නාම පදයි ළමා කවියයි
නාම පද
“සප්‍රාණික සියලුම සතුන් හා අප්‍රාණික සියල්ල හැඳීන්වීමට භාවිත වන නාම” නාම පද ලෙස නිර්වචනය කළ හැකි ය. පුද්ගලයකු, තැනක්, දෙයක්, පිළිබඳ අර්ථයක් දෙන පද නාම පද වශයෙන් හැඳීන්විය හැකි ය.
පුද්ගල නාම පද, සත්ත්ව නාම පද, ද්‍රව්‍ය නාම පද , ස්ථාන නාම පද වශයෙන් නාම පද වර්ග කිහිපයක් තිබේ. ප්‍රාණවාචී නාම පද සහ අප්‍රාණවාචී නාම පද වශයෙන් ද නාම පද වර්ග කළ හැකි වේ.
සිංහල භාෂාවෙහි ඇති පද අතරින් අතිවිශාල සංඛ්‍යාවක් ඇති පද වර්ගය වන්නේ නාම පදයි.
පුංචි ගෙදර පොඩි ලෝරා
චාල්ස් ඇගේ අප්පච්චී
කැරොලින් අම්මා වෙච්චී
මාර්තා ඇයගේ ආච්චී
ලෝරා ඉන්ගල්ස් පැංචී
මේරි ඇගේ අක්කා වුණා
කේරි ලොකුම නංගි වුණා
ග්‍රේස් පොඩිම නංගි වුණා
ලෝරා මද්දුමිය වුණා
විස්කොන්සින් මහ වනයේ
ලී ගෙදරක කල් ගෙව්වේ
තැනිතලාවෙ දුව පැන්නේ
ලෝරා නම් ඇය වන්නේ
රිදී විල්තෙරේ සිටියා
මිදි ඔය අසබඩ විසුවා
සීත කාලෙ දුක් වින්දා
කුඩා නගරයෙත් සිටියා
අප්පච්චිගෙ රවිකිඤ්ඤා
නාදෙට ඈ කන් දුන්නා
සුරතල් ජැක් බලු පැටවා
සමඟින් ලෝරා නැටුවා
රැලි රැලි තොප්පිත් දාලා
අත් දිග ගවුමක් ඇඳලා
රස රස කෑමත් හදලා
ලෝරා සතුටින් සිටියා
මෙම කවියෙන් හමු වූ නාම පද
චාල්ස් – පුද්ගල නාම පද
අප්පච්චී – පුද්ගල නාම පද
අම්මා – පුද්ගල නාම පද
ආච්චී – පුද්ගල නාම පද
කැරොලින් – පුද්ගල නාම පද
මාර්තා -පුද්ගල නාම පද
ලෝරා – පුද්ගල නාම පද
මේරි – පුද්ගල නාම පද
කේරි – පුද්ගල නාම පද
ග්‍රේස් – පුද්ගල නාම පද
අක්කා – පුද්ගල නාම පද
නංගි – පුද්ගල නාම පද
මහ වනය – ස්ථාන නාම පද
ලී – ද්‍රව්‍ය නාම පද
ගෙදර – ස්ථාන නාම පද
ඔය – ස්ථාන නාම පද
නගරය – ස්ථාන නාම පද
රවිකිඤ්ඤා – ද්‍රව්‍ය නාම පද
ජැක් – පුද්ගල නාම පද
බලු පැටවා – සත්ත්ව නාම පද
තොප්පි – ද්‍රව්‍ය නාම පද
ගවුමක් – ද්‍රව්‍ය නාම පද
*************************
පිරුළක් සැදුණු හැටි
තැනට හෙවත් අවස්ථාවට ගැළපෙන ආකාරයට විශාල අර්ථයක් ප්‍රකාශ කිරීම වෙනුවට කෙටි වැකියක් යොදා ගැනීම සිංහල භාෂාවේ බහුලව සිදු කරනු ලැබේ. මෙය ප්‍රස්තාව පිරුළු ලෙස හඳුන්වයි. ”සුදුසු අවස්ථාවට ප්‍රයෝජන ලබාගැනීම සඳහා අනුන්ගෙන් ලබාගත් වැකි” යන තේරුම ද ප්‍රස්තාව පිරුළු හැඳීන්වීමට යෙදිය හැකි ය . මෙම පිරුළු ඇතැම්විට උපහාසාත්මක ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ද යොදා ගනී. මෙම ප්‍රස්තාව පිරුළු බොහොමයක් බිහිවීමට පසුබිම් වූ ජන කතන්දර ද තිබේ. අද අපි ‘නරියා මිදි ඇඹුල් කිව්වා වගෙයි ‘යන ප්‍රස්තාව පිරුළට පසුබිම් වූ ජන කතන්දරය හඳුනා ගනිමු.
