Home » Blog » පුංචි ලේඛකයෝ

පුංචි ලේඛකයෝ

by thanushika
0 comment

බස් වහරේ රසය විඳගනිමු

සාමාන්‍ය ව්‍යංජනයකට වඩා ස්වාභාවික රසකාරක යොදා රසවත් ලෙස සාදාගන්නා ව්‍යංජනයක් ආහාරය ලෙස ගැනීමට අපි කවුරුත් වැඩි ප්‍රියතාවක් දක්වන්නෙමු.

ඒ මන්දයත් එය සුවඳීන්, රසයෙන්, හා වර්ණයෙන් අනූන වීම යැයි කිව හැකි ය.

අපි පරිශීලනය කරන නවකතා, කෙටිකතා හා ගද්‍ය පන්ති යනාදී නිර්මාණ ද එකිනෙකට වෙනස් බවක් උසුලයි. කියවීමේදී යම් නිර්මාණ නැවත නැවතත් කියවීමට රුචි බවක් ලබාදෙන අතර, ඒවා ඉහළ රසාස්වාදයක් ඇති නිර්මාණ වේ. ව්‍යංජනයේ රස වැඩිකරලීමට ස්වාභාවික රසකාරකයන් එකතු කරගන්නා සේම ලිඛිත බස් වහරේදී එහි රසය වැඩි කරලීමට ඒ සඳහා උපමා, රූපක, ව්‍යංගාර්ථය හා උත්ප්‍රේක්ෂාත්මක බස යොදා ගැනීම සිදුකරනු ලබයි. ඒ මඟින් ඉහත කී රසයෙන් වැඩි නිර්මාණ බිහිවී, ඒවා ගුණාත්මක නිර්මාණ ලෙස ප්‍රචලිතව බොහෝ පිරිසකගේ රුචිකත්වයට ද පාත්‍ර වනු ඇත.

මෙලෙස යම් නිර්මාණයක රසය හා අලංකරණය වැඩි කරගැනීම පිණිස යොදා ගනු ලබන එක් උපක්‍රමයක් ලෙස “උපමා – උපමේය” හැඳීන්වීමට හැකි ය.

පරිසරයේ ඇති ඕනෑම වස්තුවකට තවත් වස්තුවක් සමානකර දැක්වීම “උපමා” යෙදීමක් ලෙස ද, උපමාවෙන් සමාන කර දක්වන පදයට යටත්වන පදය එනම්, සැබෑ වස්තුව “උපමේය” ලෙස ද විග්‍රහ කළ හැකි ය. උපමාවක් සැමවිටම මෙන්, සේ, වැනි, වගේ, මෙනි, ලෙසේ, ලෙසිනි යන පදවලින් සමන්විත වෙයි.

ඒ අනුව,

“මල් වරුසා වස්සනවා මෙන් උදෑසන ඇද හැලෙන හිරි පොද වැස්ස”

යන වැකිය ගෙනහැර පෑ විට මෙහි “හිරිපොද වැස්ස” යන උපමේයට “මල් වරුසා” නමැති උපමාව ලබාදී එයට අලංකාරය එකතුකර ඇත.

කා අතරත් ජනප්‍රිය වූ ‘බැද්දේගම’ නවකතාවේ,

“නිරිත දිග තද සුළඟට ඇඹරවී ඇටුවන් බැහී ගිය ගහක් මෙන් ඇගේ ශරීරය ද නැමී ඇඹරී තිබිණ”

මෙම වැකිය අප කාගේත් නෙත ගැටෙන්නකි. කතා පුවතේ මෙම කොටසෙහි එන උපමේය වූ, නැමී කුදු වූ කෘශ ශරීරයකින් හෙබි වයෝවෘද්ධ කාන්තාවක් වූ කර්ලිනාහාමිගේ චරිතය පෙන්වාදී ඇත්තේ සුළඟට ඇඹරී ඇටුවන් බැහී ගිය ගසක් උපමා කරගනිමිනි. එලෙස කර්ලිනාහාමිගේ චරිතය ජීවමාන ලෙස අප සිතෙහි සනිටුහන් කරන්නේ උපමා උපමේය මඟිනි.

