Home උරුමයක වගතුග ඓතිහාසික යාපහුව නගරය

ඓතිහාසික යාපහුව නගරය

by thanushika
0 comment

ආදරණීය දුවේ පුතේ, ඔන්න අද දවසේ උරුමයක වගතුග තුළින් මම ඔයාලට ශ්‍රී ලංකාවේ ඓතිහාසික නගරයක විස්තර අරගෙන ආවා. ඒ නගරය පැරැණි ලංකාවේ ඓතිහාසික රාජධානියක් වශයෙනුත් සලකනවා. ඒ තමයි යාපහුව නගරය.

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති මෙම නගරය කුරුණෑගල සිට වාරියපොළ දක්වා අනුරාධපුර මාර්ගයේ ගමන්කර දළදාගම හන්දියෙන් හැරී නැවත ගමන්කර, මහව මංසන්දියෙන් දකුණට ගමන් කළවිට අපට හමුවේ. ශ්‍රී ලංකාවේ රාජධානි සොළී ආක්‍රමණය නිසා නිරිත දිගට සංක්‍රමණය වීමත් සමඟ යාපහුව බළකොටුව නිර්මාණය වන අතර, එය දහතුන් වැනි සියවසේ දශකයක් පමණ ලංකාවේ අග නගරය වශයෙන් ද පැවතී ඇත. මෙය පර්වත ආශ්‍රිත නගරයකි. පුරාණ ආරක්ෂිත ස්ථානයක් වශයෙන් ද ප්‍රකට මෙම ප්‍රදේශය ඓතිහාසික ජනාවාස තිබූ ප්‍රදේශයක් වශයෙන් ද ඓතිහාසික හා මූල ඓතිහාසික කාලපරිච්ඡේදයන්ට අයත් ජනාවාස පිහිටි ප්‍රදේශයක් වශයෙන් ද හඳුනාගෙන ඇත. කාලිංග මාඝ ආක්‍රමණ සමයේ යාපහුවේ බළකොටුවක් හා නගරයක් ගොඩනඟා එහි සුභ නම් සෙනෙවියා පාලනය කළ අතර, අනතුරුව සිව්වැනි විජයබාහු රජතුමා යාපහුවේ යම් යම් සංවර්ධන වැඩ සිදුකළ බව ද ඔහුගේ සොයුරු බුවනෙකබාහු රජු ටික කාලයකට යාපහුව අගනගරය වශයෙන් ද තෝරාගත් බව මූලාශ්‍රයන්හි සඳහන් වේ.

යාපහුව නගරය අතීතයේදී විවිධ නම්වලින් හඳුන්වා ඇත. යාපව්ව, යාපව්ව ගල, සුන්දරගිරි පව්ව, සුබවාල, සුභගිරි, අයෝ පබ්බත වැනි නම්

ඒ අතර වේ. යාපහුව පර්වත මුදුනේ සහ පර්වත බෑවුමේ පිහිටා ඇති ලෙනක් ද, ඒ අවට ප්‍රදේශය ද ප්‍රාග් ඓතිහාසික ජනාවාසයන් පිහිටි බවට සාධක අනාවරණය කරගෙන තිබේ. එහිදී භාවිත කළ හා නොකළ තිරුවාණා, වටගල්, භාවිතගල රත්ගිරියල් හා තිරුවානා අපද්‍රව්‍ය වැනි ප්‍රාග්⁣ ඓතිහාසික යුගයට අයත් දෑ සොයාගෙන තිබේ.

යාපහුව බලකොටුව ලංකාවේ දෙවැනි ප්‍රධාන බලකොටුව වශයෙන් සලකයි. උතුරු නැඟෙනහිර සහ බටහිර යන තුන් පැත්තෙන්ම තරණය කළ නොහැකි ප්‍රපාතාකාර පර්වතයක් මුදුනෙහි පිහිටා ඇති මෙම බලකොටුවට ප්‍රවේශ විය හැක්කේ දකුණු පසින් පිහිටි මාර්ගයෙන් පමණි. දිය අගල් දෙකකින් හා ප්‍රාකාර දෙකකින් ආරක්ෂා සහිතව ඉදිකරන ලද ඇතුල් නගරය රාජ්‍ය පාලන කටයුතු සඳහා යොදාගන්නට ඇතැයි විශ්වාස කරන ගොඩනැඟිලි රාශියකින් සමන්විත වේ. පර්වත මුදුනෙහි රජ මාලිගය සහ තවත් ගොඩනැඟිලි ද පනා බැමි සහ පොකුණු ද තිබූ බවට වන නටබුන් දැක ගත හැකි ය. එසේම පිට දිය අගල, පිට නගර ප්‍රාකාරය පිට නගරයට සම්බන්ධ වන ද්වාර මණ්ඩපය, පිට නගර ප්‍රාකාරයේ සිට ඇතුල් නගර අගල දක්වා වූ බිම් ප්‍රදේශය යාපහුව රාජධානියේ පිට නගරය වශයෙන් සලකයි. එහි පැහැදිලිව හඳුනාගත හැකි ඉදිකිරීම් කිසිවක් මෙතෙක් හමු වී නොමැත. අශ්ව ලාඩමක හැඩයට කිලෝමීටරයකට ආසන්න දුරක් ගමන් ගන්නා පිටත දිය අගල ඇතුල් නගරයත් පිට නගරයත් ආවරණය වන පරිදි පිට නගර ප්‍රාකාරයට පිටතින් ගොඩනඟා තිබේ. එය ගැඹුරින් මීටර් තුනකි.

