“අද නම් ඉතිං කංචු නාවත් අපි යනවා හේන කන්දේ ඇවිදින්න. මොකද කංචු කියන්නේ?” විමලේ ඇසීය.
“ඇයි මොකද මං දාලා යන්නද හදන්නේ? ” මම ඇසුවෙමි.
“නෑ අනේ, අපට වගේ සැහැල්ලු නිදහසක් උඹට නෑ නොව. එක පැත්තකින් අප්පච්චී, ආයෙ අනෙක් පැත්තෙන් අත්තම්මා, ආයේ අම්මා…? නිතී රෙගුලාසි වැඩි නොව ඒකයි මම කිව්වේ”
“ආ…. හරි…. හරි…. ඒ ඕන රෙගුලාසියක් තිබුණාවෙ මාත් එනවා…” මම කීමි.
හේන කන්ද විශාල කඳුගැටයක් නොවේ. ඒ වුණත් එය කුඩාම කන්දකුත් නොවේ. එහි තේ පඳුරු ලස්සනට කප්පාදු කර ඇති අතර, ඉඳහිට කෝපි පඳුරු දෙකක් ද දකින්නට ලැබේ.
ඒ වගේම වැඩුණු මාරගස් කපන්නට සලකුණුකර ඇති ඒවායේ පිට පොත්ත රවුමට ගලවා දමා ඇත. ඒ නිසා එහි කොළ මල් වියළී ගොස් අතු ඉති පත්ර සලා දමා මියැදුණා මෙන් තිබේ. දිරා ගිය ඇතැම් කොටස්වල කොට්ටෝරුවන් කොටා හාරන ලද බෙනවල ගිරව්, මයිනෝ වැනි කුරුල්ලෝ පදිංචිව සිටිති.
බොහෝ අය උන්ගේ පැටවුන් කුඩා කාලයේදිම උන්ගේ වැඩිහිටියන්ගෙන් උදුරා ගනිති. එසේ අරගෙන සමහර දෙනෙක් කුඩා අවධියේදීම පැටවුන් මුදලට විකුණා දමති. සමහර පැටියෙක් දෙන්නෙක් ගෙවල්වල කූඩුකර සුරතලයට හදති. අපේ ගෙදර නම් එම පැටවුන් ගෙදරට ගෙන ඒම සපුරා තහනම් ය. ඒ නිසා මා යන්නේ විනෝදයට මිස මට ගෙන ඒමට නොවේ.
ගෙදරට පැමිණි කරුණේත්, ඔවුන් හා යන්නට මට කතා කළත් මා අදිමදි කළ නිසා කෙළින්ම අප්පච්චීට කීවේ ය.
“මොකද දරුවෝ උදැහැනැකම. අද රෝන්දයක්වත් ගහන්න ද?”
“ විදානේ මාමා අපි අද හේන කන්දේ ඇවිදින්නට යනවා”
“ ආ…… කජු, නාඹර වෙලා නැතුව ඇති තාම. කුරුලු පැටවු ඉගිලෙන විටදි තමයි ඒවායේ මද හයි ගැහෙන්නේ.”
“කෝ…. අපේ ඉලන්දාරියත් යනවද? මං කතා කළා මාමා පිළිතුරක් ලැබුණේ නෑ තාම”
“ හ්ම්… මං මොනව කීවත් අපේ අම්මාගෙන් බේරිලා යනවා බොරු. ඉලන්දාරින්ට මේ වයසේ නිදහස ඕන. තව මාස දෙකකට වඩා නැහැනේ.”
“ කංචු….. යමු..” කරුණෙ කීවේය.
“කොහෙද යන්නේ දරුවෝ?” අත්තම්මා ඇසුවා ය.
“අපි මේ හේනේ කන්දේ යනවා අත්තම්මේ” “ආ………… දැන් කජුනම් හැදිලා ඇති. මලු ගැටයකුත් අරගෙන යන්න දරුවෝ.” ඇය කීවා ය.
ලැබුණු ඉඩකඩින් අපි ගෙදරින් පැනගතිමු.
“පරිස්සමට ගෙහුං වරෙල්ලා දරුවනේ. කෝ තව කවුද යන්නෙ..?”