නරියා මිදි ඇඹුල් කිව්වා වගෙයි
එය ඉතා උණුසුම් දිනයක් විය . දැඩි ලෙස වතුර පිපාසයෙන් සිටි නරියෙක් සෙමින් සෙමින් වනාන්තරයක් මැදින් ඇවිදගෙන ගියේය. මෙසේ යනවිට නරියා මිදි පොකුරුවලින් පිරුණු මිදි වැලක් දුටුවේය. එහි හොඳීන් පැසුණු මිදි පොකුරක් ද තිබෙනු නරියා දුටුවේය. මිදි වැල අසලට ගිය නරියා මිදි පොකුර දෙස බලමින් තොල කට ලෙව කෑමට පටන් ගත්තේය.
මිදි යුෂවලින් තමන්ගේ පිපාසය නිවා ගැනීමට හැකි වේවි කියා සිතූ නරියා,
අලංකාර මිදි පොකුර කෙසේ හෝ ලබා ගැනීමට සිතුවේය. එහෙත් මිදිවැල තිබුණේ ඉතා උසින් ය. නරියා මිදි පොකුර වෙතට උඩ පැන්නේය. එහෙත් නරියාට මිදි පොකුරට ළං වෙන්නට නොහැකි විය. නරියා දෙවැනි වතාවටත් ශක්තිය අරගෙන උඩ පැන්නේය. ඒ වතාවේදීත් නරියාට මිදි පොකුරට ළංවීමට නොහැකි විය.
මේ ආකාරයට නරියා කිහිප වතාවක්ම උඩ පැන්නත් මිදි පොකුරට ළං වෙන්නට නරියාට හැකි වූයේ නැත. ඉන්පසු නරියාට දැඩි ලෙස කේන්ති ගියේය. කෝපයක් සහ නොසන්සුන්බවක් ඇති විය. නරියා ආපසු යෑමට හැරුණේය. එවිට මිදි වැලේ සිටි ලේනෙක්
“ඇයි නරිහාමි මේ තරම් උඩ පැනලත් මිදි කන්නේ නැතුව යන්නේ?“ කියා නරියාගෙන් ඇසුවේය.
“ඒවා හරිම ඇඹුල්. චිහ් කවුද ඒ මිදි කන්නේ? මට එපා ඒ මිදි“ එසේ කියමින් නරියා යන්නට ගියේය.
කෙනෙක් තමන්ට යමක් ලබාගත නොහැකි වූ විට ඒ දෙය පහත්කර සලකමින් එයට අපහාස කිරීමට කටයුතු කරන විට ගැමියෝ ‘ නරියා මිදි ඇඹුල් කිව්වා වගෙයි’ යනුවෙන් පැවසීමට පුරුදු වී සිටිති.
******************************
කතන්දරය කියවා සමාන පද සොයමු
විශාල පොත් සහ කුඩා පොත්
එකමත් එක පොත් සාප්පුවක ළමා පින්තූර කතා පොත් දුකින් පසු විය. එහි සිටි විශාල හා ප්‍රසිද්ධ පොත් ළමා පොත් දෙස බලමින් මෙසේ පැවසීය.
“ඔයාලාට පොත් කියලා කියන්නත් අමාරුයි. ඔයාලගෙ පිටුවල අකුරු තියෙන්නෙත් ටිකයි. වැඩිපුරම තියෙන්නේ පින්තූර විතරයිනේ“
කුඩා අකුරින් ලියන ලද පිටු විශාල ප්‍රමාණයක් තිබූ එක් පොතක් ආඩම්බරයෙන් මෙන් එසේ පැවසුවේය.
“අපි මේ පොත් සාප්පුවේ වැඩ කරන අයට ඔයාලාව අප අසලින් තැබීමට ඉඩ දෙන්නේ නෑ. ඔයාලා ඇත්තටම සැබෑ පොත් නෙවෙයි ” ඉතා බැරෑරුම් හා විසිතුරු තවත් පොතක් පැවසුවේය.