නගරයේ සිට ඇතුල් නගරයට ප්‍රවේශවීම සඳහා දොරටු තුනක් ඉදිකර ඇත. වඩාත් අලංකාර ලෙස සකස් කර ඇත්තේ දකුණු දොරටුවයි. විද්වාර මණ්ඩපයට ගොඩවීමටත් බැසීමටත් පිය ගැට දාසයක් තනා ඇත. එමෙන්ම ඇතුළු නගරයේ පව්වේ බටහිර දොරටුවේ සිට මීටර් 22ක් බටහිර දෙසට ගිය විට ගල්තලාවක් මත කෙටූ පියගැට තුනක් හමුවේ. ඇතුළු නගර සීමාව ද දිය අගලකින් ආරක්ෂා සහිතව සකස් කර ඇත. එහි සමස්ත දිග ප්‍රමාණය මීටර් 330. ගැඹුර තැනින් තැනට වෙනස් වේ. ඇතුළු නගරයේ ප්‍රධාන වශයෙන් ගොඩනැඟිලි තුනක නටබුන් දක්නට හැකිය. සභා ශාලාව වශයෙන් හැඳීන්වෙන ගොඩනැඟිල්ලට බටහිරින් ආයත චතුරස්‍රාකාර පෙනුමෙන් යුක්ත ගොඩනැඟිල්ලක් පිහිටා ඇති අතර, එය කුමන කාර්යයක් සඳහා යොදා ගන්නා ලද්දේදැයි නිශ්චය කරගෙන නැත.

ඒ ආසන්නයේ තවත් එවැනිම ගොඩනැඟිල්ලකි. දිගින් මීටර් හැත්තෑවක් වන මෙය පර්වතයට මළුවක ආකාරයෙන් සම්බන්ධ වන බැවින් බිත්ති දක්නට නොලැබේ. මෙහි පිහිටා ඇති අලංකාර කලාත්මක නිර්මාණය නම් දළදා මාළිගාව නමින් හැඳීන්වෙන ගොඩනැඟිල්ලයි. ගලින්කළ වාමන රූප, නළඟනන්ගේ රූප, කාන්තා රූප, දොරටුපාල රූප, පුන් කලස් ලියවැල්, කොරවක්ගල්, කුඩා ස්ථම්භ,ගරජසිංහ කොරවක් ගල්, නටන වයන රූප ආදියෙන් සමන්විත වූ පියගැට පෙළ යාපහුවේ තවත් විස්මිත නිර්මාණයකි. එහි දෙපස අත්වැල මත නිම වූ සිංහ මූර්ති යුගලය එහි වටිනාකම තවත් වැඩි කරයි. යාපහුව පර්වත මස්තකයේ ද මෙවැනි තවත් විස්මිත නිර්මාණයන් රාශියක් අපට දැක ගත හැකි ය. අක්කර පහක් පමණ වන පර්වත මස්තකයෙහි දහතුන් වැනි දා හතර වැනි සියවස්වල ඉදිකළා යැයි සැලකෙන පොකුණු සහ පනා බැමි ඇතුළු ඉදිකිරීම් තිස් දෙකක් හඳුනාගෙන තිබේ. එම ගොඩනැඟිලි අතර විශාලම ගොඩනැඟිල්ල වන්නේ රජ මාලිගාව ය. පර්වත මස්තකයෙහි විවිධ ප්‍රමාණයන්ගෙන් යුත් ස්වාභාවික ගල් කෙමි පහකි. ඒවා සමහරක් පොකුණු බවට පත්කර ඇත. එසේම යාපහුව පර්වතය ආශ්‍රිතව ලෙන් හතළිහක් පමණට දක්නට ලැබෙන අතර, එයින් ලෙන් 25ක් පමණ කටාරම් කොටා සකස් කරන ලද ඒවා ය. ඒවා පැරැණි ආරාම සංකීර්ණ වශයෙන් හඳුනාගෙන තිබේ. එම ලෙන් අතර ලෙන් තුනක පූර්ව බ්‍රාහ්මී ශිලා ලිපි දක්නට ලැබෙන අතර, එම ලෙන් සංඝාවාස වශයෙන් භාවිත කරන්නට ඇතැයි සලකයි. විවිධ ප්‍රමාණයන්ගෙන් යුත් මෙම ලෙන් හතළිහ අතරින් විශාලම ලෙන මීටර් 30ක් දිග වන අතර, උසින් මීටර් තිහක් වේ.

ලක්නා නිරෝෂිමාලා


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department