වර්තමානයේ බොහෝ පුද්ගලයන් අන්තර්ජාලය යොදා ගෙන තමන්ගේ කටයුතුවල නිරතවීමේ ප්‍රවණතාවක් තිබේ. මේ නිසා අන්තර්ජාලය නැතිවම බැරි දෙයක් වී අවසන් ය. වර්තමානයේ දුවලා පුතාලා අන්තර්ජාලය පරිහරණය කිරීමේදී ඔවුන්ට ඇති වන විවිධ දුෂ්කරතා සහ විවිධ ඇබ්බැහිවීම් පිළිබඳ වර්තමානයේදී අප කතා කළ යුතුයි. මේ පිළිබඳ ‘මිහිරයි පාසලයි’ වෙතින් මෙවර මීගමුව හරිශ්චන්ද්‍ර විද්‍යාලයේ විදුහල්පති විමුක්ති දේශප්‍රිය මහතාගෙන් අපි තොරතුරු විමසුවෙමු.
” මම නම් කියන්නේ වර්තමානයට අන්තර්ජාලය ඉතා අවශ්‍යයි කියලා. එයින් අප ලෝකය පිළිබඳ දැන ගන්නවා. ඒත් අප මේ දැන ගැනීමේදී ඉතා පරිස්සෙමින් එය කළ යුතුයි. අප අන්තර්ජාලය පරිහරණය කිරීමේදී කළ යුතු සහ නොකළ යුතු දේවල් පිළිබඳ බෙහෙවින් කල්පනා කළ යුතුයි. සමහර දරුවන් මේ පිළිබඳ එතරම් සැලකිලිමත් වන්නේ නැහැ. මේ නිසා වැඩිහිටියන් වශයෙන් අප ඔවුන්ව මෙහෙය විය යුතුයි. සමාජ මාධ්‍යජාලා පරිහරණය මේ වන විට ප්‍රබල ලෙස සමාජයේ තිබෙනවා. ඒ නිසා දරුවන් එයින් ආරක්ෂා කරගැනීම සඳහා කල්පනාකාරීව කටයුතු කළ යුතුයි. අපේ පාසලේ දරුවන්ට අප බොහෝ විට අවවාද දෙනවා. ඒ අයට ලෝකය ගැන දැන ගැනීමට අන්තර්ජාලය අවශ්‍යයි. එහෙම වුණත් අධ්‍යාපනික වැඩ අතපසුකරමින් අන්තර්ජාලය ඔස්සේ සැරිසැරීම යෝග්‍ය නැහැ.”
” අපේ කාලයේදී අප දැනුම හෙව්වේ පොතින් පතින්. එහෙත් අද ඊට වඩා මුළුමනින්ම වෙනස්. බොහෝදෙනා දැනුම හොයන්නේ අන්තර්ජාලයෙන්. පාසල් මාධ්‍ය කව යොදා ගනිමින් දරුවන් දැනුම්වත් කරන්නේ මේ නිසායි. දරුවන් ඔවුන්ගේ හිතුමතේ කටයුතු කරන්නේ නැතිව වැඩිහිටියන්ගේ උපදෙස් පරිදි කටයුතු කළහොත් යහපතක් ඇති වේවි. අනාගත ලෝකයේ දැනුම් කේන්ද්‍රයකට ඒකරාශී වීම එතරම් පහසු නැත. එසේ ඒකරාශී වීම සඳහා අප ප්‍රඥාවෙන් යුතුව කටයුතු කළ යුතුයි.”
” ඒ කාලයේ අපේ වීරයන් වූයේ පොත්වල හිටිය චරිතයි. එහෙත් වර්තමානයේ දරුවන්ගේ වීරයන් වන්නේ කාටූන් චරිතයි. මම හිතන්නේ ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි. දරුවන් කරන වැරැදි දේවල් අප පහදලා දිය යුතුයි. ඒ වගේම පැරැණි ගද්‍ය පද්‍ය පිළිබඳ ද ඔවුන් දැනුම්වත් කළ යුතුයි. එසේ නොකළහොත් අපේ අනාගත පරපුරට අපේ සම්භාව්‍ය සාහිත්‍ය ගැන අවබෝධයක් නැති වෙනවා. මම හිතන්නේ ඒක එතරම්ම හොඳ දෙයක් නෙවෙයි. ”
” කෘත්‍රිම බුද්ධිය, රොබෝ තාක්ෂණය, මේ වගේ දේවල්වලට වර්තමාන දරුවන් කැමැතියි. ඒ නිසාම ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොදා ඉගෙන ගන්න ඔවුන් කැමැත්තක් දක්වනවා. එහි වරදක් මම දකින්නේ නැහැ. එහෙත් ඒ වගේම අනෙකුත් අධ්‍යයන කටයුතු සඳහා ද අවබෝධයෙන් අවධානයක් යොමු කළ යුතුයි. වර්තමානයේ අධ්‍යාපනය ලබන්නේ වර්ෂ දෙදාහෙන් පසුව ඉපදුණු ළමයින්. ඒ අය කොහොමත් තාක්ෂණයත් එක්ක තමයි ජීවත් වෙන්නේ. ඒකෙ වැරැද්දක් කියන්න බැහැ. එහෙත් ඒ සියල්ල තෝරා බේරා ගන්න තරම් අප දැනුම්වත් විය යුතුයි. ඒ කියන්නේ අප සෑම විටම අපට ගැළපෙන ආකාරයට ඒවා ගළපා ගත යුතුයි. නැතිනම් එතැන අර්බුදයක් නිර්මාණය වෙනවා. ගුරුවරු සෑම විටම දරුවන්ගේ අවශ්‍යතා හඳුනා ගත යුතුයි. එතකොට ප්‍රශ්නයක් ඇති වන්නේ නැහැ. අපේ පාසලේ දරුවන් හාරදහසක් පමණ ඉන්නවා. ගුරුවරු එකසිය හැත්ත හතක් ඉන්නවා. ඒ වගේම පළමු ශ්‍රේණියේ සිට දහතුන ශ්‍රේණිය දක්වා පන්ති තිබෙනවා. ගණිතය, විද්‍යාව, වාණිජ, කලා, මේ හැම අංශයක්ම තියෙනවා. ඒක ඇත්තෙන්ම අපේ පාසලට ශක්තියක්. ඒධ් තාක්ෂණය, රොබෝ තාක්ෂණය මේ කුමක් තිබුණත් කමක් නෑ. දරුවන් විනය ගරුක විය යුතුයි.”
ඔහුගේ බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු වේවා.
රූපාන්ති බුලත්සිංහල
ඡායාරූප- පාසලේ ඡායාරූප සංගමය