අසරණ ළමා පොත්වලට පොත් සාප්පුවල හෝ පුස්තකාලවල කුඩා කොනකවත් රැ¼දී සිටීමට ඉඩක් ලැබුණේ නැත. ඒවාට අට්ටාලවල සහ ගබඩාවල ගොඩ ගැසී සැඟවී සිටීමට සිදු විය.
විශාල පොත්වලට හරිම සතුටුයි. ඉන්පසු පොත් සාප්පුවලට ආවේ බුද්ධිමත් වැඩිහිටියන් පමණි.
දඟකාර ළමයින් එහි නොඑන නිසා ඔවුන්ට හිංසා වේ යැයි හෝ ඔවුන්ගේ පිටු විනාශ වේ යැයි කියා තවදුරටත් විශාල පොත් බිය විය යුතු නැත . තමන්ගේ පිටු ඉරා අපිරිසුදු කරන ළමයින් පැමිණේවියැයි කියා දැන් විශාල පොත් වධ විය යුතු නැත.
වසර ගණනාවක් ගෙවී ගිය අතර, පුස්තකාලවලට පාඨකයන් ලෙස පැමිණියේ වැඩිහිටියන් පමණි. පුස්තකාලයකට නොපැමිණි සියලුම දරුවෝ කාලයත් සමඟ වැඩිහිටියන් බවට පත් වූහ.
“දැන් එයාලට පුළුවන් ඇතුළට ඇවිත් අපිව හම්බවෙලා අපේ ප්‍රඥාව අගය කරන්න. අපිව ඇති තරම් කියවා බලන්න” විශාල පොත් එසේ සිතූහ.
එහෙත් සිදු වූයේ වෙනත් දෙයකි. ළමා පොත් නොකියවා ළමා විය ගෙවා වැඩිහිටියන් බවට පත් වූ කිසිවකුට විශාල පොත් ගැන උනන්දුවක් තිබුණේ නැත. ඒවා දිග වැඩියි! විශාල වැඩියි! ඔවුන් එසේ කියවන්නේ කෙසේද?
ඔවුන් ළමා වියේදී කිසි විටෙකත් කිසිම පොතක් කියවා නොතිබුණේ නම්, වැඩිහිටි වූ පසු එකවර පිටු ගණනාවක් තිබෙන විශාල පොත් කියවීමට පෙළඹේවි ද?
විශාල පොත් මංමුළා සහගත තත්ත්වයට විය. පොත් සාප්පු වැසී යමින් තිබිණි. පුස්තකාල ද අබලන් විය. කිසිවෙක් විශාල පොත් කියවීමට පැමිණියේ නැත. අත්හැර දැමූ
අමතකකර දැමූ තත්ත්වයකට විශාල පොත් ද පත් විය. මෙයට පිළියමක් පතා ඔවුහු එක් වී රැස්වීමක් සංවිධානය කළහ. විශාල පොත් එකිනෙක විශාල පොත් කියවන්නට පටන් ගත්තේ ය. ඔවුන්ගේම පිටු මිලියන ගණනක් කියවා එහි ඇත්තේ එකම විසඳුම බව විශාල පොත් සොයා ගත්තේ ය. ළමා පොත් පුස්තකාලවලින් හෝ පොත්හල්වලින් ඉවත් කළ නිසා ළමා පාඨකයන් සියලුදෙනා පුස්තකාලවලින් ඈත් වී ගොස් ඇත. ළමා වියේදී පොත් ඇසුරු නොකළ නිසා ඔවුන් වැඩිහිටි වූ පසු පුස්තකාලවල පොත් කොපමණ තිබුණත් ඔවුන් ඒවා කියවීමට පෙළඹෙන්නේ නැත. විශාල පොත් ළමා පොත්වලින් සමාව ඉල්ලුවේ ය. නැවතත් පුස්තකාල තුළට විත් රාක්කවල සිටින ලෙස ළමා පොත්වලින් ඉල්ලන ලදි.
ආපසු පැමිණි ළමා පොත්වලට පුස්තකාලයේ හොඳම රාක්කවල ඉඩ ලැබිණි. ඉන්පසු ළමයි නැවතත් පුස්තකාල වෙත පැමිණෙන්නට වූහ.
විශාල පොත්වලට ආදරය කරන වැඩිහිටියන් බවට ළමයින් පත්කරවා ගැනීමට ඔවුන් සමත් වූයේ එලෙසිනි.