අදටත් මාර්ගෝපදේශ සපයන අලගියවන්න මුකවෙටිතුමා විසින් රචිත ‘සුභාෂිතය’ උපමා-උපමේය සහිත කවිවලින් යුක්ත ය.

නැණැති දනන් හට මඳ ගුණයක් කළ ද

පවති ගල කෙටූ අකුරක් මෙන් නිබඳ

විමති දනන් හට කළ කිසි ගුණ නොමඳ

එනැති වේය දිය පිට ඇඳී ඉරක් ලෙද

මෙහිදී “ගලක කෙටු අකුරක් මෙන්” උපමාව ලෙස යෙදෙන අතර, “නුවණැති මිනිසුන් හට සිදු කළ උපකාරය” උපමේය ලෙස යොදා ගනිමින් හොඳ මිනිසුන් හට කවුරුන් හෝ උපකාර කළ ද එය සදා තම මතකයේ තබාගන්නා අයුරු මනා අලංකාරවත් ලෙස පෙන්වාදී ඇත.

එහෙත් අනුවණ මිනිසා හට කොතරම් උපකාර කළත් එය එම මොහොතේම ඔවුන් අමතක කරදමන බව අලංකාරවත් ලෙස පෙන්වා දී ඇත්තේ, එම “අනුවණ මිනිසුන්” උපමේය ලෙස ද “දිය පිට ඇඳී ඉර” උපමාව කොට ගනිමින් ය.

විවිධ පොතපත පරිශීලනයේදී මෙවැනි වැකි බොහොමයක් අප නෙත ගැටෙනු ඇති අතර, උපමා-උපමේය යොදා බස රස ගැන්වූ නිර්මාණ මනා ලෙස ඇසුරු කරමින් අපි සාහිත්‍යාංග නිර්මාණයන්හි හා සිංහල භාෂාවේ රසය විඳගනිමු.

මෙතුම්ලි මුදලිගේ,

11 ශ්‍රේණිය,

මධ්‍ය විද්‍යාලය,

පිළියන්දල

වැව් ඉවුරක සිට අහස බලමි

අහස සුන්දරයි. වැව් දියෙන් අහස පෙනෙයි. මම වැව් ඉවුරේ සිට සිරි නරඹමින් සිටියෙමි. වැව් තලයට වැටුණු අහස පලසක් මෙනි. වලාකුළු අතරින් බලා හිනැහෙන තරු පොකුරු ය. කණාමැදිරියන් ද එළි දල්වාගෙන එහේ මෙහේ පියාඹති. කණාමැදිරියන්ගේ විදුලිපන්දම අපට එතරම් නොසෑහෙයි. ඈතින් කවුදෝ ගීතයක් ගායනා කරනු මම අසා සිටියෙමි. විටින් විට ඇසෙන ගී රාවය නිසා මගේ සිතට තවත් මිහිරක් ගෙන එයි. මේ ගීතයට මම ද ආසා කළෙමි. රෑ අහස පිළිබඳත්, ගං ඉවුරක සිට අහස දෙස බලන ආකාරයත් බොහෝ කවියෝ රචනයට නඟති. එහෙත් වැව් ඉවුරක සිට අහස දෙස බැලූ අයකු වෙත් ද යන්න නම් මම නොදනිමි. කෙසේ වුවත්, එය රසවත් අත්දැකීමකි. ඒ අත්දැකීම විඳ ගැනීමට මම භාග්‍යවත් වුණෙමි. එය වැව් අසල ජීවත්වන බොහෝ දෙනකුගේ අත්දැකීමක් වන බව නම් නිසැක ය.

