Home » Blog » ලෝකයේ රංග ශාලා

ලෝකයේ රංග ශාලා

by thanushika
0 comment

භරතමුණි පඬිවරයා ස්වකීය නාට්‍ය ශාස්ත්‍රය කෘතිය මඟින් නාට්‍ය රඟ දැක්වීම සඳහා නාට්‍ය ශාලාවක් හෙවත් නාට්‍ය ගෘහයක් ගොඩනඟන ආකාරය විස්තරකර ඇත. භරතමුණිගේ නාට්‍ය ශාස්ත්‍රය කෘතියේ සහ වෙනත් කෘතිවල ඇතුළත් තොරතුරු අනුව රංග ශාලා විවිධ නම්වලින් හඳුන්වනු ලබයි. එනම් ප්‍රේක්ෂක ගෘහ, නාට්‍ය ගෘහ, ප්‍රේක්ෂකාගාර සහ නාට්‍ය මණ්ඩප ලෙසයි. ලෝකය පුරා ප්‍රසිද්ධියට පත් වූ සහ අලංකාරබවින් යුත් රංග ශාලා දැක ගැනීමට හැකි ය. මෙවර මිහිර පෝස්ටරය සැකසෙන්නේ ලෝකයේ රංග ශාලා ඇසුරිනි.

The Royal Opera House
( රෝයල් ඔපෙරා ශාලාව )

රෝයල් ඔපෙරා ශාලාව මධ්‍යම ලන්ඩනයේ කොවෙන්ට් ගාර්ඩන් හි ප්‍රධාන රංග ශාලාවකි. මෙම රංග ශාලාව රාජකීය ඔපෙරා , රාජකීය බැලට් සහ රාජකීය ඔපෙරා හවුස් හි වාද්‍ය වෘන්දයේ නිවහන වේ. The Royal  රංග ශාලාව මෙම ප්‍රදේශයේ පළමු රඟහල වේ. මෙම රංග ශාලාව Covent Garden ලෙස ද හඳුන්වනු ලබයි. ජෝර්ජ් ෆ්‍රෙඩ්රික් හැන්ඩෙල් සංගීතඥයා විසින් මෙහි පළමු ඔපෙරා සංදර්ශනය පවත්වන ලදි. ඔහුගේ බොහෝ ඔපෙරා සහ කථිකාවන් විශේෂයෙන් Covent Garden සඳහා ලියා ඇති අතර, ඒවායේ මංගල දර්ශනය එහි පැවැත්විණි. වර්ෂ 1808 සහ වර්ෂ 1856ට පෙර ගොඩනැඟිලිවලට ඇති වූ විනාශකාරී ගින්නෙන් පසුව වත්මන් ගොඩනැඟිල්ල ලන්ඩනයේ ඉදි වූ තුන්වැනි රඟහල වේ. ප්‍රධාන ශ්‍රවණාගාරයේ පුද්ගලයන් 2256කට පමණ අසුන් ගැනීමට හැකි ය. ප්‍රොසීනියම් පළල මීටර 14.80ක් වන අතර, වේදිකාව එකම ගැඹුරකින් සහ මීටර් 12.20 උසකින් යුක්ත වේ.

La Scala de Milan
( ලා ස්කාලේ ඩී මිලාන්)

ලොව ප්‍රකටම ඔපෙරාගාරය වන මෙය ඉතාලියේ මිලාන් නගරයේ පිහිටා ඇත. වර්ෂ 1778 අගෝස්තු 3 වැනි දින විවෘත කරන ලදි. මෙය මුලින්ම හැඳීන්වූයේ Nuovo Regio Ducale Teatro alla Scala ලෙසින් ය. මෙහි ප්‍රේක්ෂකයන් 2030කට පමණ අසුන්ගත හැකි ය. Arturo Toscanini  (අර්ටුරෝ ටොස්කෑනිනි), Riccardo Muti (රිකාර්ඩෝ මුටි), Gavazzeni Gianandrea  (ගැවසේයිනි ගියනන්ඩ්‍රියා) වැනි සුප්‍රකට ඔපෙරා නිර්මාණ ශිල්පීන්ගේ ඔපෙරා ඔබට මෙහිදී දැකගත හැකි වේ. මෙම රඟහල ලොව ප්‍රමුඛතම ඔපෙරා සහ බැලේ රඟහල ලෙස සැලකේ. සංගීතය, නැටුම්, වේදිකා ශිල්පය සහ වේදිකා කළමනාකරණය පිළිබඳ වෘත්තීය පුහුණුවක් ලබා දෙන La Scala Theatre Academy ලෙස හැඳීන්වෙන රංග පාසලක් ද මෙම රඟහලේ ඇත.

