Home » Blog » හොඳ යාළුවන් අපට වටිනවා

හොඳ යාළුවන් අපට වටිනවා

by thanushika
0 comments

ආදරණීය දුවේ පුතේ, හොඳ යාළුවන් කියන්නේ වටිනා සම්පතක්. හොඳ යාළුවන් ඇසුරු කිරීම කියන්නේ වටිනා ආභරණයක් පැල¼දීමටත් වඩා වැදගත් දෙයක්. ඉතින් දුවේ පුතේ, අද අපි ඔයාලාට කියන්න යන්නේ ඇසුර නිසා පුද්ගලයන් හොඳ වෙන්නත් පුළුවන් ඇසුර නිසා පුද්ගලයන් නරක වෙන්නත් පුළුවන් කියන එක පිළිබඳයි. ඉතින් දුවේ පුතේ, ඇසුර නිසා පුද්ගලයන් වෙනස්වීම පිළිබඳ කියවෙන කතාවක් අද අපි හඳුනා ගනිමු. පන්සිය පනස් ජාතක පොතේ මේ කතාවට කියන්නේ සත්තිකුම්භ ජාතකය කියලයි.

ඔන්න එකමත් එක ප්‍රදේශයක ගසක ගිරා බෙනයක් තිබුණා. ඒ ගිරා බෙනයේ ගිරා පැටව් දෙදෙනකු සිටියා. මේ දෙන්නා අම්මයි තාත්තායි දුන්න දේවල් කාල බීලා සතුටින් සිටියා. ඔහොම ඉන්න කොට දවසක් මහා සුළඟක් හමාගෙන ගියා. ඒ සුළඟට ගිරා පැටවුන් සිටිය ගස කඩාගෙන වැටුණා. එහෙම වැටිලා, එක ගිරා පැටවෙක් සොරුන් ඉන්න පැත්තකට වීසි වුණා. අනෙක් පැටවා තාපසයන් ඉන්න පැත්තට වීසි වුණා. ඉතින් දුවේ පුතේ, කාලයත් සමඟ මේ ගිරා පැටව්න් දෙදෙනා හොඳීන් වැඩුණා. මේ අතරතුර තාපසයා ළඟට වැටුණු ගිරවා හොඳ වචන කතා කරන්න පටන් ගත්තා.

“එන්න. යන්න. කන්න බොන්න” කියන වචන තාපසයා ළඟ ඉන්න ගිරවා නිතරම කතා කරන්න පටන් ගත්තා. මේ නිසා තාපසයන් සිටින තැනට එන මිනිසුන් අතර එම ගිරවා හොඳීන්ම ජනප්‍රිය වුණා. මිනිසුන් ඒ ගිරවාට ආදරය කළා. “බලන්න, ඒ ගිරවා කතා කරන ලස්සන” හැමෝම එහෙම කියන්න පටන් ගත්තා.

මේ අතරතුර සොරුන් ළඟට වැටුණු ගිරවා නිතර නිතර නරක වචන කතා කළා. හැමෝටම බනින්න පටන් ගත්තා. හැම කෙනකුම මේ නිසා අපහසුතාවට පත් වුණා. බලන්න මේ ගිරවා පුරුදු වෙලා තියෙන ආකාරය කොච්චර වැරැදි ද? “අනේ මේ ගිරවාට වුණු දෙයක්” හැමෝම කියන්න පටන් ගත්තා. සොරුන් නිතර නිතර කතා කළේ මිනිසුන්ට හිරිහැර කරන දේවල් පිළිබඳයි. මේ නිසා ගිරවාත් ඒ පිළිබඳ කතා කරන්න පටන් ගත්තා.

ඉතින් දුවේ පුතේ, ඔබට පැහැදිලි වුණු දෙයක් තියෙනවා නේද? හොඳීන් හැසිරෙන මිනිසුන් ඉන්නා තැන සිටින ගිරවා, ඒ කියන්නේ තාපසයන් ළඟ සිටින ගිරවා හොඳ වචන කතා කරන්න පටන් ගත්තා. ඒවගේම නරක වැඩ කරන සොරුන් ළඟ සිටින ගිරවා නරක දේ කරන්න පටන් ගත්තා. මේ නිසා දුවේ පුතේ, අපට ගත යුතු එක ආදර්ශයක් තියෙනවා. ඕනෑම කෙනෙක් හොඳ කෙනකු ඇසුරු කිරීමෙන් හොඳ වෙන්න පුළුවන්. ඒ වගේම නරක කෙනකු ඇසුරු කිරීමෙන් පුද්ගලයන් නරක වෙන්න පුළුවන්. මේ නිසා අප සෑම විටම හොඳ පුද්ගලයන් ඇසුරු කරන්න ඕනේ. එයින් තමයි අපට යහපත අත්වන්නේ. එසේ නොකළහොත් අප සැමටම වෙන්නේ අවැඩක්. පුංචි දුවලා පුතාලා මේ දේවල් හොඳීන් මතක තබා ගන්න. හොඳ වැඩ කරන, හොඳීන් හැසිරෙන හැම යාළුවකුම අපට වටිනා සම්පතක්. මේ නිසා සෑම විටම හොඳ යාළුවන් ඇසුරු කරන්න පුරුදු වෙන්න. නරක යාළුවන්ගෙන් ඈත් වෙන්න මතක තබා ගන්න.

රූපාන්ති බුලත්සිංහල

පන්සිය පනස් ජාතක පොතේ සත්තිකුම්භ ජාතක කතාව ඇසුරිනි.


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department