ඩී. එම්. විදුනි අනුජනා දිසානායක

5 ශ්‍රේණිය

මලියදේව බාලිකා විද්‍යාලය, කුරුණෑගල

සැඳෑ අහස

දවස තිස්සෙම වැඩ කරලා ඉර මාමාට හරි ම මහන්සියිලු. ඔන්න දැන් එයා නිදා ගන්න යන්නයි සූදානම් වෙන්නේ. නිදා ගන්න කලින් රතු පාට රෙද්දක් එළලා ලස්සනට එයා වලාකුළු යහනාවක් හදාගෙන. ඉතින් පුංචි යාළුවනේ, ඔයාලත් එන්නකෝ මාත් එක්ක ඒ ලස්සන බලන්න රවුමක් යන්න.

හැබැයි ඉතින් අපේ ඉර මාමාට චුට්ටක් තරහා ගිහින් වගේ. එයා රතුම රතු පාට වෙලා. හරි ම ලස්සනයි. ඔව් හැන්දෑ අහස බලන අපට රතුම රතු පාටට ඉර මාමාව බලන්න පුළුවන්. එයා වටේ තියන වලාකුළුත් රෝස පාටයි. නැත්නම් රතු පාටයි. රාස්සිගේ අව්ව වැටිලා හැමතැනම රතු පාට වෙලා. රෝස පාට, රතු පාට වළාකුළු දිහා බලාගෙන ඉද්දි ලස්සන ලස්සන චිත්‍ර, හැඩතල මැවිලා පේනවා. එක තැනක පුංචි හාවෙක් ⁣ව⁣ගේ. තව තැනක පුංචි කුරුලු පැටියෙක් වගේ. තැනින් තැන කැටි ගැහිච්ච වලාකුළු පුලුන් බෝල වගේ.

ඉර මාමා නින්දට යන නිසා දුක හිතුණ වද ගහේ මලුත් ටිකෙන් ටික පෙති හංගගෙන, දුකෙන් බිමට නැවිලා. අනෙක් මලුත් එහෙමයි. එයාලට ගොඩාක් දුක හිතිලා වෙන්න ඇති. පෙති ඇකිළිලා. බිමට වැටිලා. උදේ පාන්දර තිබිච්ච හිනාව ඈතට ගිහින්. හැබැයි සේපාලිකා මල්වලට නම් සතුටුයි වගේ. එයාල ටිකෙන් ටික හිනා වෙන්න පටන් ගන්නවා. ඉර මාමා ගියාට පස්සේ එන සඳ මාමාව පිළිගන්න අහස දිහා බලාගෙන හිනා වෙනවා.

පුංචි කුරුලු පැටව් කෑම හොයාගෙන අහස පුරාම පියාඹලා ඔන්න දැන් ආපහු එයාලගේ කූඩු හොයාගෙන යනවා. තනියම යන එයාලා දිහා බලන් ඉද්දි පුංචි අපටත් එහෙම පියාඹන්න තිබුණා නම් කියලා හිතෙනවා. තවත් අය රෑන් පිටින් පියාඹාගෙන යනවා. කුරුල්ලො සිය ගානක් අහස පුරාම පියාඹාගෙන යද්දි හරිම ලස්සනයි. එයාලගේ එකමුතුකම, සහෝදරත්වය, සමගිය අපි හැමෝටම ලොකු ආදර්ශයක්.

පියාඹාගෙන යන කුරුලු රෑන් එක්ක එහාට මෙහාට ඉගිල්ලෙන සරුංගලයකුත් ඔන්න අහසේ තියනවා. නූල් කැඩිලා ඈතට ඈතට එයා පාවෙලා යනවා වෙන්න ඇති. පුංචි අපිත් අම්මා අප්පච්චි කියන දේ ඇහුවේ නැතිව හිතුවක්කාර වුණොත් හරියට සරුංගලේ වගේ අතරමං වෙනවා. සැඳෑ අහසේ පාවෙන ලස්සන සරුංගලේ පුංචි අපට ලොකු පාඩමක් කියා දෙනවා.