The Sydney Opera House
( සිඩ්නි ඔපෙරා ශාලාව)

සිඩ්නි ඔපෙරා හවුස් යනු ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස්හි සිඩ්නි හි පිහිටි බහු ස්ථාන ප්‍රසංග කලා මධ්‍යස්ථානයකි. මෙම රඟහල සිඩ්නි වරායේ ඉදිරිපස වෙරළ තීරයේ පිහිටා ඇත. සිඩ්නි ඔපෙරා හවුස් ලොව වඩාත් ප්‍රසිද්ධ හා විශේෂ ගොඩනැඟිලිවලින් එකකි. 20 වැනි සියවසේ ගෘහනිර්මාණ ශිල්පයේ විශිෂ්ටතම නිර්මාණයක් ලෙස සිඩ්නි ඔපෙරා හවුස් පෙන්වා දිය හැකි ය. මෙම ගොඩනැඟිල්ලේ ගෘහ නිර්මාණ ශිල්පය සිදු කරන ලද්දේ ඩෙන්මාර්ක් ගෘහ නිර්මාණ ශිල්පී Jorn Utzon විසින් ය. වර්ෂ 1959 මාර්තු මස 01 වැනි දින මෙම ගොඩනැඟිල්ල ඉදිකිරීම සඳහා මුල් ගල තබන ලදි. මෙහි වාර්ෂික ප්‍රසංග 1500කට වඩා වැඩි ප්‍රමාණයක් පවත්වනු ලබන අතර, මිලියන 1.2 කට වැඩි පිරිසක් සහභාගි වෙති. ඔපෙරා ඔස්ට්‍රේලියාව, සිඩ්නි රඟහල සමාගම සහ සිඩ්නි සිම්ෆනි වාද්‍ය වෘන්දය වැනි නේවාසික සමාගම් රැසක් සමඟින් ප්‍රසංග ඉදිරිපත් කරනු ලබන්නේ ප්‍රසංග ශිල්පීන් විසිනි. මෙම ගොඩනැඟිල්ල හෙක්ටයාර් 1.8ක භූමි ප්‍රමාණයකින් යුක්ත වේ. සිඩ්නි ගොඩනැඟිල්ලේ පළලම ස්ථානයේ දිග මීටර් 183ක් පමණ සහ පළල මීටර් 120ක් පමණි .

Tetro Real de madrid
(ටෙට්‍රෝ රියල් ඩි මැඩ්රීඩ් )

ස්පාඤ්ඤයේ මැඩ්රීඩ් හි පිහිටා ඇති මෙය ස්පාඤ්ඤ රජ පවුලට අයත් ස්ථානයකි. රාජකීය මාලිගය ඉදිරිපිට ප්ලාසා ඩි ඔරියන්ට් හි පිහිටා ඇති අතර, මෙය වාචිකව එල් රියල් ලෙස හැඳීන්වේ. වර්ෂ 1850 නොවැම්බර් 19 වැනි දින විවෘත වූ මෙහි ප්‍රේක්ෂකයන් 1746කට පමණ ආසන පහසුකම් ඇත. එහි බිම් ප්‍රමාණය වර්ග මීටර් 78,210ක් පමණ වේ. මෙම රංග ශාලාව රටේ ප්‍රසංග සහ සංගීත කලාවේ ඉහළම ආයතනය ලෙස සැලකේ. ටෙට්‍රෝ යුරෝපයේ කීර්තිමත් ඔපෙරා හවුස්වලින් එකකි. වර්ෂ 1995 සිට, රඟහල කළමනාකරණය කරන ලද්දේ ස්පාඤ්ඤ රජයේ සංස්කෘතික අමාත්‍යාංශය , මැඩ්රීඩ් ප්‍රජාවේ රජය සහ මැඩ්රිඩ් නගර සභාව නියෝජනය කරන භාරකාර මණ්ඩලයේ මහජන පදනමක් මගින් ය. වර්ෂ 1988 සිට මෙම රංග ශාලාවේ ප්‍රධාන වාද්‍ය වෘන්දය වන්නේ Orquesta Sinfonica de Madrid ය . මෙම රංග ශාලාව ජාතික ඔපෙරා සම්මාන උලෙළේ දී “වසරේ ඔපෙරා සමාගම” යන සම්මානය ලබා ගන්නා ලදි.

