තිනි දේවතාවිය නිරූපණය කරමින් පත්තිනි නර්තනය ද රඟ දක්වනු ලබයි.

එමෙන්ම, සියලුම ධීවර ජනයා මුහුදු ගමන් හා ආරක්‍ෂාව අයැද දෙවොල් යක්ෂයා උදෙසා පුද පූජා පවත්වයි. එදිනට බහු දින යාත්‍රා පමණක් මුහුදු ගමන් වෙත පිටත්ව යන අතර, අනෙකුත් ධීවර යාත්‍රා කිසිවක් රැකියා සඳහා මුහුදු ගමන් නොයති.

මෙකී සියලුම පුද පූජා සඳහා මෙම ප්‍රදේශය පුරා ඇති අල්ලිය දේවාල ගණන විසි හතරක් බව සාහිත්‍ය මූලාශ්‍රයන්හි හා ශාන්තිකර්ම කාව්‍ය සාහිත්‍යයෙහි ද සඳහන්ව ඇත.

ප්‍රාදේශිකව ජන සමූහයකගේ විශ්වාසය මත පදනම්ව, පවිත්‍රත්වය උදෙසා මූලික ස්ථානයක් ලබාදෙමින් පවත්වනු ලබන *”කිරි පෝය”* නම් මෙම උත්සවය සාමාජීය වශයෙන් හා ලාංකේය වශයෙන් අප සැම දැනගත යුතු සංස්කෘතික උත්සවයක් ද වේ.

මෙතුම්ලි මුදලිගේ

11 ශ්‍රේණිය

මධ්‍ය විද්‍යාලය

පිළියන්දල


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department