තව ටිකක් වෙලා බලාගෙන ඉද්දි ඈත අහසේ සුදු පාට මහත දිග ඉරක් වගේ දුම් පාරක් හැදිලා පේනවා. ජෙට් එකක් හොරෙන්ම කොහේද ගිහින් යනවා. කිසිම සද්දයක් නැතුව. හැබැයි ඉතිං හෙලිකොප්ටරයක් නම් ඔන්න ලොකු සද්දෙකුත් එක්ක තමයි අපට දකින්න ලැබෙන්නේ. රතුපාට වලාකුළු මැද්දෙන් එයාලා එයාලගේ ගමන පරිස්සමට යනවා. හරියට ලස්සන චිත්‍රයක් ඇඳලා වගේ.

ඔන්න ඉතින් දැන් චුට්ට චුට්ට අඳුර වැටීගෙන එනවා. හැන්දෑ අහස ටිකෙන් ටික අපට නොපෙනී යනවා. ආයෙත් අලුත් දවසකට අලුත් එළියක් අරගෙන එන්න ඕන නිසා ඉර මාමාත් නින්දට යනවා. ඉතිං පුංචි යාළුවනේ සැන්දෑ අහසේ සුන්දරත්වය විඳීන ගමන් පුංචි අපිත් අපේ දවස නිමා කරන්නට සූදානම් වෙනවා. තවත් ලස්සන දවසක අපි හමුවෙමු.

ටී. ඩබ්ලිව්. මෙතුලි උමල්ජා

05 වසර

මො/ මල්වත්තාවල ප්‍රාථමික විදුහල

පුස්තකාලයට පියනඟමු

පුස්තකාලය යනු කාලීන පොත්පත් සඟරා ඇතුළු විවිධ තොරතුරු ඇතුළත් ග්‍රන්ථ තැන්පත්කර ඇති ස්ථානයයි. මෙය අතීතයේදී හඳුන්වාදී ඇත්තේ පොත් ගුල යන ලෙසට ය. ඉතා දිගු ඉතිහාසයක් පුස්තකාලයට ඇත. අද වනවිට පොත්පත් පමණක්ම නොව විද්‍යුත් සඟරා, පරිගණක කෘති ආදි විවිධ වූ නවීන මාදිලියේ තොරතුරු තැන්පත්කර ඇති ස්ථානයක් බවට පුස්තකාලය පත් වී ඇත. කියවීම යනු ඉතා වටිනා දෙයකි. මන්ද යත් කියවීම මඟින් අප හට විවිධ වූ භාෂා පිළිබඳ සාහිත්‍යමය කෘති පිළිබඳ විවිධ රටවල් පිළිබඳ නොයෙකුත් දේ ඉගෙන ගැනීමට හැකියාව තිබේ.

අද වන විට පුස්තකාල විවිධ ස්ථානවල විවිධාකාරයෙන් දක්නට ඇත. පාසල් පුස්තකාල, ආයතනික පුස්තකාල, ජංගම පුස්තකාල ඒවාට උදාහරණ වේ. ශ්‍රී ලංකාවේ ජාතික පුස්තකාලය, කොළඹ නිදහස් මාවතේ පිහිටි මහජන පුස්තකාලය කියවීමට ජනතාව යොමු කරන ආයතනයි. මෙවැනි විශාල වූ දැනුම් සම්භාරයක් අපට ලබා දෙන පුස්තකාලය අප ආරක්ෂා කළ යුතුයි. නිවැරැදිව බස පරිහරණය කිරීමට පුස්තකාලවලින් මනා පිටිවහලක් ලබා දෙයි.

සඳුන් ඉමන්ත දෙවනගල,

7 ශ්‍රේණිය,

කෑ/ ස්වර්ණ ජයන්ති මහා විද්‍යාලය

කෑගල්ල


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department