Moscow Bolshoi Theater
( මොස්කව් බොල්ෂෝයි රංග ශාලාව)

රුසියාවේ මොස්කව් අගනගරයේ පිහිටි මෙය තවත් ප්‍රකට රංග ශාලාවකි. වර්ෂ 1825 දී මෙය මුලින්ම විවෘත වූයේ පයෝටෝර් උරුසෝව් කුමාරයාගේ පෞද්ගලික රංග ශාලාවක් ලෙසින් ය. දෙවැනි කැතරින් අධිරාජිනිය විසින් මොහුට වසර දහයකට පමණ සියලු නාට්‍යමය කටයුතු කරන ලෙස ලිඛිතව අවසර දෙන ලදි. මෙම රංග ශාලාව ලොව පැරැණිතම සහ කීර්තිමත් ඔපෙරාවක් වන අතර, එය 200කට වැඩි නර්තන ශිල්පීන්ගෙන් සමන්විත වේ. බොල්ෂෝයි රඟහලේ නාට්‍යමය නිෂ්පාදන ඉදිරිපත් කළ ද, එහි වැඩි වශයෙන් ඔපෙරා සහ මුද්‍රා නාට්‍ය ඉදිරිපත් කරනු ලැබේ. එය Donizetti , Rossini , Meyerbeer, තරුණ Verdi සහ රුසියානු නිර්මාපකයන්ගේ කෘති – Verstovsky සහ Glinka යන දෙදෙනාගේම කෘති නිෂ්පාදනය කළේ ය. Bolshoi රඟහල සඳහා නව වේදිකාව නමින් නව වේදිකාවක් වර්ෂ 2002 නොවැම්බර් 29 වැනි දින රංග ශාලාවේ ඓතිහාසික ප්‍රධාන වේදිකාවට වම් පසින් ඉදිකරන ලදි. බෝල්ෂෝයි රඟහල සෑම විටම රුසියාවේ සංකේතයයි.

The Metropolitan Opera House
(මෙට්‍රෝපොලිටන් ඔපෙරා ශාලාව)

මෙම විශිෂ්ට රංග ශාලාව පිහිටා ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ ය. නවීන තාක්ෂණයෙන් අනූන මෙය වර්ෂ 1966 සැප්තැම්බර් මස 16 වැනි දින විවෘත කරන ලදි. මෙහි ප්‍රේක්ෂකයන් 3800කට පමණ ආසන පහසුකම් ඇත. ගොඩනැඟිල්ල සුදු ට්‍රැවර්ටයින්වලින් ආවරණය වී ඇත. නැඟෙනහිර මුහුණත විශේෂ කොන්ක්‍රීට් ආරුක්කු පහකින්, විශාල වීදුරු සහ ලෝකඩ මුහුණතකින් අලංකාරකර ඇති අතර, එය ප්ලාසාවෙන් අඩි 96ක් උසින් යුක්ත වේ. ගොඩනැඟිල්ල මහල් 14කින් සමන්විත වන අතර, එයින් 5ක් භූගත ය. ශ්‍රවණාගාරයේ පළිඟු පහන් කූඩු 21ක් එල්ලා ඇත. මෙහි ගෝලාකාර පෙති හැඩැති සිවිලිම ආවරණය කර ඇති රන් පත්‍රවලින් ය. හතරැස් රන් ප්‍රොසීනියම් පළල අඩි 54ක් සහ උස අඩි 54ක් පමණ වේ. වාද්‍ය වෘන්දය සඳහා ඇති කොටස ඉතා විශාල වන අතර, එහි සංගීතඥයන් 110 දෙනකුට පමණ සිටීමට හැකි ය.

National Theater Of Kore
( කොරියාවේ ජාතික රඟහල)

මෙම රඟහල දකුණු කොරියාවේ පිහිටා ඇත. මෙය ආසියාවේ ප්‍රථම ජාතික රඟහල වේ. මෙම රඟහල වර්ෂ 1950 අප්‍රේල් 19 වැනි දින විවෘත කරන ලදි. සාම්ප්‍රදායික කලාවන් සමකාලීන කලාවක් ලෙස ප්‍රතිනිර්මාණය කිරීමට ගන්නා රඟහල මෙයයි. මෙහි ප්‍රසංග කණ්ඩායම් හතරක් ඇත. එනම් ජාතික රඟහල සමාගම, ජාතික ගායන රඟහල සමාගම, ජාතික නර්තන සමාගම හා ජාතික චීන සංගීත වාදක කණ්ඩායමයි. මෙම රංග ශාලාව ප්‍රසංග ස්ථාන හතරකට බෙදා ඇත. එයින් සන්රයිස් රඟහල වැඩි ආකර්ෂණයක් දිනා ගනු ලබයි. උසස් ආලෝකකරණය සහ ශබ්ද පහසුකම්වලින් සමන්විත මෙම රංග ශාලාවේ ආසන 1500ක් පමණ ඇත. රංග ශාලාවේ Yuesheng  රඟහලේ ආසන 450ක් පමණ ඇත. Xingsheng රඟහලේ වේදිකාවේ උපකරණ චලනය කිරීමේ හැකියාව තිබේ. මෙහි ආසන 100ක් පමණ ඇත. ජාතික රඟහලේ ස්කයි රඟහල එළිමහන් රංග ශාලාවකි. එය උසස් ශබ්ද උපකරණ සහ ජංගම ආලෝකකරණ උපකරණවලින් සමන්විත වේ.