වචන කිහිපයක් සහ පින්තූර රාශියක් ඇති පොත් සැබෑ පොත් නොවේ යන ආකල්පය ඉන්පසු සියලුදෙනාගේ සිත්වලින් ඉවත් වී ගියේය.
ස්පාඤ්ඤ ජාතික ලේඛක Pedro Pablo Sacristán විසින් රචිත කතාවක් ඇසුරිනි.
සමාන පද යනු
සමාන අර්ථ සහිත පද සමානාර්ථ පද හෙවත් සමාන පද ලෙස හඳුන්වයි. ඇතැම් පදවලට සමාන අර්ථයක් දෙන පද ගණනාවක් ඇති අතර, ඇතැම් පදවලට සමාන අර්ථ දෙන පද ඇත්තේ කිහිපයක් පමණි. සමාන පද පර්යාය පද ලෙස ද හඳුන්වයි.
මෙම කතාවෙහි දැක්වෙන ඇතැම් පදවලට සමාන පද
පොත් – ග්‍රන්ථ, පුස්තක, ගත්
දුකින් – කනගාටුවෙන්, කනස්සල්ලෙන්
ආඩම්බරයෙන් – උඩඟුවෙන්,
විශාල – ලොකු, දැවැන්ත,මහත්
ප්‍රසිද්ධ – ප්‍රකට, පරසිඳු
අකුරු – අක්ෂර
කුඩා – පුංචි, සුළු, සිඟිති, ක්ෂුද්‍ර
බැරෑරුම් – බරපතළ
විසිතුරු – විචිත්‍රවත්
බුද්ධිමත් – නැණවත්, ඥානවන්ත
පිළියමක් – විසඳුමක්
අපිරිසුදු – අපවිත්‍ර, කිලිටි
පුස්තකාල – පොත්ගුල්
ආපසු – නැවත, යළි
ආකල්පය – අදහස
************************************
උපමා හඳුනා ගනිමු
කිසියම් වස්තුවක් තවත් වස්තුවකට සමාන කර දැක්වීම උපමාවක් ලෙස හැඳීන්වේ.
උපමාවකදී මෙන්, සේ, වැනි, බඳු, ලෙස, අයුරු , විලස වැනි නිපාත පද යොදා ගැනේ.
උපමාවට බඳුන් වන වස්තුව උපමේය වන අතර, එය වර්ණනා කරන යෙදුම උපමාව නම් වේ.
පහත පරිච්ඡේදය කියවා උපමා කිහිපයක් හඳුනා ගනිමු.
එදින පසළොස්වක පොහොය දිනයක් විය. උදෑසනින්ම අවදි වූ නිමාලි සහ නඳුනි සුදු ළමා සාරියෙන් සැරසුණේ අත්තම්මා සමඟ සිල් සමාදන් වීමට පන්සල් යෑමට ය. ඔවුන් දුටු අම්මා පැවසුවේ “අද දෙන්නා කිරි කොක්කු වගේ සුදුයි” කියා ය. මවට වැඳ අත්තම්මා සමඟ ඔවුහු පන්සල වෙත ගමන් කළහ. මඟදී ඔවුන්ට සුදට සුදේ පිපුණු කෝපි මල් දැක ගත හැකි විය. කුඩා කෝපි මල් පෙනුණේ කුඩා මුතු ඇට ලෙස ය. සුදු අරලියා ගස ද සුදු මලින් පිරී ගොස් තිබුණෙන් එය දිස් වූයේ ද සුදු ඇඳගත් උපාසකයෙක් මෙන් ය. පන්සල වෙත ගිය ඔවුහු සිල් සමාදන් වූහ. සවස් කාලයේ ස්වාමීන් වහන්සේ දෙසූ බණ අසා හිරු දුටු පිනි විලස ඔවුන්ගේ සිත්වල තිබූ විඩාව දුරු වී ගියේය. සැන්දෑව වන විට රන් පිඟානක් සේ වටකුරු පුන් සඳ අහසේ පායන්නට විය. සිල් පවාරණය කළ නිමාලි, නඳුනි සහ අත්තම්මා රෑ බෝවන විට ආපසු නිවෙසට පැමිණියහ.
මෙහි දැකගත හැකි උපමා
කිරි කොක්කු වගේ සුදුයි
කුඩා මුතු ඇට ලෙස
සුදු ඇඳගත් උපාසකයෙක් මෙන්
හිරු දුටු පිනි විලස
රන් පිඟානක් සේ වටකුරු
හර්ෂණී ගමගේ