“ විමලෙයි… සුගතෙයි යනවා. අපි හතරදෙනයි”
“ හ්ම්…. සත්තු සර්පයො ඇති බලාගෙන යන්න.” අම්මා ද කීවා ය.
“කරුණේ ඔය ගස් බෙනවලට අත දාන්නේ බලාගෙන….. ඇහුණ ද මං කියපු එක”
“ ඔව්…….. විදාන මාමා……. ඔව්…..”
කංචු නම් කොහොමටත් ගස් නඟින්නේ නැත.
පන් මලු දෙකක් සිහින් කඹයක් ද, අත්පොරව ද, කුඩා පිහි දෙකක් ද අපේ ගමන් මල්ලට එකතු විය. වතුර ගැනීමට ද අපි අමතක නොකළෙමු.
උදේ තම්බා තිබූ බතල අල පහ හයක් ද මගේ ගමන් මල්ලට දා ගැනීමට ද මම අමතක නොකළෙමි.
දැවන්ත මාර ගස්වල ගිරා බෙන තිබෙන බව අපට පෙනිණි. ඒවායේ කුරුල්ලෝ අවට ගස්වල සිට ගීත ගයති.
“අර මාර ගස් මණ්ඩියේ නම් කුරුලු පැටවු ඇති. අපි යමුද බලන්න?”
විමලේගේ යෝජනාවට කරුණේ ද එකඟ විය.
“කෝ ඒ හරියට යන්නට අඩිපාරක් වත් නෑ නේ…”
“ඒකට තමයි කංචු පිහිය ගෙනාවේ. ඔය ගෝතමාන පඳුරු කප කපා ඒ හරියට යමු. එතකොට පාර ඉබේම හැදෙයි.”
කරුණේ කීවේ මගේ කම්මැළිකම පෙනුණ නිසා බව දනිමි. “ඒත් ඉතිං නතරවෙලා ඉන්නයැ. ඕන එකක්” මම නිහඬවම සුගතෙත් සමඟ උසට නැඟුණු ගෝතමාන පඳුරුවලට පිහියෙන් පහර දෙමින් ඉදිරියට ගියෙමි.
“ මගේ නම් අතත් රිදෙනවා සුගතේ”
“කෝ කංචු මෙහාට දීපන් ඔය පිහිය. දැන් කැලේ අඩු ඉසව්ව නේ තියෙන්නේ. “කරුණේ කිවේය.
අප දුටු දේ නිවැරදි ය. කුරුලු පැටවු තවම පරිසරයට නිදහස් කර නැත. මහ එවුන් කෑම ගෙනැවිත් පැටවුනට කවති. තවත් පොඩි ගලක් උඩ හිඳගත් අපි එදෙස බලා සිටියෙමු.
“අනේ කවුද පැටවු ගන්න ගහට නඟින්නේ?” මම ඇසුවෙමි.
“බලන්නකෝ කංචු උන් කොයිතරම් නිදහසේ ද ඉන්නේ.
අපට ඕන නෑ කුරුලු පැටවු. උන් අම්මලාගෙන් වෙන් කරල ගෙනියන එක කොයිතරම් පාපයක් ද?” විමලේ කීය.
“කුරුලු පැටවුන් උන්ගෙ අම්මලාගෙන් උදුරාගෙන නොයනවට මාත් කැමැතියි.” මමත් කියුවෙමි. අපි කවුරුත් එම පව්කාර සිතුවිල්ල නතර කළෙමු.
“අපි කජු කඩමු.” සියල්ලෝම එයට එකඟ වූහ. විමලේ නම් ගසට නැඟ පුහුලම හපකර එහි ඉස්ම බී ඇට ගස මුලට දැමීය. මම කජු ඇට ඇහිඳගත් අතර, පුහුලම් ද කඩා පැණි බීවෙමි.
කුඩා කජු ගසට නැඟුණ මම නාඹර කජු කඩා ගතිමි. ඒවා කිරි කජු මාළුවට කියාපු ගාණට පැහිලා ය.
“අන්න කංචු කජු ගහට නැඟලා. හැබැයි කඩන්නේ කිරිවත් මිදුණේ නැති ගොන් කජු” සුගතේ විහිළු කළේ ය.