Grauman’s Chinese Theatre
(ග්‍රෞමන්ගේ චීන රඟහල)

චීන රඟහල සඳහා මුල්ගල් තැබීමේ උත්සවය වර්ෂ 1926 ජනවාරි 5 වැනි දින සිදු වී ඇත. ලෝකයේ වඩාත්ම අසාමාන්‍ය නාට්‍යාගාරය ආරම්භ කිරීම ලෙස එරට පුවත්පත් මෙය ආරම්භ කිරීමේ මහජන උත්සවය ප්‍රචාරය කළේ ය. චීන රඟහලේ කැපී පෙනෙන අංගයක් වන්නේ එහි ඇති ශ්‍රේෂ්ඨත්වය සහ අලංකරණයයි. මෙම රඟහල වර්ෂ 1927 මැයි 18 වැනි දින Cecil B. DeMille  ගේ The King of Kings  හි මංගල දර්ශනය සමඟින් විවෘත විය. විවිධ රිදී මකර ලාංඡන සහ රන් පදක්කම් සහිත අඩි හැටක් පළල විසිතුරු පැදුරු ශ්‍රවණාගාරයේ සිවිලිමෙහි දක්නට ලැබේ. පහන් කූඩුවක් ලෙස පෙනෙන පරිදි සකස් කරන ලද ලෝකඩ පහන් කූඩුවක් විසිතුරු පැදුරු මැද එල්ලා තිබේ. ශ්‍රවණාගාරය අඩි 150ක් පළල, අඩි 46ක් ගැඹුරු, අඩි 71ක් උස වේදිකාවකි. වේදිකාව කොටස්වලට බෙදා ඇති අතර, සජීවී නාට්‍ය රඟ දැක්වීම්වලදී ඉක්මනින් රංගන සහ පසුතල නිර්මාණ කට්ටල වෙනස් කිරීම සඳහා එහි අඩි 20ක් ගැඹුරු වළකට බැසීමට හැකි ලෙස වේදිකාව සකසා තිබේ.

Teatro La Fenice
(ටියැට්රෝ ලා ෆෙනිස්)

මෙම රංග ශාලාව ඉතාලියේ වැනිසියේ පිහිටා ඇත. Teatro La Fenic ඉතාලි නාට්‍ය ඉතිහාසයේ වඩාත් ප්‍රසිද්ධ හා කීර්තිමත් සන්ධිස්ථානයකි. වර්ෂ 1792 මැයි 16 වැනි දින විවෘත වූ මෙහි ප්‍රේක්ෂකයන් 1126කට පමණ ආසන පහසුකම් ඇත. මෙය Gian Antonio Selva ගේ නිර්මාණයට අනුව ඉදිකරන ලද්දකි. පැති බිත්තිවල ප්‍රතිනිෂ්පාදනයකර ඇති පෙට්ටිය ඇතුළේ ඉතාලි රාජකීය පවුලේ සංකේතය තවමත් දැකිය හැකි ය. ප්‍රධාන දොරේ මුදුනේ හිරුගේ සංකේතයක් ඇති අතර, එය ප්‍රංශයේ XIV  වැනි ලුවී රජුට උපහාරයකි.

Tetro Colon In Buenos Aires
( බුවනොස් අයර්ස් හි ටෙට්‍රෝ කොලොන්)

ආර්ජන්ටිනාවේ බුවනොස් අයර්ස්හි පිහිටා ඇති මෙය ලතින් අමෙරිකානු රටක පිහිටා ඇති රංග ශාලාවකි. කොලොන් රඟහල ගොඩනැඟිලි දෙකකින් ක්‍රියාත්මක වූ අතර, පළමුවැන්න වර්ෂ 1888 දක්වා ප්ලාසා ඩි මායෝ හි පිහිටා ඇති අතර, දෙවැන්න ප්ලාසා ලාවාලේ ඉදිරිපිට පිහිටා ඇත.

වර්ෂ 1908 මැයි 25 වැනි දින විවෘත කරන ලදි. එහි ඉතිහාසය පුරාම ඔපෙරා, ශාස්ත්‍රීය සංගීතය සහ ලෝක මුද්‍රා නාට්‍යයේ ප්‍රධාන චරිත රඟදක්වා තිබේ. ශ්‍රවණාගාරය අශ්ව ලාඩමක හැඩයකින් යුක්ත වේ. මෙහි ආසන 2,487ක් පමණ ඇත. මීටර් 20 ක් පළල, මීටර් 15 ක් සහ මීටර් 20 ක් ගැඹුරු වේදිකාවක් ද මෙහි ඇත. මෙම රඟහලේ මුල් ගෘහ නිර්මාණ ශිල්පියා ඉතාලි ජාතික ෆ්‍රැන්චෙස්කෝ ටැම්බුරිනි වේ.

චතුරි ලක්ෂිකා

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department