කජු නාඹර මෙන්ම වවුලන් හපකර ඇටය ඉවත ලූ කජු ද අප අහුලා ගතිමු. නිවෙසට එන ගමනේදී ඇඹුල් පේර හා එරමිණිය ගෙඩි ද, ඇඹිල්ල ගෙඩි ද රොක්කර ගෙනාවෙමු.
ගෝතමාන පඳුරු කපමින් පාර සාදා ගෙනගිය නිසා ආපසු එන මඟ සොයා ගෙන එන්නට අපහසුවක් නොවී ය. කජු පුහුල් නොගෙනාව ද අපි හතර දෙනාම කජු ඇට ගෙනැවිත් තිබිණි.
හිරු ගරාකුල කන්දෙන් එහා පැත්තට පනින්නට කල්වේලා තබාම අපි ගෙවල්වලට ආවෙමු. හෙට කියන දවස ගැන අපි සපත්තු පාලම ළඟදී කතාකර ගත්තෙමු.
මා ගෙදර එනවිට අම්මා මඟ බලාගෙන ආලින්දයට වී සිටියා ය. අත්තම්මා තමා ගෙතූ පැදුර අවසානය නිමා කරමින් සිටියා ය. අප්පච්චී හින්නි අප්පු මාමා සමඟ ලොකු කතාවක ය.
“කෝ අයියෙ ඔයා අපට කජු පුහුලන් ගෙනාවද?”
මල්ලී වෙනුවෙන් කජු පුහුලන් එකක් හෝ ගෙන එන්නට බැරිවීම ගැන මම කම්පා වුණෙමි.
“පුහුලන් ගේන්න බෑ මල්ලි. ඒවා තැළෙනවා. හුඟ හරියක් වවුලො බීලා. අපි කවුරුත් කජු ඇට තමා ගෙනාවෙ.” මම මුසාවක් පැවසීමි. එහෙත් එරමිණියා, ඇඹිල්ල ලෑලි මේසය මතට දැමුවෙමි.
“හ්ම්… ඔය ගෙනැත් තියෙන්නේ.” කියු මල්ලී ඒ ගැන කිසිදු අගය කිරීමක් නොකළ නිසා මගේ සිතට දුකක් දැනුණි.
“හොඳ කජු ඇට ටිකක් නම් හම්බවෙලා තියෙනවා” අත්තම්මා එය අගය කළාය.
“ගිරා පැටවු අල්ල ගත්තද දරුවො? ගස් කීයකට බඩ ගෑවද?”
“ගිරා අම්මලා උන්ගෙ පැටවුන්ට ආදරෙන් කවන හැටි බලා උන්නා මිසක් අපි උන් අල්ලන්නට ගියේ නැහැ අප්පච්චී” මම කීවෙමි.
“ඇති. ඇති. ඒ පවුකාර වැඩේ තමන්ටම එපා වුණා නම්”.අම්මා ද කීවා ය.
“ඔය කජු ඇට එහෙම කවුරුත් කපන්න යන්න එපා. ඕවායෙ තියෙන කිරිවලට ගෑවුණ තැන වණ වෙනවා. කිරි ගතිය ටිකක් හේබෑවිලා ගියාම මං කපලා දෙන්නම්” අත්තම්මා කීවාය.
“දන්නෙම නැතුව ඉස්කෝලේ පටන්ගන්න දවසත් ළංවෙනවා. දැන් ඉතිං ඒවාට ලක ලැහැස්ති වුණොත් හොඳා නේද කංචු?”
“ඔව් අප්පච්චි මට අලුත් ඇඳුමකුත් ගන්න ඕන. පොත් ලිස්ට් එකනම් නිවාඩු දවසෙම දුන්නා. තාම ඒවා ගත්තෙත් නෑ නේද අප්පච්චි?” මම ඇසෙන නෑසෙන සේ කොඳුළෙමි.
“හුඟ දෙනෙක් රස්සාවලට ගෙහුං අපි හතර පස් දෙනා තමයි ගෙවල්වලට වෙලා ඉන්නේ.” මා කීවේ කිසිම රැකියාවකට යන්න ගෙදරින් ඉඩක් නොලද බැවිනි.
රත්නා කහඳගමගේ